වඳිමි අම්මෙ නුඹට

පාට දුන්නෙ කවුද සොයමි
ලස්සන මල් වලට
එළිය සිසිල බෙදා දුන්නෙ
කවුද ඉරට හඳට
සවන පිනන මිහිර පෙවුවෙ
කෙලෙස විහඟ තුඩට
කලා හිතක් මට දුන්නට
වඳිමි අම්මෙ නුඹට....
 
දයාව සෙනෙහස රුහිරට
දියකර මට පොවලා
යුක්තිය ළඟ නිරතුරුවම
ඉන්නට හිස නමලා
අනුන්ගෙ දුක දැක උණුවෙන
හැඟුම් තිළිණ කරලා
මං හැදුවට මගෙ අම්මට
වඳිනෙමි දණ නමලා...
 
සංසාරේ පුරාවටම
මං කල පින් වලට
ඉපදුනාය මේ භවයෙදි
ඔබෙ දියණිය ලෙසට
නිරතුරුවම ළඟ හිටියත්
මදි කියනවා හිතට
මතු භවයෙත් හමුවෙමු අපි
එක හෙවනක එකට...
Top