අවිස්සාවේල්ල පහු කරන් සුන්දර මානියම්ගම ගමට යන මාර්ගයේ වම් පසින් ඇති වෙල්යායවල්වලට මත්තෙන් රැකවල් ගත්තු කඳු පංති රැසක් දකින්න පුලවන්. හැබැයි ඒ අතරින් විශේෂයෙන් ඇස් නවතින කළු ගල්තලා දෙකකින් මුදුන් වුණු ගලපිටගල නැතිනම් යකහටුවාව වැදගත්. මොකද ඒසීතාවක රාජධානි සමයේ රාජසිංහ රජ්ජුරුවෝ පරංගීන් ගැන ඔත්තු බලපු බැලුම්ගල වෙන “යකහටුවාව” නිසා.
මූලිකවම කොළ පාට වනවියන යටින් තරමක් විශාල කළු ගල් අතරින් යකහටුවාව පර්වත පාමුලට ඇදෙන අඩි පාර අවසානයේ පරිවර්තනය වෙන්නේ පාරක් තොටක් හොයා ගන්න බැරි තරමට ආක්‍රමණශීලී වුණ පඹ ගස් යායකට. මිනිසෙකු තරමටම උසට ප්‍රදේශයම වහගෙන පැතිරිලා තිබුන පඹ යාය නිසාම සැරිසරන්නන්ට ගොඩක් පරිස්සම් වෙන්න සිද්ධ වෙන්නේ මද්දහනට කලඑළි බහින සර්පයන්ගෙන්. ඒ වගේම අසීරු ගමන් ඉසවු කිහිපයකින්ම සමන්විත පළමු පර්වත තරණය නම් තරමක් දුරට අපහසුයි. තද අව්වට වේලිලා දූවිල්ලෙන් වැහුණු පොලොවෙ අඩිය තියෙන හැම තැනකම වගේ ලිස්සන්න පුළුවන්කම තියෙනවා. මේ හැමදේම එක්ක පැයක විතර කඳු තරණයකින් පස්සේ අපි අවතීර්ණ වෙන්නේ යකහටුවාව පලවෙනි පර්වත මුදුනට. සීතල හුළඟින් අඩුවක් පාඩුවක් නොවෙන ගල් තලාවේ කෙළවරටම ගියාම පහලින් මුළු මානියන්ගම ප්‍රදේශයම පැහැදිලිව දැකගන්න පුළුවන්. ඊට අමතරව හාත්පස දර්ශනය වෙන කඳු යායවල් අතරට වලාකුළුවලින් වහගෙන මොහොතකට නිරාවරණය කරන සමනොළ සිරසත් දකින්න වටින තරමටම සුවිශේෂයි.
පළමු පර්වත මුදුනින් ආයිත් පහලට බැහැලා දෙවන පර්වතය කරා ලඟා වෙන්න පුළුවන්. එහිදීත් අනිවාර්යෙන් ම තරණය කරන්නට සිදු වෙන්නේ වෙනසකින් තොරවම පඹ යායක්. මුඳුනතට ලඟා වීම තරමක් අපහසු උනත් අවසානයේ දකින්න පුළුවන් වෙන දේවල් නම් අපූරුයි. විශේෂයෙන් ම මෙහි සිට අවිස්සාවේල්ල මුළු නගරයම වගේම ඈතින් කොළඹ වරායත් දකින්න පුළුවන්. අන්න ඒ නිසාමයි අතීතයේදී පළමුවන රාජසිංහ රජු මෙය ස්වකීය බැලුම් ගල ලෙස යොදා ගත්තා යැයි සැලකෙන්නෙත්. විශේෂයෙන් ම මීටර් 420ක් පමණ උසකින් යුක්ත මේ යකහටුවාව බැලුම්ගල එවකට කොළඹ සිට සීතාවකට පැමිණෙන පරංගීන් ගැන ඔත්තු බැලීමටඅතිශයින්ම වැදගත් වුණු බව සඳහන්. එතැන් සිට තරමක් සමීපයෙන්ම තුන්වෙනි පර්වත මුදුනත් දැක ගන්න පුළුවන්. සීතාවක රාජධානි සමයේ භාවිත කළ උමගක් පවා ඒ ආශ්‍රිතව ඇති බවට ගම්මුන් සාක්ෂි දරනවා. කොහොම නමුත් තුන්වෙනි පර්වතයට ලඟා වෙන්න තරමක් අපහසු වෙන්නේ තරණය කළ යුතු වන අසීරු ගමන් මග නිසාමයි. ඒ කෙසේ වෙතත් ඉර බහින හැන්දෑවක් වෙනුවෙන් යකහටුවාව , සීතාවක රාජධානියේ සොඳුරුම නවාතැන් පළක් වන බව නම් නිසැකයි.