කොළඹ මහියංගන මාර්ගයේ උඩුදුම්බර - කළුගල පිහිටා ඇති යහන්ගල කියන්නේ නැගෙනහිර පහත් බිම්වල සිට බලන කල දැකිය හැකි සුවිශේෂ පිහිටීමක් ඇති නකල්ස් කදු පංතියේ ඉතාමත් සුන්දර ස්ථානයක්. දසෙස් බල රාවන පුරාණය පදනම් කර ගන්නා යහන්ගල නම ඇසූ පමණින් දැනෙන කුතුහලය තරමටම යම් යම් ඇදහිය නොහැකි සිද්ධීන් කෙරෙහි පවා පදනම් වන ඒ පර්වතය වෙත ගම්වාසීන් අදටද දක්වන්නේ මහත් වූ ගෞරවයක්. විශේෂයෙන්ම පුර හඳ දවසට පර්වතය දෙසින් ඇසෙන හේවිසි හඬවල් සහ පිරිත් සජ්ජායනාවන් ගැන ඔවුන් තුළ තියෙන්නේ නොමද භක්තියක්. කෙසේ නමුත් නකල්ස් වන පෙතේ ගලේ බණ්ඩාර දෙවියන්ගේ අඩවිය ලෙසින් හැඳින්වෙන මෙහි සැරිසැරීම නම් සෑම විටම හික්මීම ප්‍රමුඛ කොට ගත්තක් විය යුතුයි.
යහන්ගල පර්වතයෙහි දකුණු හා නැගෙනහිර බෑවුම් සෘජුව පිහිටන අංශක 80ක් 90ක් පමණ වන දළ ආනතීන් සහිත වන අතර බටහිර බෑවුම ද අංශක 50ක් පමණ ආනතියකින් යුක්තය. එහි වම්පස පමණක්ම ඒකාකාරී මඳ බෑවුමක් නිර්මාණය වන්නේ පතන සමඟ සම්බන්ධ වීමෙනි. ඉතිං තරණයට පහසුම ගමන් මග එසේ වුවද යහන්ගල තරණය කළ යුතු වන්නේ සෘජුවම පිහිටන දකුණු බෑවුම ඔස්සේ ය. හුදෙක්ම එය ජීවිතය පරදුවට තබන ත්‍රාසජනක තරණයක් වන බව නම් නොඅනුමානය. විටෙක කඩතොළුවක් හෝ නොපිහිටන සුමට ගල්තලා මත්තෙන් ගමන් කළ යුතු වන්නේ සියල් ශක්තීන් දෙඅත් මත රදවමිනි. තවත් විටෙක ගලෙකින් ගලකට මාරු විය යුත්තේ ගැඹුර ගණනය කළ නොහැකි ඉසව් ඔස්සේ ය. ඉතිං ඒ සියල්ල එක්කාසු කරන්නේ ත්‍රාසජනක වන්නා සේම ජීවිතයට එක්කාසු විය අන්දමේ අපූර්ව අත්දැකීම්ය. තරණය එසේ දුෂ්කර වුවද යහන්ගල ඉස්මත්තේ සිට දැකිය හැකි සියල් දර්ශනය නම් දෑසට දකින්නට තරම් සුන්දරය. ඒ තුළ වෙලන්ගල පතන බිම , මහවැලි ගඟ , මහියංගන චෛත්‍යය , ලකේගල මෙන්ම ගැරඬිගල පවා දැකිය හැකිය.
වසරේ එක කාලයක දී වන අලින් ගමන් ගන්නා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට ඇදෙන ගමන් මගක් ද මේ හරගා වැටී තිබෙන නිසාවෙන්ම බොහෝ විට පහල පතනෙහි සේම යහන්ගල ඉස්මත්තේ ද වන අලින් ගැවසෙන ආකාරය දැක ගන්න පුළුවන්. ඒ වගේම අකුණු සහිත ඉතා අවදානම් කලාපයක් වන මෙහි කඳවුරු බැඳීම නම් කිසිසේත්ම නිර්දේශ කළ නොහැකියි. නමුත් නකල්ස් වන පෙතේ යහන්ගල තරමටම කුතුහලයට සාපේක්ෂව සුන්දරත්වය ද කැටි කර ගත් තවත් ඉසව්වක් නොවන තරම් ය.