අවාරයට සශ්‍රීක වෙන සමනල අඩවියේ දිය ඇලි

post-title

කලින් සංචාරක සටහනක ලියවුණු විදියටම දැරණියගල උඩමාලිබොඩ මාර්ගයෙන් සිරිපා කරුණාවට එකතු වුණ අපි ආවාරයේ අපූරු අත්දැකීම් එක්ක උඩමළුවට ළඟා වෙද්දී උදා වෙලා තිබුනේ සිරිපා කරුණාවට වෙන් වුණු දෙවැනි දවසේ උදෑසන භාගය. ඉතිං පුරා දින එක හමාරක සුන්දරම සහ දුෂ්කරම කරුණාවකින් අනතුරුව සිත්සේ උඩ මළුව වැඳ පුදා ගෙන ආපහු පහලට කරුණා කරන්න අපි තෝර ගත්තේ බොහෝ දෙනෙක්ට හුරු පුරුදු හැටන් - නල්ලතන්නි මාර්ගය. ඒත් ඒ නුපුරුදු ගමනකට. ඒ අවාරයට සශ්‍රීක වන සමනල අඩවියේ දිය ඇලි හොයා ගෙන පහලට කරුණා කරන බලාපොරොත්තුවෙන්.

වාරයට සාපේක්ෂව අවාරයේ ලැබෙන අධික වර්ෂාව නිසාම වාරයේ දකින්න නොලැබෙන බොහෝ දිය ඇලි අවාරයේ දී කල එළි බහිනවා. ඒ නැතත් වාරයේ දී අල්ප ජල පරිමාවකින් ඇද හැලෙන දිය ඇලි පවා දකින්න ලස්සනම විදියට සශ්‍රීක වෙනවා. ඉතිං සමනල අඩවිය අවට දකින්න ලැබෙන පුංචි පුංචි කඳු - පුංචි පුංචි පර්වත මත්තෙන් පවා ගලන් එන කුඩා දිය දහරා මේ කාල සීමාවේ නො අඩුව ලැබෙන වර්ෂාවේ ආශිර්වාදයෙන්ම මහා ජල කඳන් බවට පත් වෙනවා. ඉතිං ඒ සියල් ජල දහරා ඇදන් හැලෙන්නේ අපූරු දිය ඇලි විදියට. නමුත් ඒ විදියට වාර්ෂිකව එක් කාල සීමාවක දී පමණක් සශ්‍රීක වෙන දිය ඇලි හඳුන්වන්නේ සීසනල් ( Seasonal ) දිය ඇලි විදියට. අනෙක් වසර පුරාම දකින්න පුළුවන් දිය ඇලි අයත් වෙන්නෙ සැබෑම දිය ඇලි ගණයට.

ඉතිං හැටන් - නල්ලතන්නි  මාර්ගය ඔස්සේ පහලට කරුණා කරන කාටත් බොහෝ තැන්හි දී දර්ශනය වන ඉහත දෙයාකාරයේම දිය ඇලි දකින්න පුළුවන්. ඉන් සමහරක් සිරිපා සමයේ පවා දකින්න ලැබෙන නමුත් තවත් සමහරක් ජීවමානව දකින්න ලැබෙන්නේ මේ අවාර කාල සීමාවේ දී පමණයි. ඉතිං හුරු පුරුදු මාවතක නුපුරුදු අරමුණක් වෙනුවෙන් ආ අපට දිය ඇලි දකින ආශාව තවත් තීව්‍ර වුණේ දුර තියාම දකින්න ලැබුණු යකා ඇඩූ ඇල්ලේ සුන්දරම ස්වභාවයත් එක්ක. කවුරුත් දන්න අඳුනන සාම විහාරයට ඉහලින් ඇද හැලෙන යකා ඇඩූ ඇල්ල එදා සිට හඳුන්වන්නේ සීසනල් නොවන සැබෑම දිය ඇල්ලක් විදියට. ඒ කියන්නේ මේ ඇල්ල වර්ෂාව නොමැති කාල සීමාවන්හි දී පවා සිහින් දිය දහරාවක් විදියට දකින්න පුළුවන්. මෙම යකා ඇඩූ ඇල්ලට ඒ නම ලැබෙන්නේත් අතීත කතාවක් ආශ්‍රයෙන්. බුඳුන් වහන්සේ ලංකාද්වීපයට පැමිණ සමනොළ මස්තකයේ සිරිපා සටහන් තැබීමට පෙර ඒ අසලම පිහිටන කඳු වැටි කිහිපයකටම සිරිපා පිහිටුවීමට වැඩි බව සඳහන්. නමුත් යම් යම් හේතු නිසාවෙන් එය වැළකී අවසානයේ සමනල කඳු වැටියේ සිරිපා පිහිටුවීමට වැඩම කළේ සුමන සමන් දේව ආරාධනයෙන්. කෙසේ නමුත් ඒ වන විට සමනල කඳු වැටිය අධිගෘහිතව වාසය කලේ යක්ෂයෙකු නිසාවෙන් සිරිපා පිහිටුවීමට පළමුව ඔහු පලවා හැරිය යුතු වුණා. අවසානයේ සමනල අඩවියෙන් පිටමං කරනු ලැබූ නිසාවෙන් දුකට පත් වුණු ඒ යක්ෂයා ඇඩූ කඳුලින් මේ යකා ඇඩූ ඇල්ල නිර්මාණය වුණු බවට පවතින්නේ ප්‍රකට මතයක්. කෙසේ වෙතත් ශ්‍රී පාද මස්තකය ඉහල සිට පහලට එන තෙක්ම මෙම ඇල්ල ක්‍රමක් ක්‍රමයෙන් සමීප දර්ශනයක් ලෙස දැකිය හැකි වෙනවා. වඩාත්ම හොඳින් පැහැදිලිව සාම විහාරය ආසන්නයට එය දර්ශනය වුනත් එහි පාමුලට ලඟා වීම නම් පහසු කටයුත්තක් නොවෙන්නේ ඒ සඳහා තරණය කළ යුතු දුෂ්කර ගමන් මඟ නිසාමයි.  

ඊට අමතරව ශ්‍රී පාද මස්තකයේ ඉදන් පහලට හැටන් මාර්ගයේ  එන ගමනේ දී  මිහිදුම් සළු මොහොතකට එහෙ මෙහෙ දුවන අතර වාරයක  යකා ඇඩූ ඇල්ලට අමතරව පහල ඉසව්වෙන් අපූරු දර්ශන තලයක් දැක ගන්න පුළුවන්. ඒ පසෙකින් මාඋස්සාකැලේ ජලාශයත් ශ්‍රී පාද කන්ද පාමුලින් සාම විහාරයත් දර්ශනය වන අපූරුව.  ඒ වගේම අඛණ්ඩව වර්ෂාව ඇද හැලෙන අවස්ථාවක දී නම් හැටන් මාර්ගයේ එක පෙලට ඇති පඩිපෙල් මත්තෙන් වතුර පහල බහින ආකාරය වන්දනාකරුවන්ට සමීප කරන්නේ තවත් අපූරුම අත් දැකීමක්. 

එසේම වාරය වුවද අවාරය වුවද ශ්‍රී පාදය කී සැනකෙන්ම සීත ගගුල කියන්නේ  සිරිපා කරුණාවේ දී අත්හළ නොහැකි සන්ධිස්ථානයක්. ඉතිං සිරිපා වන්දනා කරන බොහෝදෙනෙක් මෙතෙක් නොදුටු තවත් සුන්දරම දිය ඇලි කිහිපයක්ම මේ හැටන් - නල්ලතන්නි මාර්ගයේ මුණ ගැසෙන සීත ගගුල ආශ්‍රය කර ගෙන තියනවා. ඉන් පළමු වැන්න පිහිටන්නේ  හැටන් මාර්ගයේ ස්නානය සඳහා විධිමත්ව බඳින ලද පඩිපෙල් සහිතව සීත ගගුලට බහින ස්ථානයේ මදක් ඉහලින්. ඒ සඳහා ලඟා වීමට නම් සීත ගගුලෙහි බැද ඇති සිමෙන්ති ජැටියෙන් ඉහලට නැගී ජල දහරාව දිගේ ගමන් කරන්න ඕන. එවිට මීටර් නවයක් පමණ උසකින් යුතුව දිය ඇල්ලක්  දැක ගන්න පුළුවන්. පියවර කිහිපයකින් යුතුව කඩා හැලෙන එහි දිය දහරාවේ අවසාන පියවර පමණක් දැකිය හැකි සුලබ දර්ශනයක් විදියට මාර්ගයට විවෘත වෙලා තියනවා. එහි තමයි සිරිපා කරුණාවේ යෙදෙන බොහෝ දෙනෙක් ස්නානය කරන්නේ. කොහොම වුණත් ඒ ඇල්ල නම් වෙන්නේ සීත ගගුල (1 ) ඇල්ල විදියට. මීට අමතරව සීත ගගුලෙහි අනෙක් පසට මදක් ඉහලට ගමන් කරන විට තවත් අපූරුම දිය ඇල්ලක් දකින්න පුළුවන්. මෙම දෙවන දිය ඇල්ලෙහි ජලය ඇල්ල මැදින් පිහිටන ගල් දෙබොක්කාවක් අතරින් ගලා යන නිසාවෙන් අවසානයේ සැරිසරන්නන්ගේ ඇස ගැටෙන්නේ කොටස් දෙකකින් යුතුව. නිශ්චිතවඒ ඇල්ලට  නමක් හඳුන ගන්න බැරි වුණත් දකින්න ලස්සනම ඇල්ලක් විදියට ඒ දිය දහරාවත් සීත ගගුල ආසන්නයෙන්ම පිහිටනවා. එසේම ඉහත ඇලි දෙකටම  අමතරව තවත් කුඩා අවශේෂ ඇල්ලක් හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා ලඟා වීමට නම් ගමන් කරන්න ඕන සීත ගගුලෙහි පහලම මානයට. එය තරමක් අපහසු නිසාම ආරක්ෂාව ගැන වග බලා ගැනීම වැදගත්. කෙසේ නමුත් සීත ගගුල ආශ්‍රිතව හැටන් නල්ලතන්නිය මාර්ගය අසලම දැකිය හැකි දිය ඇලි කිහිපය එසේ වුවද සීත ගගුලෙන්ම උප්පත්තිය ලබන ශ්‍රී පාද අඩවියේ සුන්දරම දිය ඇලි අතරින් තවත් එක් දිය ඇල්ලක් මේ ආසන්නයෙන්ම  දැක ගන්න පුළුවන්. ඒ සීත ගගුල (2  ) ඇල්ල. එය පිහිටන්නේ හැටන් මාර්ගයේ රතු පාලම අසල.ඒ සඳහා ලඟා වීමට නම් රතු පාලම අසලින් පහලට ඇති තේ වත්ත තරණය කොට මදක් දිය පහරේ ඉහලට ගමන් කළ යුතුයි. උසින් මීටර තිහක් පමණ වන මෙම ඇල්ල කඩා හැලෙන්නේ  තට්ටු හතරකින් යුතුව. ඇල්ලෙහි ඒ ඒ කොටස් සඳහා ලඟා වීම අපහසු වන අතරම එහි ඇති ගැඹුර නිශ්චය කළ නොහැකි තරමේ ජල තටාකයන් නිසාවෙන් ද එය කිසිසේත්ම උත්සාහ නොකළ යුත්තකි. කෙසේ වෙතත් ශ්‍රී පාද ආශ්‍රිතව වඩාත් සිත් ඇද ගන්න සුළු දිය ඇල්ලක් විදියට ඒ සීත ගගුල 2 ඇල්ල හඳුන ගන්න පුළුවන්.

ඒ සියල්ලක් අවසානයේ අප හෙමි හෙමින් ලඟා වන්නේ හැටන් මාර්ගයේ පාමුලට. නමුත් ඒ වන විටත් අවාරයේ දිය ඇලි සංදර්ශනය අවසන් නැහැ. ඉතිං මීළඟට දැකිය හැක්කේ එක්ව ගලන් හැලෙන අපූරුම දිය දහරා සයක්. අවාරයේ පමණක් බොහෝ විට මේ දිය ඇලි  කිහිපයම එක්වර වම්පස පර්වතය මත්තෙන් කඩා හැලෙනු දැක ගන්න පුළුවන්.  සාම විහාරයත් ඊට දකුණු පසින් යකා ඇඩූ ඇල්ලත් වම් පසින් මේ සීසනල් ඇලි සයත් එකම දර්ශන තලයක දැක ගන්න පුළුවන් වීම විශේෂයි. එහි දී වඩාත් පැහැදිලිවම ඒ දර්ශනය දැක ගත හැක්කේ සිරිපා ඉහල සිට පහලට කරුණා කරන විට සාම විහාරයත් මකර තොරණත් අතර මාර්ග  සීමාව තුල දී.

අවසානයේ මකර තොරණට සේන්දු වන තැනින් පවා අවාරයේ දිය ඇලි සැරිය අවසන් වන්නේ නැහැ. මකර තොරණ පසුවනවාත් සමඟම දකුණු පසට වන්නට පිහිටන තවත් අපූරු ඇල්ලක් තියනවා. එහි ජල මූලාශ්‍ර ලෙස රාජමලේ වත්ත සහ සදගල තැන්න වනාන්තරය හඳුනා ගත හැකි නිසාවෙන්ම එය නම් කරන්නේ  රාජමලේ ඇල්ල හෙවත් සදගල ඇල්ල විදියට. එහි සමීප දර්ශනයක් සතු කර ගන්න නම් පවතින හමුදා කඳවුර ආසන්නයෙන් තේ වත්ත හරහා ගොස් දැකිය හැකි දිය පහරේ ඉහලට ගමන් කළ යුතුයි. ඉතිං අවසානයේ එය දැකිය  හැක්කේ මීටර් 45ක් පමණ උසකින් යුක්තව කඩා හැලෙන මනරම් දිය දහරාවක් විදියට. කොළ පාට පිරුණු අවට වටපිටාවත් ලස්සනම පසුබිමක් සළසනවා රාජමලේ ඇල්ලට.

ඉතින් සොබාදහම හුස්ම ගන්න අවාරයක දැරණියගල උඩමාලිබොඩ මාර්ගයෙන් කළ අවාරයේ සිරිපා කරුණාවක් අවසන් වුණේ අවාරයට සශ්‍රීක වෙන සමනල අඩවියේ බොහෝදෙනෙක් නොදන්න ඒත් දකින්න සුලබම දිය ඇලි සැරියකටත් පාර කියාගෙන. සුපුරුදු පරිදිම  අවසානයක් විදියට ආරාධනාවක් තියනවා , යන්න ඒ පැත්තට. විඳින්න ඒ පරිසරය. ඒත් ඔබ අවාරයේ සිරිපා කරුණා කරනවා නම්,  මතක තබා ගත යුතුම කාරණය හැදෙන වැඩෙන පැලැටියක අංකුරයක්වත් නොපාගා හුස්ම ගන්න සොබාදහම රැකිය යුතු බවයි. 

Top