කොළඹින් ඈත මෙපිට සංචාරය කරන්න කාටත් නිසැකවම ගැටලුව වෙන්නේ කාලය. හුස්ම නොගෙන පිළිවෙළට එකම ලේන් එකක දුවන ජීවිතයේ නිදහස වෙනුවෙන් කොටස් කරන්න වෙන්නේ ඉතාම සුළු කාලයක්. ඒක කාර්යබහුල දෛනික ජීවන රටාවේ කාටත් පොදුයි. ඉතිං ගෙදර ඉදන් හරස් වෙන කාලයත් එක්ක හැපීගෙන සිතුවිල්ලෙන් සැරිසරන බොහෝ දෙනෙක් වෙනුවෙන් වචන ඩොට් එල් කේ හරහා මේ ලියවෙන්න යන්නේ එක දවසක විරාමයකට හුස්මක් ගන්න තියෙන හොදම තැනක් ගැන.
කුරුණෑගල කියන්නේ කාටත් හුරු පුරුදු ඉසව්වක්. කොළඹ ඉදන් කෝච්චියේ එනවා නම් උපරිම හෝරා දෙකක් ගත වෙන ගමනක්. නැතිනම් කොළඹ සිට බස් රථයෙන් පවා ඕනෑම වෙලාවක ලඟා වෙන්න පුළුවන්. ගමනට පදනම් දෙන සැරිසරට වෙන් වුණු යක්දෙස්සාගල කියන්නේ ඒ ආසන්නයේම පිහිටන පර්වත මුදුනක්. විශේෂයෙන්ම කුරුණෑගල නගර මධ්‍යයේ ඉදන් කිලෝ මීටර් 16ක පමණ දුරක් ඇතුළත එහි ළඟා වෙන්න පුළුවන්කම තියනවා. එය සැරිසරන්නන්ට සළසන්නේ නම් බොහෝ පහසුවක්. ඉතිං පොදු ප්‍රවාහන මාධ්‍යය ඔස්සේ පැමිණෙන අයෙකුට නම් කුරුණෑගල සිට ගෝනගම දක්වා දිවෙන බස් රථයක පැමිණ යක්දෙස්සාගල ගමන් ආරම්භය සනිටුහන් කරන සංවැලි මහා විහාරය අසලින් බැහැ ගන්න පුළුවන්. විහාරය ඉදිරියෙන් ම වනයට ඇදෙන අඩි පාර ආරම්භයත් එක්කම ගමනට ආයුබෝවන් කියන නෙලුම් පොකුණක් දකින්න ලැබෙනවා. ඒ ඔස්සේ නිසැකවම ගමන් මග තහවුරු කර ගන්න පුළුවන්. ඉතිං කොහොම වුණත් අමතක නොකරම සංවැලි විහාරයත් වැද පුදා ගන්න එක වටිනවා. විශේෂයෙන් ම ඓතිහාසික වටිනාකමකින් යුත් බොහෝ දේ එහි දී දකින්න ඉඩකඩ ලැබෙනවා. ඒ අතරම සුලබව දැකිය නොහැකි සත්ත්ව කැටයම් සහ සිතුවම් ලෙස සුනඛයන්ගේ සහ කපුටන්ගේ රූප පවා දැකිය හැකියි.
විහාරය ඉදිරිපස සිට ගමන විවෘත වෙන්නේ වනාන්තරයට. දස අතේ වනේ ඇදුනු මං පෙත් අතර කදු මුදුන දක්වා යා යුතු ගමන් මග දක්වන මං සලකුණු ගමන පුරාවටම දකින්න පුළුවන්. ඉතිං මග වරදින - නොමග දුවන ගමනට කිසිසේත්ම ඉඩකඩක් නැති යක්දෙස්සාගල තරණය යම් තාක් දුරට හෝ අපහසු වෙන්නේ මුල සිටම ඉහළට ඇති සීඝ්‍ර නැග්ම නිසා. ඒ අතරට වියලුනු කොළ අතර නොවෙනස්ව සැරසරන සර්පයන්ගෙන් ආරක්ෂා වීමටත් වග බලා ගත යුතු වෙනවා. ගමන් වේගය අනුව උපරිම වශයෙන් හෝරාවකට අඩු කාලයක් ඇතුළත ලඟා විය හැකි වුවත් අවම වේගයක් සහිත ගමන් කිරීමක දී නම් හෝරා දෙකකට ආසන්න කාලයක් ගත වෙනවා. අතරමග ගමනට නම් කිසිසේත්ම විඩාවක් එක්කාසු නොකරන්න අවට වටපිටාව වග බලා ගන්නවා. ඒ අතර අහස සිප ගන්න රූස්ස ගස් දැඩි සූර්යය රශ්මිය නොදැනෙන්න අකාස වියන් බඳිනවා. අවම වශයෙන් වසර සියයකට වඩා පැරණි සද්ධන්ත වෘක්ෂයන් පවා ඒ අතර වෙනවා. ඉතිං සොබාදහම විඳින්න ඕනෑවටත් වඩා ප්‍රමාණවත් සැබෑම පාරසරික වටපිටාවක් යක්දෙසාගල දක්වා ගමන අතරමග දකින්න පුළුවන්. විටින් විට ගස්කොළන් පිහාගෙන එන සුළඟ සහ එහෙ මෙහෙ දුවන වන සතෙක් හැරුණු කොට ඒ සොබාදහමේ නිහඬතාවය බිඳින්න කිසිවෙකුත් සමත් වෙන්නේ නැහැ. ගල් මුල් අතරින් ඇදී යන මං පෙත ගමනේ අවසාන භාගයේ දී විවෘත වෙන්නේ මානා පඳුරු ගැවසී ගත් ඉසව්වකට. ඒ යක්දෙස්සාගල මුදුන ඔන්න - මෙන්න. ඉතිං අමාරුම කන්දක් නැග්ගාම දකින්න ලස්සනම දර්ශන පථයක් විවෘතයිනේ. ඒක දෑසින් දකින්න ඔන්න තියනවා කාටත් ඇරයුමක්.
පර්වත මුදුනට ලඟා වෙන කාවත් ඉස්සරලාම පිළිගන්නේ හාත්පස පිසගෙන එන සීතලම හුළඟ. අවට දැකිය හැකි බොහෝ දේ අතර දර්ශන තලය පුරා බොහෝ විට දකින්න ලැබෙන්නේ සාරවත් කෙත්යායවල්. එය දකින කාටත් අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලත් ලංකාව කොතෙක් සශ්‍රීකව පවතින්න ඇත්දැයි නොහැගෙන්නේ නම් පුදුමයක්. එක පසෙකින් දැකිය හැකි සැලගම ප්‍රදේශය තුළ හදුනාගත හැකි හුලන්ගල නැව්ගල වැනි කදු වැටි ද , කුරුණෑගල පෙනෙන මානයේම පිහිටන ඇතුගල , නාතගනේ, ආදා ගල වැනි කදු වැටි ද දර්ශන පථය තුළ ලැඟුම් ගන්නවා සේම අලගල්ල , කුරුමිනිගල ,ඉබ්බාගල , දොළුකන්ද වැනි ඉසව් ද යක්දෙස්සාගල මුදුනතෙහි සිට නම් කළ හැකි කඳු මුදුන් අතර වෙනවා. කොහොම උනත් අප එහි ගමන් ගන්නා මොහොත වන විට අහස පුරා පැතිරුණු වැහි වලාවන්ට කදු මුදුනට සෘජුව පතිත වෙන දැඩි සූර්යය රශ්මිය මග හරවන්න හැකියාව ලැබුණත් දහවල් කාලයේ දී යක්දෙසාගල මුදුනතෙහි රැදී සිටිය නොහැකි අන්දමේ දැඩි හිරු රශ්මියක් ඇති බව නම් කාටත් ප්‍රත්‍යක්ෂ කරුණක් වුණා. ඒත් ඒ එක එල්ලේ පතිත වන දැඩි හිරු රැසින් සැරිසරන්නන්ට පීඩාවක් නොදැනෙන්න සිසිලස එකතු කරන්න අවට හමන සුළඟට පුළුවන්. ඒ වගේම තවත් පසෙක පර්වත මුදුන පාමුල ගල් තලාව පිපිරීමෙන් ඇති වුණු ගල් ගුහාවක් දැක ගන්න පුළුවන්. එය වැස්සකට වුණත් ආවරණයක් සළසා ගත හැකි අන්දමේ තත්තවයක පවතින්නක්.
ඉතිං සම්පූර්ණයෙන්ම අංශක 360ක දර්ශන පථයක් දැක ගත හැකි පර්වත මුදුනක් වන මෙය කුරුණෑගල ඉසව්වේ පිහිටන ඇතුගල සිට ආඳාගල දක්වා සැතපුම් 14ක් පමණ දුරට විහිදෙන කදු වැටියේ උසම කඳු මුදුනත. ආසන්න වශයෙන් එහි උස මීටර් 546ක් පමණ වෙනවා. කෙසේ වෙතත් යක්දෙස්සාගල පෙන්නුම් කරන සුවිශේෂී භූමි ලක්ෂණ සේම එහි ඉතිහාසගත වටිනාකම රැගත් අතීත කතාවද වැදගත්. එහි කියැවෙන කරුණු කාරණා සමඟ යක්දෙස්සාගල වචනාර්ථය ද ගත් කළ ජනප්‍රවාද ආශ්‍රිතව ඕනෑම අයෙකුට එහි අතීත කතාව පිළිබඳව නිගමනයකට පැමිණීම අපහසු නොවේ. විජය විසින් මාලිගාවෙන් පලවා හරිනු ලදුව කුවේණිය සහ දරු දෙදෙනා මෙම පර්වතයට පැමිණි බවටත් එහි දී කුවේනියගේ මරණයට පෙර අතුව විජය වෙත දෙස් තැබූ ස්ථානය මෙය වන බවටත් අතීත කතා සාක්ෂ්‍ය සාධක සපයනවා. (යක් දෙස් ආ ගල) කෙසේ නමුත් එය කුවේණියගේ ශාපලත් විලාපය සවනට ගත් ඉසව්වක් වන බවට අසලම පවතින කුවෙණිගල ද සහේතුකව හේතු සාධක සපථ කරනවා. එසේම මෙහි කුවේණියගේ දෑස් නිදන් කොට ඇති බවටද පවතින්නේ තවත් මතයක්. (යක්ඇස්සාගල) අතීත කතාවන් හි සත්‍ය අසත්‍ය භාවය කෙතරම් වුවත් අතීතයේ කුවේණිය හා සහ සම්බන්ධ කිනම් හෝ සංසිද්ධියකට එය නිහඬවම සාක්ෂි සාධක දරන බවට නම් නිසැකයි.
ඉතිං පණ ගසන ඉතිහාසයක සාක්ෂි නිහඩවම ලයෙහි රුවා ගත යකුන් දෙස් තැබූ ගල කුවේණියගේ ශාපලත් විලාපය ඇසෙන මානයක් වුවත් සුන්දරත්වයෙන් නම් අගතැන්පත් ඉසව්වක්.