සොබාදහම හුස්ම ගන්න අවාරයක සිරිපා කරුණාවක්

post-title

උදුවප් පොහොයෙන් ආරම්භ වෙලා වෙසක් පුර පසොළොස්වක පොහොය දක්වාම දිවෙන සිරිපා වන්දනා සමය කියන්නේ  උතුම් සිරිපාද මස්තකය එකසේ බෞද්ධ අබෞද්ධ සියලු ආගමිකයන්ගේ ගෞරවයට පාත්‍ර වන කාල සීමාවක්. එක සිතින් පේ වෙලා මහත් ගෞරවයෙන් සිරිපා කරුණා කරන එම සෘතුව  තුළ  සොබාදහම පවා ඉතා කාරුණිකව සියලු නර සතුන්ගේ පුද පුජාවන්ට ඉඩකඩ සලසනවා. විශේෂයෙන්ම වාර්ෂිකව බුදුන් වහන්සේගේ මංගල ලකුණින් සශ්‍රීක වුණු පා පද්මය වැඳ පුදා ගන්නට එන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට ලක් වෙන ශ්‍රී පාදය කියන්නේ දෙස් විදෙස් වශයෙන් හෝ කිසිඳු ජාති කුල ආගම් භේදයකින් හෝ තොරව කා හටත් විවෘත වුණු පුදබිමක්. එකී සිරිපා මස්තකය  ප්‍රධාන කොට ගත් වර්ග කිලෝමීටර් 224ක භූමි ප්‍රමාණයකින් යුතු සමනල අඩවිය ද නිරන්තරයෙන් අසන්නට ලැබෙන බොහෝ ඓශ්චර්යමත් සිදුවීම් කෙරෙහි පවා තෝතැන්නක්. ඉතිං ඒ සියලු දේ සමඟ ගත් කල සිරිපා අඩවියෙහි වන්දනීය වටිනාකම මෙතකැයි කිව නොහැක්කා සේම එහි පවතින පාරසරික වටිනාකම ද ඊට සාපේක්ෂව දරන්නේ අමිල වටිනාකමක්. නමුත් සමසක් පුරාවට බැතිමතුන්ගෙන් පිරී පවතින සිරිපා වාරයේ හුස්ම නොගන්න සොබාදහම අවාරය තෙක් පසෙකට වන්නේ අනේක වූ සොබා ආශ්චර්යයන් ද මිනිස් ඇස නොගැටෙන ලෙස තුරුළු කොට ගනිමින්. නමුත් අවාරයේ සිරිපා සැරියක දී නම් ඒ සියල්ලක්ම නොවුන ද සමනල අඩවියේ සොබාදහම හුස්ම ගන්න විරාමයක් දර්ශනයට විවෘතයි. 

සොබා දහම හුස්ම ගන්න අවාරයක සිරිපා කරුණාවක් ???

ඉතිං අවාරයේ සිරිපා සැරියක දී නම් බොහෝ දෙනෙක් කරුණාවට තෝර ගන්නේ පොහොය දිනයක්. මොකද උඩ මළුව අවාරයේ දී විවෘතව තියෙන්නේ පොහොය දිනවල උදේ වරුවේ පමණක් වන නිසා. කොහොම නමුත් අපේ අවාරයේ සැරිය වෙනුවෙන් වෙන් වුනේ සතියක අවසාන දින දෙකක්. ඊළඟට තීරණය කල යුතු වැදගත්ම කාරණය වුණේ සිරිපා කරුණාවට තෝරා ගත යුතු මාර්ගය. අතීතයේ පටන් සිරිපා වන්දනාවට යොදා ගත් මාර්ග බොහොමයක් අතුරින් වර්තමානය වන විට යම්තාක් භාවිතයේ පවතින්නේ මාර්ග කිහිපයක් පමණයි. අනෙකුත් බොහෝ මාර්ගයන් වනගත මාර්ග වන නිසාත් ඒවායේ ගමන් අපහසුව නිසාත් අද වන විට අත් හැරුණු - මග හැරුණු මාර්ග. කෙසේ නමුත් අවාරයේ අඛණ්ඩව ඇද හැලෙන මහා වැසි නිසාවෙනුත් අතරමග ගමනේ දී මුණ ගැසිය හැකි වනසතුන් නිසාවෙනුත් අවාරයේ සිරිපා කරුණාවකට බොහෝ දෙනෙක්ගේ අනිවාර්යය තේරීම වෙන්නේ හැටන් - නල්ලතන්නි මාර්ගය. නමුත්  සොබාදහමේ නොනිමි වන්දනාකරුවන් වන අපේ නඩය වන්දනාවට තෝර ගත්තේ දැරණියගල - උඩමාලිබොඩ සිට වනගතව ඇදෙන ගමන් මාර්ගය. ඒ බොහෝ අවදානම් ද ගමනට එක්කාසු කර ගනිමින්. 

සුර්යයා සිරිපා මස්තකය වන්දනා කරන්නටත් මත්තෙන් දැරණියගල ගම්මානයෙන් පා ගමන් ආරම්භ කළ අප පන්දෙණිය ගඟ මුණ ගැහෙන මානයට එන තෙක් පසු කලේ කිලෝ මීටර් පහක දුරක්. විශේෂ වශයෙන්ම උඩමාලිබොඩ මාර්ගයෙන් සිරිපා කරුණා කරන විට පන්දෙණිය ගඟ සහ කුරු ගඟ ලෙස සීත ගඟුල් දෙකක් මුණ ගැසේ. ඉන් පළමු වන්න ලෙස පන්දෙණිය ගඟ මුණ ගැසෙන තැන  ගම්මානයත් සිරිපා හිමයත් සීමා වෙන තැන රූස්ස වෘක්ෂයක් පාමුල පිහිටන කුඩා බුද්ධ ප්‍රතිමාවක් සහ සමන් දේව ප්‍රතිමාවක් තැන්පත් කරන ලද වැඳුම්පල මේ මාර්ගයෙන් සිරිපා කරුණා කරන කා තුළත් දනවන්නේ  මහත් වූ භක්තියක්. ඉතිං බුද්ධ වන්දනාවෙන් අනතුරුව අපේ නඩය නමොවිත්තියෙන් ගමන් ආරම්භ කළේ සමනල අඩවිය දෙස දෑස් හෙලා රක්නා සුමන සමන් දේව ආශීර්වාදයෙන්.

කලින් කීවා වගේම දැරණියගල ගම්මානය සිරිපා හිමයෙන් සීමා වෙන්නේ පන්දෙණිය ගඟ හරහා. වෙනත් කාල සීමාවන්හි දී නම් තරණය කිරීම එතරම් අපහසු නොවන පන්දෙනිය ගඟ මේ අවාර කාල සීමාවේ දී ඉහළ සමනල අඩවියට ලැබෙන අනේක වර්ෂාව නිසාවෙන්ම බොහෝ සෙයින් චන්ඩයි. කැරකෙන සුළි ආකාර ජල දහරා කුඩා කුඩා ගල් පර අතරින් මුරණ්ඩු විදියට පහළට ගලන බහිනවා. ජල දහරාවටත් වඩා තරණයට අවදානම් එක්කාසු කලේ පය තබන ක්ෂණිකයෙන් ලිස්සා යන ගල් පර. ඒ නිසාවෙන්ම අවාරයේ  සිරිපා කරුණාවක්  ආවට - ගියාට කළ යුත්තක්  නොවන බව නම් ආරම්භයේ පටන්ම කා හටත් වැටහෙන්නක්. නමුත් සිරිපා පද්මය ගැන මෙන්ම සමනල අඩවිය ගැන ද අභියෝගාත්මකව නොසිතන ,එක සිතින් - මහත් භක්තියෙන් සිරිපා කරුණා කරන සියල්ලන් ආරක්ෂා කරන්න එහි සොබාදහම පවා වග බලා ගන්නවා. ඉතිං පළමු සීත ගඟුල තරණයෙන් පස්සේ ඉමක් නොපෙනෙන තුරු වියන යටින් අඩි පාර ඇදෙන්නේ නිහඬ බව ගිල ගත්ත කොළ පාට පාරාදීසයකට. 

එතැන් පටන් කිලෝ මීටර් නවයක් පුරාවට වනගත මාර්ගය ඇදෙන්නේ රූස්ස ගස් අතරින් ; මහා වන මැදින්. අතරින් පතර කැලෑවට හැංගිච්ච කුඩා දිය කඳුරු මහා දිය දහරා බවට පත් වෙලා තිබුනේ අවාරයේ සමනල අඩවියට අඛණ්ඩව දින ගණන් පුරාවට ඇද හැලෙන මහා වර්ෂාවේ ආශිර්වාදයෙන්. ඉතිං අඩියක් අඩියක් පාසාම ගමනට පසුබිම් සංගීතය සපයන නොඉදුල් දිය දහරා නම් සුලබ වුණා ගමන පුරාවටම. ඒ වගේම තෙත පොළොවට පාට දුන්නු මෙතෙක් නොදුටු බොහෝ පුංචි පුංචි මල් සමනල අඩවිය පුරාම තැනින් තැන දකින්න ලැබෙනවා. අවට පරිසරයේ සීතලට ඔරොත්තු දෙන විදියට තරමක් ඝනකම් පෙති සහිතව පිපුණු මල් මත සීතලට මිදෙන පුංචි පිනි බිඳු පවා දැක ගන්න පුළුවන්. ඒ තරම් සියුමැලි මල් පෙති සීතලට අනුවර්තනය වෙලා තියෙන ආකාරය පවා පුදුම සහගතයි. සැබෑවටම නිහඬ බව ගිල ගත්ත ගමන් මග අතර හිටි ගමන්ම එහෙ මෙහෙ දුවන වලි කුකුළන් ත්‍රාසයක් - තැති ගැන්මක් එකතු නොකරනවමත් නෙවෙයි හුදකලා සැරිසරන්නන්ගේ හිත්වලට. සමනල අඩවියේ සැඟව ගත් කොතෙකුත් වූ ඓශ්චර්යයන් දෙස අවුරුදු සිය ගණනක් තිස්සේ නිහඬව බලා හුන් මහා වෘක්ෂයන් අහසට හිස් ඔසව ගෙන අදටත් නිසලව ඉන්නවා එදා වගේම දෑස් දරාගෙන. ගමන  සුන්දර වන තරමටම දුෂ්කරය. ගමන් කළ යුත්තේ විවිධ ප්‍රමාණයේ ගල් මුල් මතින් මෙන්ම තවත්  විටක දී කඩා වැටුණු ගස් කඳන් මත්තෙනි.ඉතිං  උඩමාලිබොඩ ගමන් මග අසීරුය ; ඒ තරමටම රළුය. ඇතැම් තැනක නිසි ආකාරව මඟ නොපෙනෙන විට ඇති මං සලකුණු ඔස්සේ යා යුතුය. පවතින වර්ෂාවත් තෙත් සහිත බව නිරායාසයෙන්ම රඳවා ගත් වැසි වනාන්තර ස්වභාවයත් නිසා තරණය කළ යුතු දොළ පහරවල් , දිය කඩිති , දිය කඳුරු නම් බොහෝමය. ඒ දැකිය හැකි  ඇස් වශී කරන සොබාදහමත් එක්ක අවාරයේ සිරිපා කරුණාවට එකතු වුණු අපේ නඩයේ කා හටත් කිසිඳු මහන්සියක් නොදැනුනත් ගමන පුරාවටම කාවත් විඩාවට ලක් කලේ ආගන්තුක සත්කාර වෙනුවෙන් සැදී පැහැදී හුන් කූඩැලි ප්‍රජාව. කිසිඳු අඩුවක් නොවුණු  කූඩැලි ප්‍රහාර සහ මද වැසි හමුවේ ගමන තරමක් අඩාල වුණත් අඛණ්ඩව ගත වුණු  හෝරා කිහිපයකින් පසුව අවසානයේ  අප ගමනේ දෙවන භාගය යැයි සැලකිය හැකි කුරු ගඟ ආසන්නයට පැමිණියා. හුළඟත් එක්ක එන විසිරුණු දිය බිඳිති පවා ඇග හිරිගඩු මතු කරන්නට සමත් තරමේ සීතලකින් යුක්ත වුණු කුරු ගඟ ජලය සැබෑම සීත ගඟුලක් නිර්මාණය කළා. කෙසේ නමුත් නඩයේ කිහිප දෙනෙකුම හිම පරදන සීතල පරය ගෙන සීත ගඟුලෙන් ස්නානය කළත් අන් පිරිසට නම් එය හුළඟින්වත් දරා ගත නොහැකි තරමට බලවත් සීතලක් වුණා. 

ඒ වන විට  උදා වුණු දහවල් දවසෙත් හෝරා කිහිපයක්ම  නික්ම ගිහින්. ඉතිං රාත්‍රී නැවතුම දක්වා ගමන් කළ යුත්තේ තව දුරටත්  වනගත මගක වන නිසාවෙන්ම නඩේ කා හටත් සිද්ද වුනේ ඉතිරි ගමනට තරමක් ඉක්මන් වෙන්න. කුරු ගඟ එතෙර වීමේ ඉඳන් උඩමාලිබොඩ සිරිපා ගමන් මඟ තවත් ඉදිරියට ඇදෙන්නේ කිලෝ මීටරයක් පමණ දුරකින් කුරුවිට එරත්න මාර්ගය මුණ ගැහෙන තෙක්.ඒ මැදහින්න අම්බලමේ සිට මීටර් 200ක් පමණ ඉහලට වන්නට ය. තරණය කල යුතු කුඩා කඳු සහිත ගමන් මඟ මේ කාල සීමාවේ දී නම් බොහෝ වල ගොඩැලි සහිතව නිර්මාණය වෙන්නේ ලැබෙන අධික වර්ෂාව නිසාමයි. කොහොම නමුත් අප ගමන් කල කාලය පුරාවටම මද වැසි මිසක මහා වැසි ගමනට බාධාවක් නොවන්නට නම් අප වාසනාවන්ත වූයෙමු. කෙසේ නමුත් ගමන ආරම්භයේ දී දුටුවායින් පසුව යලිත් සිරිපා මස්තකය දර්ශනය වන්නේ කුරුවිට පාරට පැමිණ ගෙත්තම්පාන ලඟා වන විටය. ඉන් අනතුරුව පිළිවෙළින් බැලුම්ගල , හැරමිටිපාන ගල්වංගෙඩිය අසලින් ගමන් මග රත්නපුර - පලාබද්දල මාර්ගය සමඟ එක්ව සිරිපා මලුව කරා විහිදේ.

සවස පහ පමණ වන විට අවට වෙලා ගන්න මීදුම් සේල ඝනව තීව්‍ර වෙන්නේ අවාරයේ සීතලම රැයකට පසුබිම් සාධක එක්කාසු කරමින්. ඉතිං පළමු දවසේ අරමුණු කළ පා ගමන එතකින් නිමා වන විට නවාතැන් පහසුකම් සළසා ගැනීම ඊළඟ කළ යුතුම කාරණය විය. වාරයේ දී නම් රැයක් දහවලක් පවා නොමැතිව මෙතැන් සිට ඉහලට සිරිපා කරුණා කිරීම කිසිඳු ගැටළුවක් නොවේ.නවාතැන් සලසා ගැනීමද ගැටළුවක් නැත. නමුත් අවාරයේ දී සිරිපා අඩවිය භාරව  සැරිසරන වනසතුන් නිසාවෙන්ම ඉහලට කරුණා කිරීම  නොකළ යුත්තකි. අවාරයේ සමසක් පුරාවට සියලු කඩමන්ඩි ද අත් හැර දමන නිසාවෙන් නවාතැන් හෝ අන් කිසිදු අවශ්‍යතාවයක් පතා කඩයක් ප්‍රාර්ථනා කිරීමද අවාර සැරියක දී විහිළුවකි.  (අසා ඇති ලෙසින් වසා දැමෙන නල්ලතන්නි කඩමන්ඩියට පවා අවාරයේ දී දිවියා එයි.) ඉතිං නවාතැන අම්බලමක වූවා නම් නිසැකවම රාත්‍රිය මිහිදුමෙන් බරව කඩා හැලෙන සිරිකඩෙන්  තෙත්ව ගත කරන්නට සිදු වෙනවා නොඅනුමානයි.  නමුත් සුමන සමන් දේව කරුණාවෙන් එතරම් අප නඩය අවාසනාවන්ත නොවූයෙන් රැය පහන් කිරීමට ගල්වංගෙඩිය අසල කඩබිමේ අත් හරින ලද කඩයක විය. ජල පහසුකම් ද සහිත වූයෙන් ගල් ගැහෙන සීතලේ ඇගපත යන්තමින් සෝදා ගෙන රෑ කෑමෙන් අනතුරුව කවුරුත් පිවිසියේ ඇහිපිය වදින සැනෙකින් ගිල ගත් නින්දකට ය. අහේතුකව රාත්‍රියේ ඇහැරුණු මොහොතක බාහිර පරිසරය මවා දුන් සිතුවම නම් දහවල් දවස මෙන් සුන්දර නොවීය. කෝඩය බොහෝ වූවා සේම වියරු හුළගේ හඬ අඩවිය දෙවනත් කරන තරම් විය. වේගවත්ව හමන හුළඟට සැනෙකින් ඉහල යන කඩපිලේ ටකරං වහලය තවත් මොහොතකින් පරාල මටම පතිත වෙන්නේ මහා හඬක් නංවන අතරට. ඉතිං හිරිගඩු පිපෙන මුරණ්ඩු හුළඟ ද හෝ ගාන ඉහළ අඩවියට ඇද හැලෙන මහා වරුසාව ද එතැන් පටන් ඇරයුම් කලේ නොනිදන රාත්‍රියකට.

පසුදා යලිත් උදා වුණේ මහා කුණාටුවකින් පසුව මුහුදකට උදා වෙන අන්දමේ සංසුන් නිසංසල දවසක්. ලාවට එහෙන් මෙහෙන් ඇදෙන මීදුම් සළු පවා සන්සුන්. උණුසුම් තේ කෝප්පයකින් , සුළු ආහාරයකින් සෑහීමට පත් වුණ නඩය හිමිදිරි උදයේම දෙවන දවස ආරම්භ කලේ හැකි ඉක්මනින් උඩ මළුවට ලඟා වෙන අරමුණින්. හෙමි හෙමින් පඩි මත්තෙන් ආඩියාමල තැන්න පසු කර මහා ගිරිදඹේට ලඟා වෙන්න එතරම් වෙලාවක් ගත නොවුණු තරම්. මෙම මහගිරි දඹේ ඇහැල කණුව අසල දී සිරිපා කරුණාවට ඇති තවත් අප්‍රසිද්ද මගක් වන හපුගස්තැන්න - දෙහෙනකන්ද මාර්ගය ද මෙම මාර්ගයටම එකතු වෙනවා. ඉතිං අනෙක් මාර්ගවලට සාපේක්ෂව වැඩිම මාර්ග ප්‍රමාණයක් එකිනෙක මුණ ගැහෙන මාර්ගය වෙන්නෙත් මේ දැරණියගල - උඩමාලිබොඩ අප ගමන් ගත් මාර්ගය.කොහොම නමුත් මහාගිරිදඹය පසු කිරීමෙන් පසු අවාරය කියන්නේ සොබාදහම සිරිපා වන්දනා කරන සමය බව නම්  ප්‍රත්‍යක්ෂ වෙන කරුණක්. පඩි පේලි වහ ගන්න කහ පාට මල් ඇස් අබියසින් මවන්නේ සිරිපා උඩ මළුව තෙක්  කහ පාටින් බුමුතුරුණු ඇතිරුවා හා සමාන සිතුවමක්. අවට පෙන්නේ වලාකුළු මත්තෙහි සිරිපා මස්තකය පිහිටන සෙයක්. එහෙන් මෙහෙන් පියාඹන් ඇවිදින් සීතලට තටු උණුසුම් කරන සමනල් රංචුත් බොහොමයි. ඉතිං ඒක සැබෑවටම සොබාදහම සිරිපා වන්දනා කරන කාලයක්. ඒ නිසාම අවාරයේ සිරිපා කරුනාවක දී මතක තබා ගත යුතුම කාරණය නම් හැදෙන වැඩෙන පුංචි පැලැටියක කුඩා අංකුරයක්වත් නොපාගා සමනල අඩවිය තුළ සැරිසැරිය යුතු බවයි. මන්ද සිරිපා අවාරය සොබාදහම හුස්ම ගන්න විරාමයක් වන නිසාවෙන්ම.

ඉතිං පුරා දින එක හමාරක සුන්දර සහ දුෂ්කරම කරුණාවකින් අනතුරුව සිත්සේ උද මළුව වැඳ පුදා ගෙන ආපහු පහලට කරුණා කරන්න අපි තෝර ගත්තේ බොහෝ දෙනෙක්ට හුරු පුරුදු හැටන් - නල්ලතන්නි මාර්ගය. ඒත් ඒ නුපුරුදු ගමනකට. ඒ අවාරයට සශ්‍රීක වන සමනල අඩවියේ දිය ඇලි හොයා ගෙන පහලට කරුණා කරන බලාපොරොත්තුවෙන්.

 

Top