මස්කෙලිය යට කල මාඋස්සාව (735)

post-title

ලාංකීය අප, අප රටේ සුවිශේෂී සුන්දරත්වයන් මගහැරිය යුතු නැත. හරිත පැහැ ජලාශයක සුන්දර දසුන් මට මැවුණේම නෙදර්ලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය වැනි යුරෝපානු කලාපීය රටවල් වල ජලාශයන් ය. හැටන් සිට මස්කෙළිය හරහා ශ්‍රී පාද අඩවියට යන විට මාඋස්සාකැලේ සුන්දරත්වය දැකබලාගත හැකිය. 

මග දෙපස ඇති ෆයිනස් ශාක සහ කඳු පන්ති වල පැහැය සහ සෙවනැලි නිසා ජලාශය කොළ නිල් පැහැයෙන් වර්ණිත වී අපට දිස් වේ. මස්කෙළිය ඔයෙන් නිර්මාණය වන ප්‍රධාන ජලාශය මාඋස්සාකැලේ ජලාශය යි. මාඋස්සාව පෝෂණය වන්නේ සමනල රක්‍ෂිතයේ ජලපෝෂක වලිනි. මෙය ලක්‍ෂපාන සංකීර්ණයට ජලය සපයන එක් ප්‍රධාන ජලාශයක් වේ. වර්ග කිලෝමීටර ගණනක් පුරාවට විහිදී ඇති මෙහි සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 93000 කි. ජලාශයේ තැන තැන කුඩා දූපත් වැනි කඳු පිහිටා ඇති අතර ඒවායේ හොඳින් වැඩුණු රුක්, වනාන්තර ස්වරූපයක් ගනී. සෑම වසරකම පෙබරවාරි, මාර්තු වැනි කාලයන්වලදී පතුල පෙනෙන තරමට ජලය සිඳී යන අතර එහිදී මෙම ජලාශය නිර්මාණයේදී යට වුණු මස්කෙළිය නගරයේ නටඹුන් සහ බුදු මැදුරක් දැකගත හැකියි. මාඋස්සා වේල්ල සහ ජලාශය නිර්මාණය කර ඇත්තේ මස්කෙලිය නගරය මුළුමනින්ම යට කරගෙනය. 1964 දී මස්කෙළිය ඔය හරස් කර මාඋස්සාකැලේ ජලාශය පාරම්පරික ගම්මාන බොහොමයක් යටකරමින් ඉදිකර ඇත. වසර පනස් හතකට පෙර මස්කෙළියට අත්වූ ඉරණම ඉන් පෙරද මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකළ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල එමෙන්ම මොරගහකන්ද කාලීනව උමාඔය බහුකාර්‍ය ව්‍යාපෘතියත් එකම කතාව යළි යළි කියාපායි.

සමනල රක්‍ෂිතයෙන් මාඋස්සාවට දිශා හයකින් ජලය ලැබෙන අතර එහිදී ප්‍රධාන ජල ධාරා හතරක් සහ අවශේෂ ජල ධාරා දෙකක් හමු වේ. සමනල කන්ද අසලින් ජල මූලාශ්‍ර දෙකක් පටන් ගන්නා අතර ගවරවිල තැන්නෙන් අනෙක් ජල මූලාශ්‍ර හතරම පටන් ගනියි. ගවරවිල කඳු පන්තියේ මුදුන තැන්නක් ලෙස පවතින බැවින් ගවරවිල තැන්න ලෙස හඳුන්වන අතර එය ප්‍රධාන ජල පෝෂක වලින් සමන්විත වේ. ගවරවිල යන නාමය ගවරා (Ceylon gaur - Bos sinhaleyus) නිසා ලැබූවක් බව සිතිය හැක. ගවරා යනු ප්ලයොස්ටසීන යුගයේ රත්නපුර සත්ත්ව සංතතියේ දී හමුවන වඳ වී ගිය ක්‍ෂීරපායි සත්වයෙකි. අදින් වසර මිලියන 2.58 කට පෙරාතුව සහ අදින් වසර 11,700 ක් දක්වා ප්ලයොස්ටසීන යුගය පැවතුනි. මෙම කාල වකවානුවේ ජීවත් වූ දැනට නෂ්ට වී ගිය සතුන්ගේ පාෂානිභූත වූ අවශේෂ හෙවත් ෆොසිල සබරගමු දියුළු තැන්පතු(alluvium) වලින් හමුවේ. P.E.P. දැරණියගලයන්ගේ කැණීම් වලදී ගවරාගේ සහ අනෙකුත් සත්ත්වයින්ගේ පාෂාණිභූත කොටස් හමු වී ඇති අතර ඒවා රත්නපුර ජාතික කෞතුකාගාරයේදී දැකබලා ගත හැකිය.

ගවරවිල තැන්නේ ජලපෝෂකයන්ගෙන් පැමිණෙන ජලය නිසා ශ්‍රී පාද ඇල්ල ( ඉහල ගාට්මෝර් ඇල්ල) නිර්මාණය වේ. එයින් මාඋස්සාව පෝෂණය වේ. එම ජල මූලාශ්‍ර හයෙන් දෙවැන්න සිරිපාද මුක්කුවත්ත මාර්ගය අසල සිට ගලන බත්තුලුඔය ෆිෂින් හට් පසුකරමින් සහ මරේ ඇල්ල නිර්මාණය කරමින් මාඋත්සාව පෝෂණය කරයි. දෙවැන්න නිර්මාණය වන්නේ යකාහැඬූගල අසළ සිට සීතගඟුල නිර්මාණය කරමින් සහ රාජමාලේ ඇල්ල ද නිර්මාණය කරමිනි. සිව්වැන්න වන්නේ යකාඇඬුඇලේ සිට ගලායන ජලය සහ බල්ලාබැඳීගලේ සිට ගලා යන ජලය සමග එකතු වී මෝහිනි ඇල්ල ද නිර්මාණය කරමින් මාඋස්සාව පෝෂණය කරමිනි. මෝහිනි ඇල්ල හැටන් සිට නල්ලතන්නියට යනවිට දකුණු පසින් දැකබලාගත හැකිය. පස්වැන්න නම් මස්කෙලිය නගරය ආසන්නයේදී මාඋස්සාවට වැටෙන ගවරවිල කන්ද සහ මහමුණි කන්ද ආශ්‍රිතව ගලායන ජල ප්‍රදේශයයි. මාඋස්සාව පෝෂණය කරන හයවන ජලපෝෂක මාර්ගය නම් ගවරවිල කඳුවැටියෙන් හටගන්නා අවශේෂ දියධාරා කීපයක් එකතු වී අප්කොට් ප්‍රදේශයේ දී හමුවන්නයි. මාඋස්සාවේ සියට හැටකට වැඩි ජල ධාරිතාවක් ගවරවිල තැන්න ආශ්‍රිත කඳු පන්ති වලින් ලැබේ. දැකබලා ගත හැකි දියඇලි ලෙස ගවරවිල ප්‍රදේශයෙන් පෝෂණය වන ශ්‍රී පාද ඇල්ල, බත්තුලු ඔයෙන් පෝෂණය වන මරේ ඇල්ල මාඋස්සාකැලේ ජලාශයේ කෙළවරක දී හමු වේ. මෝහිනි ඇල්ල, මුල්ගම දිය ඇලි යුගල සහ ගවරවිල කඳු පන්තියෙන් වැටෙන දියඇල්ලවල් 5 ද දැකබලා ගත හැකියි.

 මස්කෙළිය ඔය මාඋස්සාකැලේ ජලාශය ඉතා අලංකාරව සුන්දරව පෙනෙන්නේ අවට පරිසරයේ සුන්දරත්වයත් සමගිනි. කෙසේ වුවත් මේ සුන්දරත්වයට එහා ගිය කඳුළු කතා සේම ජලාශ නිර්මාණයන්හි දී පීඩා විඳින බොහෝ ජන ජීවිත සත්ත්ව හා පරිසර සංහාරයත් අප තරයේ සිහි තබාගත යුතුය.

Top