නකල්ස් කඳුවැටියට ගිය අපූරු සවාරිය (610)

post-title

සොබාදහම කියන්නෙම අපූරු නිමවුමක්. ඇත්තම කීවොත් අපේ හුස්ම රැඳීල තියෙන්නෙත් සොබාදහම නිසාම තමයි. ගස්වැල්, දියඇලි, ගංගා, ඇළදොල, සත්තු අපට ගෙන එන්නෙ අමුතුම ජීවයක්. ඉතිං, මහනුවර කියන්නෙම දෙස් විදෙස් කාගෙත් හිත් ගන්නා ප්‍රදේශයක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඒවා තමයි හිතකර දේශගුණය, ඓතිහාසික වශයෙන් තියෙන වැදගත්කම වගේම වැඩිම නැරඹූම් ස්ථාන තියෙන්නෙත් මේ ප්‍රදේශයෙ වීම. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ඇතුලෙ හෙක්ටයාර 2100 ක භූමි ප්‍රදේශයක් පුරාවටම මේ අසිරිමත් නකල්ස් කඳුවැටිය පැතිරිල තියෙන අතරම මේ කඳු මුදුන් නිතරම මීදුමෙන් වැසී යන හින්ද එය දකින්නෙකුට ඇතිකරන්නෙ අමුතුම ජීවයක්. අමුතුම සුන්දරත්වයක්. මෙම කඳු පංතිය දෙස ඈත සිට බලන්නෙකුට කඳු මුදුන් පහක් මිට මෙලවූ අතක ඇඟිලි දිස්වන ආකාරයට දකින්න පුළුවන් හින්දම විදේශිකයො මෙයට නකල්ස් කියන නම ලබා දුන්නා කියල තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ. මෙම නකල්ස් කඳුවැටිය කඳු මුදුන් 35කින් විතර සමන්විත වෙනවා. මෙහි පිහිටලා තියෙන උසම කන්ද වෙන්නෙ ගොම්බානිය කන්දයි.එහි උස මීටර් 1906ක් විදියට තමයි සැළකෙන්නෙ.

නකල්ස් කඳුවැටිය ඊසාන දිග හා නිරිතදිග මෝසම් සුළං හමන දිශාවට ලම්බකව පිහිටල තියෙන හින්ද මෝසම් වර්ෂා දෙකෙන්ම වර්ෂාව ලැබෙනවා. ප්‍රධාන වශයෙන් නකල්ස් ප්‍රදේශයට මිලිමීටර් 5080ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. ඒ වගේම නැගෙනහිර පහල බෑවුම්වලට මිලිමීටර් 2540-3810ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. මධ්‍යන වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18.5-26 පමණ වෙනවා. මෙම නකල්ස් කඳුවැටි ප්‍රදේශයෙ තෙත් නිවර්තන පහත් අර්ධ සදාහරිත, නිවර්තන උප කඳුකර තෙත් අර්ධ සදාහරිත, නිවර්තන කඳුකර තෙත් සදාහරිත, කඳුකර තෘණභූමි යන දේශගුණික කලාප දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවක් මෙම වනාන්තරය තුල දක්නට ලැබෙන අතර එයිනුත් ඇතැම් විශේෂ දක්නට ලැබෙන්නේ නකල්ස් කඳුවැටි වනාන්තරයෙම විතරයි. ඒ හින්ද මෙහි තියෙන සංචාරක මෙන්ම ජෛව විද්‍යාත්මක අගය ද ඉතා ඉහලයි.

නකල්ස් වනාන්තරයේ සමහර ස්ථාන රාවණා රජ සමය දක්වා ඉතිහාසයකට හිමිකම කියනවා. ඒ අතරින් රාවණා රජු විසින් සීතා කුමරිය සඟවා තබාගත්තේ යැයි සැලකෙන සීතා ලෙන, ගවරවිල මෙන්ම රාවණ ඉතිහාසය හා සම්බන්ධ යහන්ගල වැනි ස්ථාන මේ කඳුවැටිය ආශ්‍රිතව දකින්න තියෙනවා. එමෙන්ම අතීතයේ දී ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පැමිණෙන රුවල් නෞකාවලට ශ්‍රී ලංකාවේ පිහිටීමේ දිශාව පෙන්නූ බව කියැවෙන ‘ඉලක්ක ගල‘ හෙවත් ”ලකේගල” ද නකල්ස් වනාන්තරය තුල පිහිටි සුවිශේෂී ස්ථානයක් කියල කියන්න පුළුවන්. 

ඉතින් නකල්ස් කඳුවැටියේ අසිරිය වචන වලින් රස විඳින්න ලබාදෙන ගමන් මං ඔබෙන් පුංචි ඉල්ලීමක් කරන්නම්. ගස්වැල් කියන්නෙම අපේ හුස්ම රැඳිලා තියෙන නාලිය. ඒ හින්දම සොබාදහම වනසන්න කලින් සිය දහස් වතාවක් හිතන්න හුස්ම ටික නැති කරගෙන ඉන්නෙ කොහොමද කියල. 

Top