හිමිදිරියට පෑ මීදුම එක්ක සවාරියක්...(576)

post-title

මීදුමත් එක්ක සවාරියක් යන්න තිබෙනවා කියන්නෙ කෙතරම් සුන්දර අත්දැකීමක්ද? මොකක්ද මේ අමුතු මීදුමේ සවාරිය? හරි අපූරූ විශ්මජනක අත්දැකීමක්. එහෙනම් අපි බලමු ඒ අපූරු මීදුම් සවාරිය ගැන.

රක්වාන හා දෙනියාය කියන්නෙ සීත දේශගුනයක් පවතින කදුවැටි හා තේවතු වලින් හැඩ උන ප්‍රදේශයක්. එම මාර්ග ඔස්සේ යනවිට කුඩා කුඩා දියඇලි අතරින් කුඩා දහඅට වංගු කියලා හදුන්වන රූස්ස ගස් යායකින් මැදිවුන වැලමිටි වංගු කියලා වංගු දහයකින් සමන්විත සුන්දර ප්‍රදේශයක් මුනගැසේ. වංගු ටික පහු කරමින් කන්ද උඩට නගින විට මුහුදු මට්ටමේ සිට අඩි 8000ක් පමණ උසින් යුත් සූරියකන්ද ප්‍රදේශය අපට මුණ ගැසෙනවා. නිතර පිනි ඇද වැටෙන මීදුමින් වැසෙන දේශගුනයක් හිමි සූරියකන්ද දෙස්විදෙස් සංචාරකයින්ගේ සිත් බැදි පාරාදීසයක්.

සූරියකන්ද හා සිංහරාජ වන උද්‍යානයේ නැගෙනහිර මායිම් අලලා පිහිටා ඇති අපූරු පෙදෙසක් ගැන මේ අපූරු සංචාරිය දිග හැරෙන්නෙ. රත්නපුර හෝ බදුල්ල ප්‍රදේශයේ සිට පැමිණෙනවා නම් පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානට පැමිණි විට මේ කියන ප්‍රදේශය හමු වේ. මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැදින් "හිමිදිරි පෙදෙස Morning Side" ලෙස දැක්වූ නාමපුවරු දක්නට ලැබේ. එතැනින් මෙම සුන්දරවුත්,කටුක හා ත්‍රාසජනක ගමන ආරම්භ වේ. කිලෝමීටර් 7ක් පමණ දුර ඇදෙන ගමනක්.පටු පාරවල් ,ගල් බොරලු සහිත අබලන් පාරවල් බහුලය.ෆෝවීල් හෝ යතුරුපැදි ,පාපැදි වලින් ගමන් කරන්නෙ නම් වඩා පහසුවේ.

"හිමිදිරි පෙදෙස නැතිනම් Morning Side " යනුවෙන් මෙහි නම නිර්මාණය වී ඇති ආකාරය විමසා බැලුවහොත් මෙම ප්‍රදේශයේ ඇති දේශගුණික විශේෂත්වය හේතුවෙන් මෙම නම යෙදී ඇති බව අවට ගම්මුන්ගේ මතය.ඒ මෙම ප්‍රදේශය දවස පුරාම මීදුමෙන් වැසී පැවතීම.හිරු රශ්මිය නැති සුන්දර මීදුම් සිහිලෙන් හැඩවෙන නිසොල්මන් පෙදෙසක්.නිදහසේ ස්වභාදහම විදින කෙනෙකුට නම් මෙය අපූරු අත්දැකීමක් ගෙනදෙනු නොඅනුමානය.එක පැත්තකින් සිංහරාජ වනය අනෙක් පැත්තෙන් බෑවුම් පෙදෙස හා කදු සහිත මනරම් පෙදෙසක්.හරිත වර්ණයෙන් පැහැ ගැන්වූ කලාත්මක සිතුවමක් වැනිය.

 තේවතු යාය පසුකොට ඉදිරියට යනවිට තැනිතලා සහිත ප්‍රදේශයක් හමුවේ.කලුගල් තැනින් තැන ඉස්මතු වූ අබලන් පටු පාටවල් පසුකොට යත්ම ගණව වැඩුණු තුරුලතාවන් සහිත ප්‍රදේශයක් හමුවේ.කොල තට්ටු එකින් එකට වැටී ඇති මද අදුරු හා තෙත් පරිසරයකි.ඉන්පසු ඉදිරියට ඇදීයන විට කුඩා දියඇලි,දිය පහරවල් ද හමුවන නිසාවෙන් ඒ සුන්දරත්වයේ පහස විදීමටද හැකියාව පවතී.තවත් ඉදිරියට යනවිට අපට හමුවන තැනිතලා ප්‍රදේශයක් .මෙම ප්‍රදේශය අවට කදු මිටියාවත් වලින් හැඩ වූ සිත් ගත් දර්ශනයන් දිස් වේ.මීදුමින් වැසුන මෙම ප්‍රදේශය "හිමිදිරි පෙදෙස " ලෙස හදුන්වනු ලබයි.එහි ඉංග්‍රීසි නාමය Morning Side ලෙසද නම් කර තිබේ.මීදුමෙන් වටපිටාව හැඩවුන දවසපුරාම හිරු රශ්මිය නොමැති මීදුම් කලාපයක් හිමිදිරි පෙදෙසේ විශේෂත්වය මනාව ගම්‍ය කරයි.සිංහරාජ වන භූමියෙම කොටසක් මැදින් හිමිදිරියට ඇතුල් වන අපට ඒ අවට පරිසරයේ විශේෂ සත්ව හා ශාක විශේෂද දැක ගැනීමට හැක.තවත් විශේෂත්වයක් ලෙස වර්ණවත් සමනල විශේෂයද දැක ගැනීමට හැක.වැදගත්ම කාරණයක් ලෙස මෙම ප්‍රදේශයේ බහුල ලෙස කූඩැල්ලන් ගැවසේ.එම නිසා එයටද සූදානම්ව යාම.මිනිසුන් නිතරම ගැවසෙන ප්‍රදේශයක් නොවන නිසා අලි ගැවසෙනුද ද ප්‍රවේශම්ව ගමන යාමට වගබලා ගතයුතුය.අප මේ සංචාරය කරන්නෙ ස්වභාවික පරිසරය පද්ධතිවල.ඒ නිසා කිසිම මොහොතක මෙම පරිසර පද්ධතිවලට හානි වන දෑ සිදු නොකල යුතුය.හිමිදිරි පෙදෙස කියන්නෙ ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ වැදගත් සංචාරක ප්‍රදේශයක්.මේ ස්වභාදහම් අසිරිය විදීමට යන ඔබඅප එම පරිසර තුලට පොලිතින් ,ප්ලාස්ටික් හ වීදුරු වැනි අපද්‍රව්‍ය බැහැර නොකර ඔබගේ සංචාරය සිදු කරන්න.එවිට අපේ මේ ස්වභාදම ඊලග පරම්පරාවලටත් විදීමට ඉතිරි වේ.ඉතින් මේ මීදුම් සවාරිය ඔබට අපූරු අත්දැකීමක් ගෙනදෙනු නිසැකය.ඒ වගේම ත්‍රාසජනක අවස්තා ද නැතුවම නොවේ.නිදහසේ සංචාරයේ යන අයට අපූරු තෝතැන්නක්.සංචාරය කරනවා වගේම එම පරිසර ආරක්ෂා කිරීමටද වගබලා ගන්න.

Top