රිදී ලැබුණු රිදී විහාරයේ වගතුග සොයා ගිය අපූරු චාරිකාව (470)

post-title

උදෑසන හිරු කිරණ පොළොව මත පතිත වීමටත් පෙර මා මේ ගමන් කරන්නේ එක්තරා වූ අධ්‍යයන කටයුත්තක් සදහා බොහෝ සෙයින් අනුහස් ඇති කුමාර බණ්ඩාර දෙවියන් වැඩ සිටින අඩවිය බලාය. හිමිදිරි උදෑසන සීත තැවරුණු මද පවනේ මා මෙම ස්ථානය කරා ගමන් ආරම්භ කළේ මෙම ඓතිහාසික ස්ථානය පිළිබදව පුරාවෘත්තයක්ද මසිත තැන්පත් කරගෙනය. එය පුරාවෘත්තයකටත් වඩා යථාර්ථයක් වූ කතාන්දරයක් ලෙස දැක්වීම උචිතයැයි සිතමි. මන්ද මා එලෙස සදහන් කරන්නේ එය ප්‍රත්‍යක්ෂ වූ සාක්ෂි මත පදනම් වූ සැබෑවක්ම වන නිසාය. ඓතිහාසික රිදී ලෙන් විහාරය එසේත් නැතිනම් රිදී විහාරය අද මගේ ගමනේ ගමනාන්තය සහ කතාන්දරය වනු ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑඋඩවිල්ලි හත්පත්තුවේ මාදුරේ කෝරළේ රිදීගම නම් සුන්දරත්වයෙන් අනූන පරිසරයක රිදී විහාරය පිහිටා ඇත. දුටුගැමුණු රජ සමය දක්වා නෑකම් කියන රිදී විහාරයෙන් එකළ රිදී ලැබුණු බවට සදහන් පුවත ගැමි ජනතාව අතර ඉතාමත් ප්‍රචලිත මතයක් බවට පත්ව ඇත. රිදී විහාරය බලා ගමන් කරන්නෙකුට කුරුණෑගල නුවර පාරෙන් මල්ලවපිටිය හන්දියෙන් වමට හැරී කැප්පිටිගල පාරේ රිදීගමින් බැස අලුත්පාර දිගේ ගොස් ගමනාන්තය වෙත ළගා විය හැකිය. එසේත් නැත්නම් කුරුණෑගලින් දඹුල්ල පාරේ ගමන් කොට ඉබ්බාගමුව පසුකර තල්ගොඩපිටියෙන් දකුණට හැරී මාතලේ පාරේ රුක්අත්තනගහ හන්දියෙන් දකුණට හැරී රිදීගමට පැමිණ ද රිදී ලෙන් විහාරයට ළගා විය හැකිය. මා මේ ගමන් මාර්ග දෙකෙන් තෝරා ගත්තේ පළමු ගමන් මාර්ගයයි.

දහවල් වරුව වන්නට පෙර මා පැමිණ සිටියේ රිදී විහාර භූමිය අසළටයි. සුවිසල් මැදුරු ගරු ගාම්භීරයෙන් යුක්තව මා දෙස බලා සිටිනවායැයි විටෙක මට දැනුණි. සුදෝ සුදුවට දිලෙන ඈතින් පෙනෙන චෛත්‍ය රාජයා දෙස මා බලා සිටියේ නිශ්ශබ්දතාවයෙන් පිරි පරිසරයට ද ගෞරවය පුද කරමිනි. දීප්තිමත් හිරු එළිය රිදී විහාර භූමියේ වැලි තලය මත පතිත වෙද්දී මමද මා විසින් ගෙන ආ මල් පහන් පූජා කර විහාරාංග නැරඹීම සදහා ටික වේලාවකින් ගමන් කිරීමට සැරසුනෙමි. ගිනිගහන මධ්‍යහනයේ අව් රශ්මියෙන් ඇළලී ගිය ගතට මද වෙහෙසකාරී බවක් දැනුනත් මසිතට දැනුණේ කියා ගන්නට බැරි සැනසිලිදායක සිතුවිල්ලකි. ඒ මෙම ස්ථානයේ ඇති පූජනීයභාවයේ අනුහස සහ මෙම ස්ථානය පිළිබදව මා සිත්හි තැන්පත් වූ කතා ප්‍රවෘත්තියේ පසුබිම නිසා වන්නට ඇති..... මා කෙමෙන් කෙමෙන් පිය නගින විට මගේ සිත නැවත නැවතත් මතක් කිරීමට බල කර සිටියේ මා දත් ඓතිහාසික රිදී විහාරයේ පුරාවෘතය පිළිබදවයි.

අනුරාධපුරයට දක්ෂිණ දිශාභිමුඛව අට යොදුනක් ඈතින් ඇම්තොට දනව්වේ ලෙනක රිදී මතු විය. දුටුගැමුණු රජුගේ කාලයේ දි අනුරාධපුරයේ සිට මලය රටට යන එක් මාර්ගයක් වැටී තිබුණේ රිදී විහාරය අද්දරිනි. මේ මාර්ගයේ බොහෝ ජනයා මෙන්ම වෙළෙන්දන්ද ගමන් ගත් අතර එ දවස අනුරාධපුරවාසී එක් වෙළෙන්දෙක් කරත්ත වල ඉගුරු කසා ආදිය රැගෙන මලය රටට වෙළදාමේ ගියේය. මෙසේ යන අතරතුර මෙම වෙළෙන්දා රිදී විහාරය අසළ ස්ථානයක කරත්ත නවතා ගැල්වල බැද සිටි ගොනුන් මුදා හැර මදක් විවේක ගත්තේය. ඒ අවස්ථාවේ ගොනුන් කිහිප දෙනෙක් ළග තිබුණු කැළෑවට ගොස් ඇත. නැවත වෙළෙදුන් ගමන් ආරම්භ කිරීමට හරක් සොයන විට කිහිප දෙනෙක් අඩු බව දැන ගත්තේය. ඉන් පසු කිහිප දෙනෙක් හරක් සෙවීම සදහා කැළයට වැදුණෝය. හරක් සෙවීමට ගිය පිරිස ප්‍රමාද වන විට වෙළෙද නායකයා ද කැළයට ගියේය. මෙසේ කැළයට ගිය වෙළෙන්දාට අතරමග දී විශාල පැණි වරකා ගසක් හමු විය. එම ගසේ ඉතිරිව තිබුණේ එකම එක පැණි වරකා ගෙඩියක් පමණි. එම ගෙඩියේ බරට අත්ත නැමී ගෙඩිය ගලක් මත රැදී තිබුණි. වෙළෙද තෙමේ කොස්ගෙඩිය පිරික්සීමේ දී එය ඉදුණු වරකා ගෙඩියක් බව දැක එය කඩා ගත්හ.එකළ මෙවන් යමක් ලැබුණු විට හාමුදුරුවන්ට දන් දී මිස තම ප්‍රයෝජනයට ගන්නේ නැත. ඒ නිසා ඉක්බිතිව වෙළෙන්දා මෙලෙස සිතුවේය.

” මා ලත් මේ වරකා ගෙඩිය භික්ෂූන් වහන්සේලාට දන් දී පසුව අනුභව කරමි ” යි සිතා ” දැන් පිඩු සිගා වඩින වේලාව ” යැයි හඩගෑය.

එවිට ක්ෂණයකින් රහතක් වහන්සේලා හතර නමක් මේ වෙළෙද තෙම අභිමුඛයෙහි වැඩ සිටියහ. වෙළෙන්දා සැදැහැ සිතින් වරකා පිළිගැන් වූ පසු ඔහු බලා සිටියදීම එම රහතන් වහන්සේලා හතර නම අහසට පැන නැගී නොපෙනී ගියේය. නැවත වතාවක් දන් දීමට අදහස් කළ වෙළෙන්දා සිගා වඩිනා වේලාව යැයි හඩගෑය. නැවතත් රහතන් වහන්සේලා හතර නමක් වැඩියහ. පෙරසේම වෙළෙන්දා පාත්‍ර පුරවා දන් පිළිගැන් වූ පසු රහතන් වහන්සේලා තුන් නමක් ඔහු බලා සිටියදීම අහසට වැඩම කර නොපෙනී ගියේය. ඉතිරි වූ රහතන් වහන්සේ ගල්ලෙන තිබූ ලෙනට නුදුරින් වැඩ හිදුවා වරකා වැළඳූ සේක. මේ ඉතිරි වූ රහතන් වහන්සේ නම් ඉන්ද්‍රගුප්ත මහ රහතන් වහන්සේය. පසුව වෙළෙන්දා වරකා වළදන ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ දැක සතුටුව පැන් ආදිය පිළිගැන්වීය. පසුව වෙළෙන්දා ද වරකා අනුභව කර ඉතිරිය ගෙන යාම සදහා පොදියක් කර බැද ගත්තේය. පසුව ඔහු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ වෙත ගොස් පිටව යාමට අවසර ඉල්ලූහ. වෙළෙන්දා අවසර ඉල්ලූ පසු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ රිදී ගොබය වෙළෙන්දාට පෙන්වන අදහසින් රිදී තිබුණ ලෙන අද්දරින් කරත්ත තිබූ තැනට යාමට මාර්ගයක් මවා පා “ මේ මගින් ගමන් කරන්න ” යැයි වදාළ සේක. රහතන් වහන්සේගේ බස හිස් මුදුනින් පිළිගත් වෙළෙන්දා උන් වහන්සේට වැද සමුගත්තේය. 

වෙළෙන්දා එම මාර්ගයේ ගමන් කරන විට අතරමගදී ගල් ලෙනක් ඇතුලේ රිදී ඉල්ලමක් තිබෙනු දිටීය. පුදුමයටත් සතුටටත් පත් වෙළෙන්දාට මතකයට නැගුණේ දුටුගැමුණු රජතුමාය. “ අපේ රඡ්ජුරුවන්ට රුවන්වැලි සෑය කරවන්නට වස්තුව නැතැයි කියා කණගාටුවෙන් සිටියි. මේ රිදී ලැබුණේ නම් එතුමාගේ වාසනාවටැයි ” ඔහුට සිතුණි. සතුටට පත් ඔහු වහා අනුරාධපුරයට ගොස් රජතුමාට මෙම පුවත දන්වා සිටියේය. එම පුවතින් අපමණ ප්‍රීතියට පත් රජතුමා අමාත්‍යවරුන් එවා රිදී රැගෙන එන ලෙස නියෝග කළේය. ඇමතිවරුන් ද මෙම ස්ථානයට පැමිණ නාඹතල්කදක් මෙන් ඉහළට ඇදී එන රිදී ගොබයෙන් රිදී රැගෙන නැවත ගියේය. ඉන්පසු රජතුමා මහාසෑය සාදවා රිදී වලින් එක් කොටසක් දාගැබේ තැන්පත් කළ අතර තවත් කොටසක් වඩුවන්ට බර පැන් දීම සදහා යොදා ගත් බවත් වංශකතා වල සදහන් වෙයි. තවද රජතුමා එම පුවත සැළ කළ වෙළෙන්දාට බොහෝ වස්තු සම්භාරයක් දුන් බවද ජනප්‍රවාදයෙහි සදහන් වෙයි. 

රිදී විහාරය කරවීමට දුටුගැමුණු රජුගේ නියමය

“මෙසේ රුවන්වැලි සෑය කරවීමට රිදී ලැබුණු සතුට නිසාත් රිදී ලැබුණු ලෙනට දක්වන උපහාරයක් වශයෙනුත් එම ස්ථානයේ විහාරයක් කරවමියි ” සිතා දුටුගැමුණු රජතුමා තීරණය කළේය. ඒ අනුව රජතුමා විශ්ව කර්ම ප්‍රතිරාජයා ඇතුලු පන්සියයක් ගැල් වඩුවන් ද, සත් සියයක් කර්මාන්තකාරයින් ද, වියදම් පිණිස රත්තරන් තුන් හාර දහසක් ද දී,

“අමාත්‍යයන් ඇම්තොට දනව්වේ රිදී පහළ වූ ලෙන තුළ රිදී විහාරය ( රජත ලෙන ) නමින් විහාරයක් කරවනු කැමැත්තෙමි ” යි ඒ සදහා තොප සියලු දෙනාම එහි ගොස් ඒ ලෙන තුළ විහාරය කරමි යැයි සේනාධිපති නම් ඇමතිකෙනෙකුට නියෝග කෙරිණි.

ඒ අනුව සේනාධිපති නම් ඇමති ඇතුලු පිරිස රිදී ලෙනට පැමිණ දුරුතු පුර පසළොස්වක් පොහෝ දිනක විහාරය සෑදීමට පටන්ගත් බවත්, තුන් මසකුත් දින පහළොවකින් විහාරය සාදා නිම කළ බවත් ජනප්‍රවාදයෙහි සදහන් වෙයි. රිදී තිබුණු ලෙන තුළ මෙම විහාරය සෑඳූ නිසා මෙතැන් පටන් එය රජත ලෙන හෙවත් රිදී විහාරය යන නමින් ප්‍රකට විණි. 

සේනාධිපති ඇමතිවරු විහාර කර්මාන්තය අවසාන වූ පසු එම විහාරය බැලීම සදහා පැමිණෙන ලෙස රජුට ආරාධනා කළේය. ඇරයුම ලැබූ රජු ඉතා උත්කර්ශවත් ලෙස අවසාන නේත්‍රා තබන මංගල්‍යයට සහභාගී වූ බව රිදී විහාර අස්න නම් ග්‍රන්ථයේ සදහන් වෙයි. 

රන් පිළිමය සෑදීම, රජුගේ සත්‍ය ක්‍රියාව සහ රන් පිළිම වහන්සේ සෘද්ධියෙන් වැඩීම

අවසාන නේත්‍රා තබන මංග්‍යයට තමාම යාම සුදුසු යැයි කල්පනා කොට ගත් රජතුමා විහාරය බැලීමට හා විවෘත කිරීමට දින නියම කර ගත්තේය. ඒ අනුව රජතුමා දඹදිව මධ්‍ය දේශයෙන් තම උස ප්‍රමාණයට සමානව ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් කරවා එය දඹදිව සිට අනුරාධපුරයට වැඩම කරවා ගෙන ශුබ වර්ණ වූ එම පිළිමයෙහි අගල් හතරක් පමණ ඝනකමට දඹරන් ආලේප කර විසිතුරු කළේය. මෙසේ රත්තරන් ආලේප කර ඇති නිසා මෙම පිළිමය රන් පිළිම වහන්සේ යනුවෙන් හැදින්වූහ.

ඉන් පසුව මෙම දඹරන් පිළිම වහන්සේ විසිතුරු රථයක වඩා හිදුවා පන්සියයක් පමණ මහරහතන් වහන්සේලා ද, ඇමතිවරුන් ද, උපාසක උපාසිකාවන් ද, පුද සිරිත් පවත්වන අය ද ආරක්ෂාව සදහා පිරිස් ද යනාදී වශයෙන් දුටුගැමුණු රජතුමා විසින් රන් පිළිම වහන්සේ රිදී විහාරයට වැඩම කරවීම සදහා මහා පෙරහරක් ඉතා උත්කර්ශවත් අන්දමින් සංවිධානය කළේය. පංච තූර්ය නාදයත් සමග දෙව්ලොව දෙවියන් පිරිවරා නදුන් උයනට පිවිසුණු ශක්‍ර දේවේන්ද්‍රයාගේ විලාශයෙන් දුටුගැමුණු මහරජතුමාගේ ඇතුලු අනෙකුත් පිරිස සමග මහා පෙරහැර රිදී විහාරය වෙත පැමිණීමට අනුරාධපුරයෙන් පිටත් විය. 

අනුරාධපුරයෙන් රිදී විහාරය වෙත යාමට පිටත්වුණු පෙරහැරට දුටුගැමුණු මහරජතුමා ප්‍රධාන ඇමතිවරුන් ද, ඇත්, අස්, රිය, පාබල යන සිව්රග සේනාව ද, භික්ෂූන් වහන්සේලා ද, පංචතූර්ය නාදයෙන් සමන්විත නර්තන හා වාදන කණ්ඩායම් ද ඇතුලුව විශාල පිරිසක් සහභාගී වූ බව රිදී විහාර වංශය නැමැති කෘතියේ සදහන් වෙයි. මෙසේ සියලු සකලාංගයන්ගෙන් පරිපූර්ණ වූ පෙරහැර රන් පිළිම වහන්සේත් වඩම්වාගෙන දස දිසාවන් එකකින් සාධු නාදයෙන් නින්නාද පවත්වමින් පැමිණෙන අතර එම රථය අතරමගදී මහගල් තලාවක එරී වැටුණි. මෙම රථය එරුණ ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද මැතිවරණ කොට්ඨාශයේ විසිදෙකේ කෝරළේ රත්විට නැමැති ග්‍රාමයයි. රථය එරුන නිසා එම ස්ථානය රථහිටියාව යන නමින් හදුන්වනු ලැබූ අතර පසු කලෙක එය රත්විට යන නමින් ප්‍රසිද්ධ විය. මෙසේ රථය එරුණු පසු එය දැනගත් රජතුමා එතැනට පැමිණ ඇතුන් ලවාද, අසුන් ලවා ද, මිනිසුන් ලවා ද, යෝධයන් ලවා ද රථය ගොඩ ගැනීමට කරන ලද සියලුම වෑයම් නිශ්ඵල විය. අවසානයේ එදා බුදුරජාණන් වහන්සේ ළග අසරණව වැද වැටුණු පටාචාරාව මෙන්ම, කිසා ගෝතමිය මෙන්ම, අංගුලිමාලයන් මෙන්ම, රුවන්වැලි මහාසෑය තුළ පිරිත් සඤ්ඤායනා ශබ්දය අසා වැද වැටුණු භාතිකාභය රජු මෙන් ද එදා දුටුගැමුණු මහරජතුමා අසරණව කණගාටුවෙන් රන් පිළිම වහන්සේ ළග වැද වැටී බිම වැතිරී, “ මාගේ මේ ව්‍යායාමය කිසිසේත් රජ සැප පිණිස නොවේ. හුදෙක් සිංහල ජාතියේත්, බුද්ධ ශාසනයේත් අභිවෘද්ධිය සදහාමය. ” යන පාඨය දිවග මතුරා දමිළ මිසදිටුවන්ගෙන් රට බේරාගෙන සම්මා සම්බුද්ධ ශාහනයට කළ අප්‍රමාණ සේවා මහ හඩින් පවසා “ මෙම ලොව්තුරා බුදුරුව සමග රථය ගොඩ වී ගමන් කළොත් මිස නැතිනම් මෙහි වැදී මිය යමි යි බිම වැතිර බුදු ගුණ ගය ගයා සත්‍ය ක්‍රියා කළෝය. දුටුගැමුණු මහරජතුමා දැඩි අධිෂ්ඨානයෙන් කළ මෙම සත්‍ය ක්‍රියාව ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ දුටු සේක. ඒ අනුව ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ “ මෙම පිළිම වහන්සේ මහ රජ්ජුරුවන්ගේ සිතේ තියෙන ආකාරයට අභිනවයෙන් කළ විහාරස්ථානයට වඩින්න ඕනෑ ”යි පවසමින් අධිෂ්ඨානයක් කළ සේක. මෙම අධිෂ්ඨානයේ බලයෙන් ඒ ඇසිල්ලෙන්ම අහසට පැන නැගුණු රන් පිළිම වහන්සේ අහසින්ම වඩම්වා රිදී ලෙනේ රිදී ගොබය මත වැඩහුන් සේක. 

( වර්තමානයේ වැඩ සිටින ස්ථානයේම වැඩ සිටියහ )

යම් අයෙක් රිදී විහාරය නැරඹීමට යන්නේ නම් ඉහත කතාන්දරයත් සිහි තබා ගෙන යන්නේ නම් වඩාත් හොද යැයි සිතමි. මා ද මේ කතා පුවතත් සිහි තබා ගෙන ගමන් ගත්තේ රිදී විහාරයෙහි ඉදි කර ඇති දාගැබ් කරාය. රිදී විහාරයෙහි දාගැබ් දෙකක් ඉදි කොට තිබේ. ඉන් එකක් උඩ විහාරයට පිටු පසින් පිහිටා ඇති අතර අනෙක් දාගැබ සැරසුම්ගල නැමැති විශාල ගල් තලාව මුදුනේ පිහිටා ඇත. උඩ විහාරයේ ප්‍රධාන දොරටුවෙන් ගල් පඩිපෙළ ඔස්සේ එළියට පැමිණ මලුවට පිවිස වම් අත පැත්තට ගිය පසු වම් පැත්තෙන් වේදිකාවක් හමුවෙයි. එම වේදිකාව මත ඝන්ඨාකාර හැඩයෙන් යුත් දාගැබක් ඉදි කර ඇත. එම දාගැබට ගල් ලෙනේ සෙවණ ලැබෙන විට ඈත සිට එදෙස බලා සිටින්නෙකුට පෙනෙනුයේ මෙම දාගැබ ගල් ලෙන තුළම පිහිටා ඇති බවයි. මමද මුලින් සිතුවේ එලෙසමය. මෙම දාගැබ ලෙන තුළ පිහිටි දාගැබ වශයෙන් හදුන්වනු ලබනුයේ මෙම හේතු කාරණය නිසාය. 

ඉන් පසුව මා ගියේ සැරසුම්ගල චෛත්‍යය නැරඹීම සදහාය. පඩිපෙළ ඔස්සේ ගමන් ගත් මාහට මද සුළගෙහි ආශ්වාදයක් ලැබීමට හැකි වූයේ සැරසුම්ගල මුදුනේදීය. අනුරාධපුර යුගයේ දී මෙහි වැඩ විසූ මහරහතන් වහන්සේලාගේ සෙනසුන් පිහිටා තිබුණේත් සැරසුම්ගල අවට බව කියැවේ. සැරසුම්ගල නැගීමට තරමක් අපහසු වුවත් එහි නැග ඒ අවට ප්‍රදේශය හොදින් නැරඹීමට පුලුවන. එහිදී දොලුකන්ද, රිටිගල කන්ද, ඇටිපොළ කන්ද වැනි කදු කිහිපයක් නැරඹීමට අවස්ථාව උදා වෙයි.

රිදී විහාර භූමිය තුල ඔබට මට නෙත ගැටෙන පුරාවිද්‍යාත්මක විහාරාංග අතරින් වරකා වැළදු විහාරය, වාහල්කඩුල්ල, පැරණි ධර්මශාලාව, පැරණි සංඝාවාසය, සැරසුම්ගල චෛත්‍යය, උඩ විහාරය හා පහළ විහාරය යන ලෙන් විහාර, උපෝසථාගාර, සැරසුම්ගල අවට ඇති ලෙන් දැක්විය හැකිය. මේ සියල්ල නැරඹීමට මා අමතක කළේ නැත. මන්ද මේවා නරඹන විට දැනෙන්නේ අමුතුම ආශ්වාදයකි. එමෙන්ම මේවා බෞද්ධයෙකු වශයෙන් නැරඹිය යුතුම ස්ථාන වන බැවිනි.

උඩ විහාරයට සහ මහා විහාරයට ගමන් ගන්නා අතරතුර එම විහාරාංග ඇතුළත දක්නට ලැබුණේ සිතුවම්ය. ඒ සිතුවම් අතර අටවිසි බුද්ධ ප්‍රතිමා, රාම රාවණා යුද්ධයට සම්බන්ධ යැයි සැලකෙන චිත්‍ර, ත්‍රී සිංහ රූපය, වට්ටභ කුඤ්ජරය, නවනාරි කුඤ්ජරය, වෘෂභ කුඤ්ජරය, ගජ නර සිංහ රූපය, මුඛයෙන් නික්මුණු මල් අත්තක් සහිත සිංහ රූපය ආදී දුර්ලභ විසිතුරු විශේෂ චිත්‍ර රාශියක් දක්නට ලැබෙයි. මෙහි විශේෂත්වයක් පවතී. එනම් එකම ජාතක කතාවක්වත් සිතුවමට නගා නොමැති වීමයි. මෙසේ වෙස්සන්තර ජාතකයවත් සිතුවම් කර නෙමැති රජමහා විහාරයක් හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි.

උඩ විහාරයේ ඉදි පිළිම තැන්පත් කර ඇති ආසනයේ යටි පැත්තේ තවත් වටිනා සිතුවම් තුනක් තිබේ. එම සිතුවම් තුනේම සටනක යෙදී සිටින සෙබලුන් තුන්දෙනා බැගින් සිටියි. මේ සිතුවම් තුනේම නිරූපණය කරන්නේ එකම සිද්ධියක අවස්ථා තුනක් බව පෙනෙයි. මෙම සිතුවම් වලින් නිරූපණය වන්නේ රාවණා යුද්ධය බව මහජනයාගේ සාමාන්‍ය පිළිගැනීම වෙයි. නමුත් එසේ තීරණයකට පැමිණීමට නිවැරදි පැහැදිලි හේතු සාධක නොමැත. මෙලෙස සිත්තරුන් ලවා බුදු ගෙයක් තුළ රාවණා යුද්ධය වැනි යුධමය තත්ත්වයක් සිතුවම් කරවීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? එය ප්‍රහේළිකාවකි. 

තව දුරටත් රිදී විහාර භූමිය නිරීක්ෂණය කරන විට පුරාණ ඔලිද කොලොම්බ, යෝධයාගේ අඩි සලකුණු, නාග ගුහාව, ඇත්දත් උළුවස්සේ ඉහළ කොටස, නාථ දෙවියන්ගේ හා දුටුගැමුණු රජුගේ හෝ අනාගත මෛත්‍රී බෝසතුන්ගේ යැයි සැලකෙන ප්‍රතිමා, මහා විහාරයේ ඇති ක්‍රිස්තු චරිතය ඇතුළත් පිගන් ගඩොල්, උඩ විහාරයේ දොරටුවේ ඇති නාරිලතා මල, කොරවක්ගල සහ මුරගල, කිරිගරුඩ පිළිමය, මහා විහාරයේ ඇති සැතපෙන පිළිමය, නාග ගුහා විහාරයේ සදුන් ලීයෙන් කළ දැවමය බුද්ධ ප්‍රතිමාව , පස් මහ බුදු රූ, හේවිසි මණ්ඩපයේ ගල් කණුවක ඇති සෙල්ලිපිය, දොළොස් රියන් පිළිමය සහ මකර තොරණ, යුගාසනය, මහා විහාරයේ ගලේ යටි පැත්තේ ඇති සිතුවම්, සදකඩ පහණ යනාදී කලා කෞශල්‍යයෙන් සපිරි චිත්‍ර, මූර්ති, කැටයම් ආදියෙහි සංකලනයක් දක්නට හැකි විය. 

තවත් සුවිශේෂී කරුණක් දක්වන්නට කැමැත්තෙමි. අදට අවුරුදු දෙදහස් තුන්සීයකට පමණ ඉහත දී රිදී විහාරයේ ගල්ලෙන් වල හාමුදුරුවරු වැඩ සිටි බවට සාධක හෙළි වී ඇත. උන්වහන්සේලා මෙම ගල් ලෙන් තමන්ගේ වාසයට සුදුසු වන පරිද්දෙන් සකස් කරවාගෙන ඒවායෙහි හිදිමින් බණ භාවනා කළ බව කියැවේ. මෙසේ වැඩ සිටි එක් මහතෙර නමක් ලෙස ධම්මරක්ඛිත හාමුදුරුවෝ ප්‍රසිද්ධියට පත්ව සිටියහ. උන්වහන්සේ වැඩ සිටි ලෙන අද වුවද අපට හදුනාගත හැකිය. එම ලෙනේ කටාරමට යටින් කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂර වලින් ඒ බව කියවේ. එයින් කියැවෙන්නේ “ දමරකිත තෙරස මනප දසනෙ ” යනුවෙනි. එහි තේරුම “ ධම්මරක්ඛිත තෙරුන්ගේ මනාප දස්සන ලෙන ” යනුවෙනි. එම ලෙනට “ මනාප දස්සන ” යැයි කීවේ එම ලෙන පිහිටි ස්ථානය ඉතා අලංකාර, දැකුම්කළු වු නිසාය. 

මෙම විහාරයේ අනුරාධපුරයට අයත් ප්‍රතිමා කිහිපයක් දක්නට ලැබේ. ප්‍රධාන ලෙන් විහාරයට අමතරව කටාරම් සහිත ලෙන් විසිපහක් පමණ ප්‍රමාණයක් විහාර භූමිය අවට කැළෑවේ දක්නට ලැබෙයි. මෙම කාලයට අයත් ලෙන් ලිපි අටක් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලියූ “ ඉපැරණි බ්‍රාහ්මී ලිපි ” නැමැති කෘතියෙහි ඇතුළත් වෙයි. රිදී විහාරයෙහි ගල් ලෙනක ඇති සෙල්ලිපියක් පහත පරිදි වෙයි.

“පරුමක අබයහ ලෙණෙ

පරුමක අබය ඣයය ලෙණෙ

පරුමක උති ශ්‍රමණහ ලෙණෙ

පරුමක අබය ජයය ලෙණෙ

ගපති ශුමහ ලෙණෙ බත දතහ අටයෙ කටෙ

දමරඛිත තෙරස මනප දසනෙ

පරුමක පුණ පුත පරුමක තිශහ ලෙණෙ ශගශ

බත පුශදෙවහ ලෙණෙ ශගශ

උපශක ( රෙ ) තශ ලෙණෙ ශගශ දිනෙ ”

මේ වටිනාකමින් යුත් ඓතිහාසික ස්ථානය පිළිබදව ගවේෂණාත්මක චාරිකාව නිම කර ආපසු නිවස බලා ගමන් ඇරඹුයේ මෙවැනි වටිනා උරුමයන් ආරක්ෂා කරගැනීමේ වැදගත්කමත් ඒ සදහා මේ ස්ථානය පිළිබදව නොදැනුවත් ජනයා දැනුවත් කිරීමේ අරමුණත් ඇතිවය. මක්නිසාද යත් එය මගෙන් විය යුතු යුතුකමක් සහ වගකීමක් ලෙස ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගත් නිසාය.


 ( මා විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් ඇසුරින් සකසන ලද ලිපියකි )

ලේඛන පරිශීලනය-

■ දිසානායක, ඡේ,බී; රටක මහිම රිදී විහාරේ; ගොඩගේ ප්‍රකාශන

■ දිසානායක, ඡේ,බී; සිංහල වෙහෙර විහාර; ගොඩගේ ප්‍රකාශන

■ ධම්මානන්ද හිමි; රිදී විහාර වංශය

Top