බටදඬු කන්දට යන අතරමග ආයුබෝවන් කියන “බඹරකිරි ඇල්ල” (265 වන ලිපිය)

post-title

මහ තලාව කාටත් නුපුරුදු ඉසව්වක් වූවාට මාතලේ නම් සුපුරුදු යි. අතීතයේ මහා තැනිතලාව තමයි කාලයාගේ අවෑමෙන් වර්තමාන මාතලේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතිං මේ මාතලේ ගැන කියන අතරට අපේ සූදානම මාතලේ ඉදන් බටදඬු කන්ද හරහා පිටවල පතන පුංචි ලෝකාන්තය හොයන් යන්න. දැන් කාටත් ප්‍රශ්නය මොකක්ද මේ බටදඬු කන්ද? හරි එකත් කියලම කතාව පටන් ගම්මුකො. බටදඬු කන්ද කියන්නේ දැන් කවුරුත් යන රිවස්ටන් වලට. ඇයි ඒකට එහෙම නමක් ලැබුනේ කියලත් අපි පස්සේ කතා කරමු. ඉතිං රිවස්ටන් හරි නකල්ස් හරි යන බහුතරයකගේ ගමන් මාර්ගය වන්නේ මාතලේ සිට රත්තොට හරහා පල්ලේගම මාර්ගයනෙ. අන්න ඒ මාර්ගයේ රත්තොට ඉදන් කිලෝ මීටර් පහක් යන තැන හමු වන බඹරකිරි වංගුව බොහෝ දෙනෙක්ට අනාරාධිත විවේකයකට ඇරයුම් කරනවා. ඒ එතැන වාහනයකට දෙකකට වුනත් රිසිසේ නවතින්න තියන ඉඩකඩ නිසාමයි. ඒ වගේම පුංචියට එතැනම තියෙන තේ කඩයත් සැරිසරන කාගේත් විඩාව නිවන්න සමත් වෙන තැනක්. ඉතිං මාතලේ ඉදන් එක සීරුවට බඹරකිරි හන්දිය බලා ගෙන දුවන් ආපු ගමන ඔන්න ඉවරයි. දැන් කියවන කවුරුත් කල්පනා කරන්නේ ඇයි නැවතුම තේ කඩයක කියල. නැහැ නැහැ. අපිට මෙතන නවතින්න හේතු දෙකක් තියනවා. පලවෙනි එක තමයි හැමදේටම කලින් ඉස්සර වෙන කෑම. රටේ සුන්දරම තැන් හොයාගෙන ඔහේ ඉගිල්ලෙන අපි වැඩිපුරම ඇබ්බැහි වෙලා තියෙන්නේ තරු පහේ හෝටල්වලට වඩා සැරට දුම් දාන රොටියක් එක්ක ප්ලේන්ටියක් බොන්න පුළුවන් විදියේ ගමේ කඩවලට. ඒකටත් බලපාන හේතු කිහිපයක්ම තියෙනවා. පලවෙනි කාරණය ඒක සැරිසරට එක්කාසු වෙන වෙනස්ම අත්දැකීමක්. අනිත් කාරණය ලංකාවේ බොහෝ දෙනෙක් නොදකින සුන්දරම ඉසව් පිහිටන්නේ ජනාකීර්ණ නොවන ප්‍රදේශවල. කතාවට කියනවා වගේම සුන්දරම දර්ශනයක් දකින්න අමාරුම කන්දක් තරණය කරන්න ඕනනේ. අන්න ඒ වගේම මිනිස් ඇස නොගැටුන සොබාදහමේ ඉසව් හොයන් යන්න නම් ඔබට සැප පහසුවට හුරු වුන සාමාන්‍ය ජීවිතෙන් මොහොතකට මිදෙන්න වෙනවා. හුරු වෙන්න සිද්ධ වෙන්නේ නිස්සාර ජීවන රටාවේ අපිම අලවගත්ත පාට කඩදාසි වලින් ඈත් වුන සරලකමට. ඉතිං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා වගේ මේ ගමනේදී විතරක් ඒ පුරුද්ද අතපසු කරන්න බැහැනේ. ඒ නිසාම සැරට හැපෙන කොච්චි සම්බෝල එක්ක රෝටීවලටත් අපි ගමනේ ඉඩක් දුන්නා.

හරි මේ කියන්න යන්නේ බඹරකිරි හන්දියේ නවතින්න හේතු වුණු දෙවන කාරණය. කවුරුත් දැකල ඇති මේ තේ කඩය ළඟින්ම දකුණු පැත්තට ඇවිද ගෙන යන්න පුළුවන් පුංචි පාරක් තියනවා. ඒක තමයි හොරගොල්ල - වෙලන්ගහවත්ත ගම්මානවලට යන අඩි පාර. මේ අඩි පාර අපිට සුවිශේෂ වෙන්න ප්‍රධානම හේතුව තමයි රිවස්ටන් යන ඕනෑම සංචාරකයෙකුගේ පළමු නැවතුම විදියට දකින්න පුළුවන් අපූරු දිය ඇල්ලක් පිහිටීම. මොකද මේ ගමන් මාර්ගයේ යන බොහෝ දෙනෙක් සංචාරක ස්ථාන රාශියක ලැඟුම් ගන්නවා. බඹරකිරි ඇල්ල, රිවස්ටන්, පිටවල පතන, වෙඩිගල්ලුණුගුහාව, වම්බටුහේන ඇල්ල, සේර ඇල්ල ඒ දාමයෙන් කිහිපයක්. අන්න ඒ දීර්ඝ සැරිසරට ආයුබෝවන් කියල අපූරු ඇරඹුමක් සටහන් කරන්නේ මේ බඹරකිරි ඇල්ල. කුඩා පුවරුවක බඹරකිරි ඇල්ල කියල තියෙන නාම පුවරුව බොහෝ දෙනෙක් දැකලත් ඇති. ඒත් අවාසනාවට රිවස්ටන් බලන් හැල්මේ යන බහුතරයක් මේ ඇල්ල බලන්න නොයන තරම්. ඒකට ප්‍රධානම හේතුව විවේකයක් බලාපොරොත්තුවෙන් හැමෝම දන්න තැනට කිසිදු කියවීමකින් තොරව යන එක. සරලවම නොදැනුවත්කම. ඉතිං සොබාදහම දකින්න විදින්න කැමති හැම දෙනෙක්ටම ඇරයුමක් තියනවා ඔන්න ආයිත් නිවාඩුවට කොහේ හරි යන්න කලින් පොඩ්ඩක් කියවල යන්න. එතකොට ලස්සන තැන් මිස් වෙන එකක් නැහැ. ඒ මතක් කිරීමත් එක්කම අපි කතාව ඔහොමම තියල ඇවිදගෙන යමුකෝ ඇල්ල පැත්තට.

අපි කලින් කීව අඩි පාරේ තියෙන පුංචි පුංචි රොටී කඩ පළතුරු කඩ එහෙම පහු කරන් මීටර් දෙසීයක් විතර යනකොට ඉස්සරලාම ඇස ගැටෙන්නේ වැල් පාලමක්. හාත්පස පේන කොළ පාට අතර මැද්දෙන් ඇදෙන වැල් පාලම එතැන පරිසරයට එකතු කරන්නේ පුදුම ලස්සනක්. ඒත් එක්කම කන් පුරා ඇහෙන වතුර සද්දේ කාටත් ඇල්ල දකින්න තියෙන ආසාව කුතුහලය වැඩි කරනවා. මීටත් වඩා හොද නැරඹුම් පීඨිකාවක් තවත් කොහෙද ? හෙල්ලෙන පැද්දෙන වැල් පාලමේ අඩි කිහිපයක් යනකොට ඇස් පුරා පෙන්නේ බඹරකිරි ඇල්ල. තට්ටු තුනකින් සමන්විත ඇල්ල ගලන් යන්නේ ඇලි දාමයක් විදියට. ඒ කියන්නෙ මූලිකවම ඇල්ල තට්ටු දෙකකින් කඩන් හැලෙනවා. පළමු ඇල්ල නිර්මාණය කරන ජල ධාරාවම ගලාවිත් දෙවන ඇල්ලට උප්පත්තිය දෙනවා. දෙවන ඇල්ලෙන් පසු ජලය කඩා හැලෙන්නේ අඩි පහලවක් පමණ වන ප්‍රධාන ජල තටාකයට. අනතුරුවගල් තලාව මත්තෙන් තාලයට පල්ලම් බහින දිය දහරාව ඇල්ලේ තුන්වන ඉසව්ව නිර්මාණය කරනවා. ඒ සියල්ලක් එක්ක එක්කාසු වෙන වැල් පාලම මෙහි සුන්දරත්වය තවත් දහස් ගුණයකින් වැඩි කරනවා. ඒ වගේම ස්වභාවිකව නිර්මාණය වුණු කවාකාර වතුර බේසම් වැනි ජල තටාක කාටත් ගේන්නේ පැහැර හරින්න බැරි තරමේ ඇරයුමක්. ආරාධනය කොයි හැටි වෙතත් මේ ඇල්ලේ දිය නෑම නම් යම්තාක් දුරට භයානකයි. මොකද අනපේක්ෂිතව ඉහළ යන ජල මට්ටම බොහෝ දෙනෙක්ගේ ජීවිත පැහැරගෙන ගිහින් තියන බව මේ ඇල්ල සම්බන්ධව නොරහසක්. ඒත් ඕනම නම් විමසිල්ලෙන් නාන්න. හැබැයි පරිස්සමින්. 

වැඩි විස්තර ඔක්කමත් එක්ක බඹරකිරි ඇල්ලට නම ලැබුනේ කොහොමද කියන එකත් වැදගත්නේ. එක්තරා කාලයක දී මේ ඇල්ල අවට පර්වතයේ බොහොමයක් බඹර වද දකින්න තිබුනලු. අන්න ඒ නිසාමලු මේ ඇල්ල බඹරකිරි වුණේ. එදා එහෙම උනත් අද නම් බඹර වද දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතිං ආරක්ෂිතව ඇවිත් යන්න පුළුවන්. කොහොම උනත් හාත්පස සිසිල බෙදමින් යන මේ සොඳුරු දිය දහරාවේ අක්මුල් හොයාන යන ගමනේදී අපට මුණ ගැහෙන්නේ නකල්ස් කදු වැටිය. විශේෂයෙන් ම මහනුවර මාතලේ ප්‍රදේශවල පැතිර ඇති දුම්බර සීමාව හෙක්ටයාර් විසි දෙදහසක් පමණ. ඉතිං ඒ භූමි භාගය පුරාවට පැතිරිලා තියෙන සියලු ජල මූලාශ්‍ර ප්‍රධාන වර්ෂා කාලය විදියට ඊසාන දිග මෝසමත් එක්ක සක්‍රීය වෙනවා. ඒ නිසාම ඔක්තෝබර් සිට පෙබරවාරිය දක්වා කාලය ඇතුලත බඹරකිරි ඇල්ලත් සශ්‍රීකව දකින්න පුළුවන්. පහළ බොහෝ ගම්මානවල මිනිසුන්ගේ වගේම සත්ත්ව ප්‍රජාවගේත් ජල අවශ්‍යතාවයන් සපුරාලමින් හෙමීට ගලන් හැලෙන බඹරකිරි ජල දහරාව අනතුරුව අඹන් ගඟත් සමඟ එක්කාසු වෙන්නේ අවසානයක් විදියට මහවැලියට එකතු වෙන අරමුණින්. 

ඔන්න ඔය ආකාරයට දකින්න ලස්සනම ඇල්ලක් විදියට බඹරකිරි ඇල්ල බටදඩුකන්දට (රිවස්ටන්) යන අතරමග දකින්න පුලුවන්. ඒ උනත් සංචාරකයෙකු ලෙස මෙහි පැමිණෙන කවුරුත් වග බලා ගත යුතුම වෙන්නේ අවට වටපිටාව වගේ ම දිය දහරාවත් අපිරිසිදු නොකරන්න. මොකද පහළ රත්තොට ගම්මානය ඇතුළු ගම්මාන රැසක්ම පානීය ජල අවශ්‍යතා පවා පූර්ණය කරගන්නෙ මේ ඇල්ල ආශ්‍රය කරගෙන. ඉතින් ඒ බඹරකිරි කොමළියට සමුදෙන්න හිතක් නොතිබුණත් අපිට කළමණාකරණය කරගන්න වුණු කාලයත් එක්ක සිද්ධ වුණා ආයිත් ගමනට පේ වෙලා පාරට බහින්න. ඒ බටදඩුකන්ද බලාගෙන. 

Top