පැය 8ට දිය ඇලි 8ක් හොයන් සිංහරාජයට..(247 වන ලිපිය)

post-title

ශ්‍රී ලංකාවේ ලස්සනම දිය ඇල්ල මොකක්ද ඇහුවොත් බොහෝ දෙනා ඒ සඳහා බොහෝ දිය ඇලි නිර්දේශ කරාවි. ඒත් මොහොතකට හරි අවධානය දැක්වූවොත් ඔබට පසක් වේවි ලස්සනම දිය ඇල්ල යනු නාමමාත්‍රයක් ම පමණක් බව. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොවෙයි. එකින් එක දිය ඇල්ලට අන්‍යොන්‍ය වශයෙන් ආවේනික වුණු සුන්දරත්වයන් ඒ ඒ දිය ඇලි සතුව ඇති නිසාවෙන්. ඉතිං පරිසරයේ සැබෑ ආශ්වාදනීය සුන්දරත්වය නොතිත් ආශාවකින් ගවේෂණය කරන්නෙකුට එක දිය ඇල්ලකින් සෑහීමකට පත් විය හැකිද යන ගැටළුව ඉතිරි කරන්නේ ප්‍රශ්නාර්ථයක්. ඒත් ඒ පිළිතුර වෙනුවෙන් පිටු දෙකක් ඉතිරිව තියෙද්දිත් ඇයි අපි ප්‍රශ්නාර්ථයකට ඉඩක් ඉතිරි කරන්නේ ?

හැමෝම දන්න විදියට ශ්‍රී ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය විදියට ගාල්ල , මාතර හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි පිහිටා ඇති සිංහරාජ මහා වනය වැදගත්. එය විශාලත්වයෙන් හෙක්ටයාර 11 187ක් පමණ වෙනවා. ඒ සිංහරාජ වන ඝනත්වය පුරාවට ම සොබා දහමේ අපූර්වයන් බොහොමයක් ලැඟුම් ගෙන තියෙන්නෙත් එය බහුතරයකට විවෘත නොවුණු වනාන්තර පෙදෙසක් වන නිසාමයි. කෙසේ වෙතත් සිංහරාජ වන පෙතට කොළඹ - රත්නපුර - කලවාන මාර්ගයෙන් ද (කුඩව ප්‍රවේශය) , කොළඹ - රක්වාන - මොර්නින්ග් සයිඩ් මාර්ගයෙන් (මොර්නින්ග් ප්‍රවේශය) මෙන්ම කොළඹ - දෙනියාය - මෙදෙරිපිටියමාර්ගය (පිටදෙනිය ප්‍රවේශය ) ඔස්සේ ද ප්‍රවේශ වීමට හැකියි. එහි දී බොහෝ දෙනාගේ තේරීම රත්නපුර - කලවාන මාර්ගය වුනත් සුන්දරම මාර්ගය විදියට අධිවේගී මාර්ගය හරහා පැමිණ ඉමදූව ඔස්සේ දෙනියායට ළඟා වීම ඒකච්ඡන්දයෙන් ම අපේ තේරීම වුණා. කෙසේ නමුත් ගමනාන්තය වන සිංහරාජයට ප්‍රවේශ වීමට මත්තෙන් අපේ ගමන් මාර්ගය ම නෙත් සිත් පිනවන ආශ්වාදයක් වුණා. ඒ අන් කවරකටත් වඩා අවට වටපිටාවම සීතලින් වෙලා ගෙන ඔහේ පාවෙන වලාකුළුවල , අතරින් පතර පෙනී නොපෙනී යන ගොංගල කඳු පංතිවල, තැනින් තැන හිතුවක්කාරෙට පහළට ගලන හැලෙන දිය ඇලිවලවගේම කඳු බෑවුම් වසා ගෙන සරුසාරෙට වැවෙන තේ වතුවලත් ආශීර්වාදයෙන්. ඒවගේම දෙනියාය මාර්ගයේ මොරවක කොටපළට නුදුරින් ඇති ඓතිහාසික ගැටඹරු දේවාලයත් වැදපුදා ගෙන අතුරු අනතරාවකින් තොර ගමනකට ආශීර්වාද ගන්නත් අපි අමතක කළේ නැහැ. ඔන්න ඔය හැමදේම විඳින අතරට තමයි මෙදේරිපිටියෙන් අනතුරුවහමුවන පිටදෙනියෙන් අපිට සිංහරාජයට ප්‍රවේශ වීමට පුළුවන්කම ලැබුනේ. 

ගමන් මඟ එසේ වුවත් අපේ පළමු ඉලක්කය වුනේ නෙළුව දූලි ඇල්ල. මේ වන විට තවත් දවසක උදෑසනක් නෙළුවට උදා වුණා විතරයි. ඉතිං අපි ඇල්ල අසළට ළඟා වන විටත් නොනිදන සංචාරකයන් වෙනුවෙන් ගේට්ටු විවෘත නැහැ. ඒත් පසු නොබසින පිරිසක් වුණු අපි ප්‍රවේශ පත්‍ර මිලට ගැනීම පසුවට තබා ඇල්ල දකින්න යන්න ඉක්මන් වුණා. කොටස් තුනකින් යුක්තව කඩා හැලෙන දූලි ඇල්ල අපූරු දවසකට අපූරු ආරම්භයක් ගෙනාවෙ අපි නොහිතපු තරම් මතක ගොඩක් අපේ සැරිසරන හිත් අස්සට එකතු කරන ගමන්. ඉහළ සිට එක එක ඉරියව් ඔස්සේ කඩන් හැලෙන දිය දහර දූලි වලාවන් වගේ ම හාත්පස දිය විසුරවමින් ඇස් අමන්දානන්දයට පත් කරනවා. වෙන වෙනම ඇල්ලේ කොටස් තුනටම ලඟා විය හැකි අතරටම ලිස්සන සුළු ගල් අතරට පාද තබන වාරයක් පාසාම ආරක්ෂාව ගැන වග බලා ගැනීමත් එහි දී වැදගත්. කෙසේ වෙතත් අපි ආපසු එන මගට මුණ ගැසුනේ අන් කවරෙකුත් නෙවෙයි , අවසර නොලත් සංචාරක පිරිස හොයන් එන දූලි ඇල්ල සංචාරක පරිශ්‍රයේ මුරකරු. දකින ඇසිල්ලකින් ම සිනාසුණු අපිට බනින්නට සිත් නොදුන් නිසාවෙන් දෝ ඔහු කිසිත් නොකියාම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නියම කළේ සොබාදහමට පෙම් බඳින්නන්ට දඬුවම් අනිසි බව කියන ගමන්. 

පසුව ඒ වන විටත් විවෘත වුණු ලංකාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත් කවුන්ටරය අසළින් තවත් දිය ඇලි 7ක් වෙනුවෙන් අපි ගමනක් ආරම්භ කළා. කෙසේ වෙතත් මඟ පෙන්වන්නේකුගෙන් තොරව සිංහරාජ වනාන්තරය තුළ ස්වධීනව සංචාරය කිරීමට නම් කිසිසේත් ම ඉඩක් හිමි වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රවේශ පත්‍ර සමඟම ගම්වාසී හිතවතෙක් ද සිංහරාජ දිය ඇලි දඩයමට එකතු වුනේ සහේතුකව. ඉඳින් තවත් පමා වනු කුමට කියල අපි එකිනෙකා පසුපස එකිනෙකා වන පෙතට ඇතුළු වුනේ අහස සිඹින රූස්ස ගස් අතරින් එබෙන ඉර එළියත් එක්කමයි. හොර , දොරණ ඇටඹ ආදී වනාන්තර රැකවලුන් ඒ වනවිටත් පලා නොගිය ඝන අඳුරට තව දුරටත් වාසස්ථාන සැපයුවා. තවමත් සුව නින්දේ පසු වුණ වනාන්තරවාසී කුරුළු කොබෙයියන් තුරු මුඳුන් ස්පර්ශ කරන උණුසුම් ඉර එළියත් එක්කම අවදි වුණු බවට සලකුණු කීවේ වනපෙත පුරා සීරුවට පැතිරුණු කුරුළු කූජනය.

අහම්බෙන් අපේ ගමනට ලංකාගම දිය ඇලි දාමයේ තවත් නිලලත් මගපෙන්වන්නෙකු විදියට එකතු වුණේ සංචාරකයන් සමඟ බොහෝ හිතවත් වුණු බල්ලෙක්. එතැන් පටන් ගමනේ පළමු පෙළ නියෝජනය කලේ ඔහු. ඔහුගේ හදිසි නැවතීමක් එක්ක අපිට පළමුව දර්ශනය වුණේ බ්‍රාහ්මණ ඇල්ල. පසුබිමින් පැතිරුණු කොළ පාට අතරින් මීටර් 17ක පමණ උසකින් යුක්තව කඩන් හැලෙන ජල ධාරාව පතිත වෙන්නේ සියලු ජලය එක්කාසු වන වක්‍රාකාර තටාකයකට. හුළඟත් එක්ක පෙම් බඳින දිය බිංදු පසුබිම් කතා කියන අතරට අවටින් පැතිරී පවතින ගල් තලා රිසි සේ ඇල්ල නරඹන්නට වේදිකා සපයනවා.

තවත් පා ගමනකින් අනතුරුව ප්‍රවේශ වුණේ අපි දෙවෙනි දිය ඇල්ල විදියට ඌරන් වැටුණු ඇල්ලට. වඩාත් පැතිරුණු ස්වභාවයකින් යුක්තව ගල් පර්වතය මතුපිටින් ගලන් හැලෙන ජලය නිර්මාණය කරන්නේ අපූරු සිතුවමක් දෑස් අද්දරට. කොහොම නමුත් වර්ෂාපතනය අධික කාල සීමාවක නම් මේ ඇල්ල තුළින් වඩාත් වැඩි ලස්සනක් දකින්න පුළුවන් වෙනවා.

ඝන වනාන්තරය මැදින් වැටී ඇති අඩි පාර තව තවත් ඉදිරියට ඇඳුනේ තවත් දිය ඇලි සමූහයකට මඟ කියන ගමන්. අවටින් හමන සුළඟත් එක්ක කෝලකම් පාන ගස් කොළන් මවන ශබ්දය අතික්‍රමණය කරමින් එක් වරම මතු වුණේ චණ්ඩ ලෙස ඝෝෂා නංවන ජල ධාරාවක කොලහාලයක්. ඒත් කොතනකවත් දකින්න තිබුණේ නැහැ දොළ පාරක්වත් ඇල්ලක්වත් හඬක් නංවන. සියල්ල තේරුම් ගන්න නිමේෂය යි. අසලම තිබුණු ආරක්‍ෂිත වැටට බර දී පහල බැලූ විට ඒ ගල් ඔරුව ඇල්ල. අඩි 4ක් පමණ පළලින් හා දිගින් මීටර් 40 ක් පමණ වූ ගල් දෙබොක්කාවක ගැඹුරේ දිග් අතට සුදෝ සුදු පෙණ පිරි දිය ඇල්ලක්. එහි දුර්ලභත්වය තවත් වැඩි වෙන්නේ දිග් අතට දකින්න පුළුවන් එකම ඇල්ල මෙය වන නිසාවෙන්. 

කි.මී එක හමාරක් පමණ ඇතුළත දිය ඇලි හතරක් පමණ දකින්න එක්කාසු කර ගත් අපේක්ෂා සහිත වුණු අපිට හතරවෙනි ඇල්ල විදියට මුණ ගැහුණේ තට්ටු ඇල්ල. පිළිවෙලින් පර්වතයේ පඩිපෙල් ආකාරයෙන් දකින්න ලැබෙන එය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතව ගලන් එන ජල දහරාවට කඩා හැලෙන්නට නවමු ඉරියව්වක් සපයනවා. බොහෝ පැහැදිලි ජලය සහිත ඇල්ල පාමුල ඇතිරුණු වර්ණවත් පාෂාණ හිරු එළියත් සමඟ විචිත්‍රවත් රටා මවනවා.

තවත් මොහොතකින් පස්සේ අපි ළඟා වුණේ සිංහරාජ වනපෙතේ ලංකාගම දූවිලි ඇල්ලට. විශාල පර්වත කිහිපයකට මුවා වී මීටර් 22ක් පමණ උසකින් යුතුව පහල තටාකයට දිය පුරවන ජල කඳ විසිරෙන්නේ දූවිල්ලක් විදියට. සැබෑම සුන්දරත්වයකින් යුක්තව. තවද මෙම දූවිලි ඇල්ල , බ්‍රාහ්මණ ඇල්ල සහ ඌරන් වැටුණු ඇල්ල වැනි සිංහරාජ වනපෙතින් ගලා එන ජල ධාරාවන්ගෙන් තමයි ගිං ගඟ සහ කළු ගඟත් පෝෂණය ලබන්නෙත්. වාර්ෂිකව මි.ලී 3000ත් 5000ත් අතර වර්ශාපතනයක් ලබන සිංහරාජයඅවම වශයෙන්පෙබරවාරිය තුළ පවා මි.ලී. 180ත් 200ත් අතර වර්ශාපතනයක් ලබන බැවින් ගිං ගඟ සහ කළු ගඟ පෝෂණය ලැබීම නම් අරුමයක් නොවේ.

කෙසේ වෙතත් අනතුරුව කැකුණ ඇල්ල අපේ ඊළඟ සංචාරක ස්ථානය වුණා. ආරණුව දොළෙන් නිර්මාණය වන මේ ඇල්ල ආවේනික මත්ස්‍යයන් වර්ග කිහිපයකට පවා වාසස්ථාන සපයනවා. තුරු ලතා අතරින් විශාල ගල් කුළු අතරට මුවා වී මීටර් 11 ක් පමණ උසකින් යුතුව වනපෙතට සිසිල බෙදන ඇය තවත් අපිව නොඉවසිලිමත් කළේ පතන් ඔය ඇල්ල වෙනුවෙන්.විශාල ගල් කුළු රැසකට මැදිව රැකවල් අතර සිටි පතල් ඇල්ල විශාල ගල් තලාවක් අතරින් කඩතොළු ඉසව්වකින් පහළට ගලන් හැලෙනවා. නොනැවතී පෙණබිඳු නංවමින් සුදො සුදු ජල දහරා ගල් කුළු අතරින් හිමීට පල්ලම් බහින්නේ හරි අපූරු සංගීතයක් පරිසරයට එක්කාසු කරන ගමන්මයි. කාලයත් එක්ක පරිණත වුණ දවසේ මද්දහන් කාලය ගෙවී ගෙන යන අතරට එබිකම් කරපු බඩගින්නත් නිවා ගන්න අපිට අවන්හල් සැපයුවෙත් පතන් ඔය ඇල්ලමයි. අවසානයට පෙර අතුව තරමක් දුරින් පිහිටි මල්මොර ඇල්ල මොහොතකට හරි නරඹන්නත් අමතක නොකළ අපි ලංකාවේ විශාලතම වැසි වනාන්තරයේ දිය ඇලි 8ක් පැය 8ක් ඇතුළත හොයන් ගියෙ ඔන්න ඔහොමයි. අවසානයේ සුපුරුදු මතක් කිරීම නම් “පරිසරය අපට ද අප පරිසරයට ද අනොන්‍ය වශයෙන් වගකීම් සහ යුතුකම් ලද්දෝ වෙති.

Top