නාවලපිටිය ඉඟුරුඔය දුම්රිය ස්ථාන පසු කරන විට වම් පසින් දකින්න ලැබෙන ජල සළු පොරව ගත්ත රූමතිය කවුද? (189 වන ලිපිය)

post-title

වැහි වලාවක් පේන මානයක නැති වුනත් මහනුවරට අහේතුකව වැහි මන්දාරම. ඒත් ප්ලෑන් කරපු ගමනක් නොයා ඉන්න බැරි නිසාම නුවරින් දළඳා වැඳගෙන පටන් ගත්තේ නාවලපිටිය බලා ගෙන යන තවත් දවසක සැරිසරක්. පුරුදු විදියටම නුවරින් ඇරඹෙන සංචාරයක් නම් හැමදාම අපි එක්ක බැහැ නොකියා ගමනට එකතු වෙන්නේ ස්කූටර්. ඉතිං සුපුරුදු විදියටම එදා ගමන වෙනුවෙනුත් ස්කූටර් අපි එක්ක එකතු වුණා. නමුත් ඒ පහුගිය දවසක කෝච්චියෙන් යන ගමනක දී අතරමඟ ඇස ගැටුණු රූමතියක් හොයා ගෙන යන ගමනක් වෙනුවෙන්. නුවර ඉඳන් නාවලපිටිය සහ ඉඟුරුඔය කියන දුම්රිය ස්ථාන පහු කරන හිමීට කෝච්චිය ඇඳෙන්නේ සුපුරුදු තාලයකට. ඔය අතරේ දී මුණ ගැහෙන බිංගෙවල් කිහිපයකුත් තියනවා. ඉතින් කොළ පාටට පේන වටපිටාවක් තියෙන දුම්රිය මඟ ඉඟුරුඔය පහු කරාන යද්දී වම් පසින් පේන ලස්සනම දිය දහරක් තමයි ගලබොඩ කියන්නේ. කෝච්චියෙන් එහෙ මෙහෙ යන සංචාරකයන් විතරක් නෙවෙයි සාමන්‍ය මඟියෙක් වුනත් දකින්න ආසම දර්ශනයක් ඒ. ඉතිං එදා පටන් හිත අස්සේ කොනක තිබුණු තවත් එක අරමුණක් තමයි ඒ සුන්දර දිය දහර හොයා ගෙන ගලබොඩ යන එක.අන්න ඒ අරමුණ දරා ගෙන ආරම්භයක් දුන්නු සැරිසරක කතාවක් තමයි මේ ලියවෙන්නේ.

නාවලපිටිය බලා ගෙන නුවරින් ඉගිල්ලුන ස්කූටි පෙළ හෝරාවක් අවසන් කරන තැන නැවතුනේ නාවලපිටිය නගර ආසන්නයේ. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන පාරසරික ලක්ෂණ එක්ක නාවලපිටියේ නුවරට වඩා වෙනස් වටපිටාවක් දකින්න නොලැබුනත් එදා වැහි මන්දාරමත් එක්ක අපූරු නුවර එළියක් නාවලපිටිය අවට නිර්මාණය වෙලා තිබුණා. මීදුම් පිරුණු වලාකුල් එහෙ මෙහෙ යන අතරට අපිත් ටික ටික කිට්ටු කළේ ගලබොඩ ස්ටේෂන් එක පාරට. තැනින් තැන පැතිරුණු තේ වතු හින්දම වතුකර ස්වභායක් ගත්ත වටපිටාවක් තියෙන ගමන් මඟ දෙපස වෙනස් ජන ජීවිතයක් පවා දකින්න පුළුවන්. බයික් එකක් , ෆෝ වීල් වාහනයක් විතරක් යන්න පුළුවන් විදියේ පාරක් තියෙන නිසාම බොහෝ දෙනෙක් ස්ටේෂන් එක ළඟ ඉදන් ගමන භාර කරන්නේ දෙපා වලට. ආසන්න වශයෙන් ඇල්ල දක්වා කිලෝ මීටරයක පමණ දුරකින් යුක්ත වෙන ගමන් මඟ අව් රශ්මිය තිබුණොත් හැර අන් කවර කාරණයක් නිසාවත් ගමනට කලකිරීමක් එක්කාසු කරන්නේ නැහැ. මොකද මනස සන්සුන් කරන වටපිටාව නිසාම ඇල්ල දක්වාම වෙහෙසකින් මහන්සියකින් තොරව යන්න පුළුවන්.

ගලබොඩ ඇල්ල බලන්න එන බොහෝ සංචාරකයන් එන්නේ කෝච්චියෙන්. කොළොඹ බදුල්ල කෝච්චිය නුවරින් යන්නේ උදේ 8.45 ට. නුවරින් ගලබොඩට ටිකට් ගන්න කෙනෙක්ට ගම්පොල , නාවලපිටිය , ඉඟුරුඔය ස්ටේෂන් පහු කරලා ඊළඟට ගලබොඩින් බහින්න පුළුවන්. එතනින් බැහැලා ඉතුරු ටික තමයි අර කලින් කියපු විදියට පයින් යන්න ඕන. අතරමඟ හම්බෙන එල්ලෙන පාලමක් එහෙමත් තියනවා. එතනින් එහාට ඉතිං ඇල්ල දකිනකම්ම පසුබිම් සංගීතයක් විදියට ඇල්ලෙ හඬ අහන්න පුළුවන්. මේ දිය ඇල්ල බලන්න යන්න නම් ඇතුල් වීමේ දොරටුවෙන් ටිකට් පතක් ගන්න ඕන. ටිකට් එක නම් රු.50 ක් විතර පොඩි ගානක් වෙන්නේ. 

අවසානයට ඇල්ල කිහිප තැනකදීම වෙනස් වෙනස් ආකාරයේ ඉසව් කිහිපයකින්ම දකින්න පුළුවන්. අඩි 98ක විතර උසකින් කඩන් හැලෙන ජල කඳ ගල්පර මත්තෙන් ගලන් හැලෙන්නේ අපූරු සිතුවමක් විදියට. ඇල්ල පළමු වතාවට දකින තැනම ඉහලට යන්න පුළුවන් විදියේ වීව් පොයින්ට් එකක් තියෙනවා. එතන තමයි ඇල්ල දකින්න ලස්සනම තැන. ඒ වගේම ඒ සම්පූර්ණයෙන්ම ඇල්ල දකින්න පුළුවන් එකම තැන. 

අවට කොළ පාට පැතිරුණු වටපිටාවත් එක්ක හිමීට ගලන් හැලෙන ගලබොඩ ඇල්ල නුවර එළිය දිස්ත්‍රික්කයේ ලස්සනම දිය ඇල්ලක් කියන්න පුළුවන් කිසිම සැකයකින් තොරව. සීතල දිය දහර නාන්න හොඳම තැනක් නිර්මාණය කරනවා වගේම පරිස්සම් වෙන්න ඕනම ලිස්සන සුළු ගල්තලා ගැන. නිසලව ගලන් හැලෙන මේ දිය දහර විටෙක ප්‍රචණ්ඩ විදියට මිනිස් ජීවිත පවා බිලිගෙන තියනවා. ඉතිං ඒ නිසා හැමදේටම වඩා සැලකිලිමත් වෙන්න ඕන ආරක්ෂාව ගැන. ගල් අතරින් තාලයට ගලන බහිනඇල්ල අවට වටපිටාවේ කිහිප තැනකදී ම පුංචි පුංචි දිය දහරා වලින් අපූරු ඉසව් නිර්මාණය කරනවා සැරිසරන්නන්ගේ ඇස් වෙනතක නොයවා තමන් වෙතම රඳවාගන්න. විටෙක සන්සුන් විටෙක නොසන්සුන් ගලබොඩ ඇල්ල වර්ෂාව සහිත කාල සීමාවක දී නම් ශශ්‍රීකව පිරිපුන් දිය දහරාවක් විදියට දකින්න පුළුවන්.

ගලබොඩ කියන නමේ අතීත කතාව බැඳෙන්නේ රජ කාලයත් එක්ක. එවකට විවධ රජවරු විසින් තම වස්තු සම්භාරය සඟවා තබා ගැනීමට මේ ඉසව්ව යොදා ගෙන තිබෙනවා. ඒ නිසාවෙන් ම එවකට මේ ප්‍රදේශය හැඳින්වුණේ ගබඩාගම යන නමින්. එය පසු කාලීනව ගබඩාගම යන ව්‍යවහාරයෙන් ගලබොඩ ලෙස බිදී ඇවිත් තිබෙනවා. ඒත් සමඟම මේ ප්‍රදේශය සහ සම්බන්ධ තවත් කුතුහලය දනවන සංසිද්ධීන් ජනප්‍රවාද ලෙස හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම ඇල්ල ඉහත්තාවේ කඳු ශිඛරයේ දෙවොලක් ඇති බව ගම්වාසී කාගේත් පිළිගත් මතය වෙනවා. නමුත් එය සොයා යා නොහැකි ලෙස මංමුලා වැල් සහිතව මිනිස් ඇසින් දුරස්ව ආවරණය වී ඇති බවයි ඔවුන්ගේ මතය. 

කොහොම වුනත් ගලබොඩ ඇල්ල සම්බන්ධ කරුණු කාරනා එසේ වන විට සැරිසරන ඔබ අවධානය යොමු කළ යුතුම කාරණය නම් ආපසු පැමිණීමේ ආකාරයයි. එහි දී පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ ගමන් කරන අයෙකුට නම් එය ගැටළුවක් නොවේවි. නමුත් කෝච්චියෙන් ගලබොඩ කරා යන ඔබ මතක තබා ගත යුතුම වන්නේ ආපසු නුවරට හෝ කොළොඹට ලඟා වීමට පවතින දුම්රිය කාල සටහන සම්බන්ධව. මොකද සවස් කාලයේ ගලබොඩ සිට නැවත නුවර දක්වා ගමන් කරන දුම්රිය ගමන් වාර ඇත්තේ ඉතා සීමිතව. ඉතිං දවසක විරාමයක් වෙනුවෙන් ඕනෑම කෙනෙක්ට නිර්දේශ කරන්න පුළුවන් අපූරුම ගමනාන්තයක් විදියට ගලබොඩ ඇල්ල හඳුන්වලා දෙන ගමන්ම ඒ පැත්තට යන්න ඇරයුමක් තියා ගෙන අවසානයක් සනිටුහන් කරන්නම්.

Top