චිරන්තන පද්‍ය සාහිත්‍යයට දොරගුලු හරින දෙව්ලොව පෙම් කතා

post-title

රටක ජනශ‍්‍රැතිය එහි සංස්කෘතික මූල මණ්ඩලය නියෝජනය කරයි.  ඒ ඇසුරින් ජන කතාසුරඟන කතාදේව කතා වශයෙන් වෙනම කතාන්දර ප‍්‍රවර්ග බිහිවෙයි. ඒවා සෙසු සංස්කෘතීන් හා මුසු වී නව සාහිත්‍යාංග තැනීමට උර දෙයි. 

ග‍්‍රීසියඉන්දියාවමිසරයචීනය ආදී රටවල මෙකී දේව කතා සාහිත්‍යන් ලොව සෙසු දේවකතා අතර ප්‍රධාන තැනක් උසුලයි. වේද සාහිත්‍යය සහ හින්දු පුරාණ ග‍්‍රන්ථවල එන හින්දු දේව කතා ඉන්දියාව පමණක් නොව සෙසු රටවලද ජනප‍්‍රිය වෙමින් ඔවුන්ගේ ආගමික විශ්වාස හා යාතිකා තුළට එල්ඹ තිබේ. එහෙත් ග්‍රීක සහ හින්දු පුරාණෝක්ති හා බැඳුණු දේව කතා සිංහලයට පරිවර්තනය වී හෝ සිංහලෙන් රචනා වී ඇති විශිෂ්ට කෘති ඇත්තේ අතලොස්සකි. හින්දු දේව කතා සඳහා සතිඅන්ත පුවත්පත් කිහිපයක පළවන ලිපි හැරුණුවිට, මහා භාරතය, රාමායනය පරිවර්තනය වීම හැරුණුවිට සරල බසෙකින් රචනා වී ඇති කෘති අල්පය. විවිධ රටවල දේව කතානවකතාළමා පොත්කවි ආදි කෘති ගණනාවක්  රචනා කළ ප‍්‍රවීණ  පුවත්පත් කලාවේදී ශාන්ත කුමාර විතාන විසින් හින්දු දේව කතා ඇසුරෙන් රචනා කළ 'දෙව්ලොව පෙම් කතා' නම් කෘතිය පාඨකයාට වැදගත් වන්නේ එවන් මොහොතකදීය. කෘතියේ මැය පෙම්කතා ලෙසින් දැක්වුවද දේව පෙම් කතාවලට පමණක් සීමා නොවෙයි.

ඉරිදා ලංකාදීපයේ 'රසවිත' අතිරේකය සඳහා  භාරත දේව සභාව හා ඔවුන් ඇසුරින් බිහි වූ කතාන්දර පිළිබඳව කතුවරයා රචනා කළ ලිපි එකතුවක් කෘතියට ඇතුළත් වේ. කෘතියේ ආරම්භයට මිථ්‍යා කතා සාහිත්‍යය සහ හින්දු දේව චරිත සම්බන්ධයෙන් කෙටි විවරණයක් සපයන කතුවරයා මෙසේ කියයි.

ග‍්‍රීකරෝමහින්දුජපන්ඊජිප්තු ආදී වශයෙන් දේවකතා හෙවත් මිථ්‍යා කතා සාහිත්‍යයන් ගොඩ නැඟී පවතී. එහෙත් ඒ අතරින් වඩාත්ම ජනප‍්‍රිය ග‍්‍රීක දේවකතා සාහිත්‍යය හා හින්දු දේවකතා සාහිත්‍යයයි.

අප සිහි කැඳවාගත යුත්තේ මෙහි සඳහන් පරිදි මිථ්‍යා කතා යනු දේවකතා ම නොවන ඒවා බවයි. දේවකතා යනු මිථ්‍යා කතා යටතෙහි ගැනෙන උප වර්ගයකි. නන්දසේන රත්නපාලයන් විරචිත 'ජනශ‍්‍රැති විද්‍යාව' කෘතියෙහි මිථ්‍යා හා දේව කතා සම්බන්ධයෙන් දක්වන විමසුමෙහි එන පාඨයකින් මෙය හුවාදක්වමු.

මිතය යනු අතීතයේ කවදා හෝ සිදුවී යැයි සිතන කතාන්දරයකි. එහි දෙවියන්වීරයන් ආදී මහා බලවන්ත පුද්ගලයන් හා සම්බන්ධ වෙයි...

දෙවියන් හා සම්බන්ධ මිත කතා උපවර්ග කිහිපයකට වැටෙයි.

1)      දෙවියන්ගේ උපත් හා සම්බන්ධ කතා

2)       දෙවියන්ගේ ජීවිතයේ වැදගත් සිද්ධි හා සම්බන්ධ කතා

3)      දෙවියන් අරක්ගත් ස්ථාන හෝ වෙනත් ප‍්‍රදේශ අරඹයා පවත්නා කතා

4)       දෙවියන් සඳහා කරන යාතුකර්ම හා සම්බන්ධ කතා

නන්දසේන මහතා කුලක කර ගන්වන දේවකතා වර්ග කිහිපයක් නියෝජනය කරන කතා පෙළක් දෙව්ලොව පෙම් කතා කෘතියෙහි වෙයි. ඉන්ද්‍ර ශිවබ‍්‍රහ්මවිෂ්ණුලක්ෂ්මීගනේෂ යන දෙවිවරුන් පිළිබඳව කෙටි විමසුමක් කෘතිය ආරම්භයේ දැක්වේ. විෂ්ණු දෙවියන්ට ලක්ෂ්මී හමුවෙයිසුර ලොව ජලන්ධර අසුර ලොව වි‍්‍රන්දාට පෙම් බඳියිඉසිවරුන්ට පෙම් කළ අප්සරාවෝබලවන්තයා සොයා විෂ්ණු බ‍්‍රහ්ම සටනකගාන්ධර්වයාගේ රථයට යට වූ ක‍්‍රිෂ්ණනන්දිගේ දුර්දෛවයට ශිවගෙන් පිළියමක්අමෘතය පැහැරගන්නට ගරු`ඩ දෙව්ලොව යයිගනේෂගෙන් සඳට දඬුවමක් ආදී වශයෙන් මෙහි කතා සැකසේ.

හින්දු දේව කතා කියවීමට ම ඔබින බසක් දඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය කතා ව්‍යවහාරයේ එන වදන් ද යොදමින් පාඨකයා කෘතිය හා දුරස්ථ නොකිරීමට කතුවරයා වග බලාගනී. හුදු දේව කතාව මතු නොව එය වත්මනෙහි සමාජයේ භාවිත වන්නේත් සංස්කෘතිය හා බද්ධවන්නේත් කෙසේදැයි කීමට තරම් ඔහු සූක්ෂ්ම වෙයි. සුර අසුර යුද්ධයේදී වූ සිදුවීමක් හේතුවෙන් රාහු සඳ හා හිරු සමඟ වෛර බැඳගත් පුවත ඔහු ප‍්‍රායෝගිකව ගළපන්නේ මෙලෙසිනි.

තමන්ට අමෘතය ලැබෙනු දුටු සූර්යයා සහ චන්ද්‍රයා ඒ මොහොතේ රාහුට එරෙහි වූහ. ඒ වෛරය රාහුගේ හිතේ තිබිණි. එය සිහිපත්වෙන හැම විටෙකම රාහු හිරුටත් සඳුටත් මහර දෙන්නේය. ඒ වෛරය සදාකාලික බැවින් තවමත් සූර්යග‍්‍රයහණ සහ චන්ද්‍රග‍්‍රහණ සිදුවෙයි. හඳ රාහු ගිලගන්නා බව අප පවසන්නේ ඒ නිසාය.

කතාවක් සම්පූර්ණ වනසේ සිද්ධි ගළපා කතා රසයෙන් හා කුතුහලයෙන් අනූන වන පරිද්දෙන් දදේව කතා සිදුවීම් කිහිපයක් එක් කතාවක ගැබ් වන පරිද්දෙන් ද වන සේ කතුවර රචන විලාසය සැකසී ඇත. එහෙත් ඇතැම් අවස්ථාවකදී සිදුවීම් කිහිපයක් එකම කතාවේ යෙදීමට යාමේදී කතාරසයට හානි පැමිණෙන අවස්ථා ද හමුවේ. සුර අසුරයන් එක්ව කිරි මුහුද කළඹන උද්වේගකර මොහොතේ එයින් ලක්ෂ්මිය මතුවීම හේතුවෙන් කිරි මුහුද කැළඹීමේ පුවත මදකට නවතා ඇය හා විෂ්ණුගේ පෙම් පුවතත්ඔවුන්ගේ සරණ මංගල්ලයට දෙවිවරු පැමිණීමත් දැක්වීම ඊට නිදසුනකි.

හින්දු දෙවිවරුන් හා සබැඳි මිථ්‍යා කතා සරල බසින් පාඨකයාට කියවා අවබෝධ කරගැනීමේ අවසරය මෙම කෘතියෙන් හිමිවේ. සම්භාව්ය  සිංහල පද්‍ය  සාහිත්‍යයේ ද හමුවන දේව කතාන්දර සම්පූර්ණ කතන්දර වශයෙන් මෙයින් රසවිඳිය හැකිය.

Top