ජාතිවාදයේ අන්තිම ප්‍රතිඵලය පෙන්වාදෙන "අන්තිම දුම්රිය" (151 වන ලිපිය)

post-title

ලෝකයේ වෙසෙන විවිධ ජාති ආගම් ආදියට අයත් මිනිසුන් තම තමන්ගේ අනන්‍යතාව රැකගෙන සාමූහිකව ජීවත් විය යුතු බව අද අන් කවර කලකටත් වැඩියෙන් ලෝකයට දැනෙමින් තිබෙනවා. ලෝකය සතු ස්වාභාවික සම්පත් ක්ෂය වන විට, ලෝක භූමියේ ඉඩකඩ මදි වන විට, බෙදී වෙන්වීමට වඩා එක්ව වාසය කිරීම මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්මට වඩාත් හිතකර බව සමාජ මානව විද්‍යාඥයන්ගේ මතයයි.

මේ පූර්විකාව සටහන් කලේ මා තෝරාගත් පොතට පෙරවදනක් වශයෙන්. චිරාත් කාලයක් පුරා එක්ව වාසය කළ මිනිස් සමාජය අවස්ථාවාදී හා බලලෝභී දේශපාලඥයන්ගේ උවමනාව මත භේද භින්න වී ගිය සැටි ප්‍රකට පංජාබ් ලේඛක කුෂ්වාන් සිංගේ Train to pakistan නැමැති නවකතාවෙන් කදිමට චිත්‍රණය කෙරෙනවා. එය ප්‍රවීණ නවකතා කරුවකු හා පරිවර්තකයකු වන කුලසේන පොන්සේකා විසින් සිංහලයට පරිවර්ථනය කරනු ලැබුවේ අන්තිම දුම්රිය යනුවෙන්.

අන්තිම දුම්රියට වස්තු විෂය වන්නේ; ඉන්දියාවත් පකිස්ථානයත් දෙකඩ වන අවධියේ වයඹදිග ඉන්දියාවේ සික් හා මුස්ලිම් යන දෙවර්ගය සාමූහිකව ජීවත් වූ එක්තරා ගම්මානයක ජාතිවාදී ගින්න ඇවිලී ගොස් ඇති කළ මහත් ඛේදවාචකයයි. කුලසේන ෆොන්සේකා අන්තිම දුම්රිය සිංහලයට නඟන්නට ඇත්තේ එම සිදුවීම අප රටටත් අඩු වැඩි වශයෙන් අදාල නිසාවෙන් විය හැකියි.

කුෂ්වාන් සිංගේ නවකතාවට පසුබිම් වන භූමි ප්‍රදේශයට ජාතිවාදය නැමැති විෂ ඝෝර සර්පයා ප්‍රවේශ වන්නේ බල ලෝභය හා අවස්ථාවාදය ආදී දේශපාලන උවමනා ඔස්සේයි. මෙකී අවස්ථාවාදී බලලෝභී දේශපාලන ප්‍රවණතා විවිධ වෙස් මුහුණු පැළඳගෙන සමාජය හමුවට පැමිණෙන ආකාරය කුෂ්වාන්ත් සිං සියුම් සාහිත්‍යකරුවකුගේ පරිචය ප්‍රකට කරමින් අන්තිම දුම්රිය තුළ සිතුවමට නගනවා.

රාජකාරියට ලැදි ප්‍රතාපවත් නිලධාරීන් ලෙස පෙනී සිටින මහේස්ත්‍රාත්වරුන් වැනි චරිත, දේශප්‍රේමයෙන් උමතුවට පත් සමාජ නායකයින්, යථාර්ථය හා ප්‍රායෝගිකත්වය වටහා නොගත් වාමවාදී තරුණ ව්‍යාපාර ආදී නානාවිධ සමාජ ස්ථර අවසාන වශයෙන් ජාතිවාදී අරගලයක කොටස්කරුවන් වන අන්දම කුෂ්වාන්ත් සිං ඉතා සංවේදී අයුරින් පාඨකයා හමුවේ විස්තර කරනවා.

සාම්ප්‍රදායික ලෙස හා ගතානුගතික අයුරෙන් සමාජය විස්තර කරන්නට කුෂ්වාන්ත් සිං කිසියම් උපහාසයක් කරන බවකුත් අන්තිම දුම්රිය කියවන විට හැඟී යා හැකියි. කුෂ්වාන්ත් සිං මෙම උත්ප්‍රාසය ගොඩනගනු ලබන්නේ සික් ජාතික අපරාධකරුවකු ලෙස ප්‍රකට ජුග්ගා නම් චරිතය නවකතාවට එක් කර ගැනීම මඟිනුයි. අන්තිම දුම්රිය නිමාවට පත්වන්නේ ජුග්ගා නමැති අපරාධකරුවා ජාතික වීරයෙකුගේ මට්ටමට ඔසවා තබමින්. නවකතාව පුරාම ජනතා නායකයන් හා ප්‍රභූන් ලෙස පෙනී සිටියවුන් හුදු රූකඩ බවට පත් වන සැටි අපට පෙනී යනවා.

අන්තිම දුම්රිය නවකතාව සපුරාම මිනිස් හැඟීම් හා ආවේගයන් සමග ගනුදෙනු කරන කෘතියක්. අප්‍රවේසම්කාරී ලේඛකයකු අතින් ලියැවිණි නම් පාඨක ආවේගයන් අවුස්සා තවත් ව්‍යසනයකට වුව මග පෑදීමට විභවයක් තිබූ කෘතියක්. නමුත් ලේඛකයා මුල සිට අග දක්වා ම නිර්මාණාත්මක ලේඛකයෙකුගේ වගකීම පිළිබඳව හැඟීමක් ඇති කර ගෙන සිටි බව දකින්න පුළුවන්. ජාතිවාදී උමතුව පිටුපස පවතින විෂම බලවේග වූ කලී ධනය, බලය, තණ්හාව ආදී විෂම අපේක්ෂාවන් බව ලේඛකයා පසක් කරනවා. විවිධ මිනිස් ක්‍රියාකාරකම් උත්පාදනය කරනු ලබන භෞතික මෙන්ම චෛතසික හේතු සාධක ද මනා හැසිර වීමකින් යුතුව මතුපිටට ගෙන හැර පෑමට කුෂ්වාන්ත් සිං සමත් වෙනවා. කුලසේන ෆොන්සේකා ගේ පරිවර්තන කාර්යය කුෂ්වාන්ත්ගේ අභිප්‍රාය අපට වඩාත් සමීප කර දීමට රුකුලක් වී ඇති බවත් පැවසිය යුතුයි. 

Top