නිර්මාණකරුවාගේ හෘද සාක්ෂිය - රන්රෝස

post-title

රන්කරුවන්ගේ සාප්පු අසළ බිම වැටෙන රන් කුඩු පිරික්සමින් සැරිසරන වැරහැලි ඇඳුමින් සැරසුණු මිනිසෙකි. කිළිටි වැරහැලි ඇඳුමින් සැරසුණ ද ඔහුගේ දීප්තියෙන් බබළන දෙනෙත කියාපෑවේ හදවතේ වූ ආලෝකයයි. ඒ මිනිසා අන් කිසිවෙකු නොව කොන්ස්ටන්ටයින් පව්ස්තව්ස්කි නම් අසහාය සාහිත්‍යකරුවාගේ පන්හිඳෙන් පණ ලබා විශ්ව සාහිත්‍යය තුළ දිදුලන රන් රෝස කුසුමක් බවට පත්වූ "ෂාමිට්" ය.

සොල්දාදුවෙකු වූ ෂාමිට් බොහෝ කලක් තිස්සේ දැඩි දුක්විඳිමින් රන්කරුවන්ගේ සාප්පු අසල බිම වැටෙන රන් කුඩු එකතු කරමින් සිය පෙම්වතිය වූ සුසේන් නම් තරුණිය වෙත තිළිණ කිරීම සඳහා රන් රෝස මලක් නිමවයි. මහලුවී අබල දුබල වී ගිය ඔහු එම රන් රෝස මල තිළිණ කිරීම සඳහා සුසේන්ව සොයමින් ඇවිදියි. නමුත් ඔහුගේ රන් රෝසමල සුසේන්ට තිළිණ කිරීමට ඔහුට ඉඩ නොලැබෙයි. මියයන තෙක්ම ඔහුට සුසේන්ව මුණනොගැසෙන අතර ඔහුගේ ජීවිතයෙන් අඩක් වැයකොට මහත් පරිශ්‍රමයෙන් ඔහු තනාගත් වාසනාවේ සංකේතයක් ලෙස සැලකූ රන් රෝසමල කිළිටි කොට්ටයට තබා රිබන් පටියකින් ගැටගසා තිබියදී හමුවෙයි. නමුත් ඔහු තුළ වූ හෘදයාංගම ප්‍රේමයත්, ඒ රන් රෝසමල වෙතින් ඔහුගේ ජීවිතයට ලද ආලෝකයත් සැඳෑ කල පහන් දැල්ලේ ආලෝකයෙන් ඔහුගේ මුහුණ මත සනිටුහන් කරමින් එය ශාන්ත නිවී සැනසුණු පියකරු මුහුණක් බවට පත්කර තිබුණේ රන්‍ රෝස මල නිර්මාණය කළ රන්කරුවාගේ " ජීවිතය නොදුන් දෙය මරණය ලබාදෙයි" යන කියමන සැබෑවක් බවට පත්කරමිනි.

ෂාමිට්ගේ මරණයෙන් පසු මහලු ලේඛකයෙකු ඔහුගේ එම රන් රෝසමල මිළදීගන්නේ ඒ වටා බැඳුණු ෂාමිට්ගේ අමරණීය වූත් හෘදයාංගම වූත් ප්‍රේම අන්දරයට කරන ගරුකිරීමක් වශයෙනි. ඉන් පසුව ෂාමිට්ගේ එම අමරණීය ප්‍රේම අන්දරය අප හමුවට ගෙන එනු ලබන්නේ එම මහලු ලේඛකයා විසිනි.

පව්ස්තව්ස්කි රන් රෝස හරහා කීමට තැත් කළේ හුදෙක් ෂාමිට්ගේ ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ. රන් රෝස වනාහි ලොව වෙසෙන සියලුම නිර්මාණකරුවන්ගේ හදගැස්ම ලෙස හඳුන්වා දුනහොත් එය වඩාත් උචිත යැයි මම සිතමි. අප අද නොමසුරුව රසවින්දනය කරන සෑම කලා නිර්මාණයක්ම පාහේ එම කලාකරුවන් සිය ජීවිත කාලය පුරා අසීරුවෙන් එක් රැස් කරගත් රන් සුණුවල අග්‍ර ඵලයක් වූ රන් රෝස කුසුමකි. ඒ රන් රෝසවලින් හමා එන ඔවුන්ගේ ආත්මීය සුගන්ධය අපගේ හදවත් සමග බද්ධවන්නේ ඔවුන්ගේ හා අපගේ හදගැස්ම එකක් බවට පත්කරමිනි. සල්ටියකොව් ෂෙඩ්‍රින් මෙලෙස  ප්‍රකාශ කොට ඇත්තේ ද එනිසා වන්නට ඇත.

 "ලේඛකයා ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ඔහුගේ හෘදය සාක්ෂයය අන්‍යයන්ගේ හෘදය සාක්ෂය සමඟ එකට එකමුතු වූ විට පමණි.”

 සහෘදයාට අවංකව සිය නිර්මාණය රසවින්දනය කිරීමට නම්, එය ඔහුගේ හෘද සාක්ෂිය හා බද්ධවීමට නම් නිර්මාණකරුවා තම හෘද සාක්ෂියට මෙන්ම නිර්මාණයට ද අවංක විය යුතුය. සහෘදයා ද නිර්මාණයක් හදවතේ ගැඹුරුම තැනින් වැළඳගන්නේ එය ඔහුගේ හෘද සාක්ෂියට  ආමන්ත්‍රණය කරමින් ඔහුගේ ආත්මය හා බද්ධ වුවහොත් පමණි. ඒ සඳහා නිර්මාණකරුවා ද සිය රන් රෝසමල නිර්මාණය කිරීමට යොදාගන්නා රන් සුණුවල ආශ්චර්‍යය ඔහු විසින් ද මැනවින් වින්දනය කළ යුතු ය. අසහාය ජීවගුණයෙන් පිරිපුන් රන් රෝස කුසුමක් බිහිකිරීමට හැකිවන්නේ එවිට ය. එවන් ජීවගුණයෙන් පිරි රන් රෝස කුසුම් සහෘදයාගේ හෘද සාක්ෂිය හා බද්ධවෙමින් ඉතා හෘදයාංගම ලෙස එයට  ආමන්ත්‍රණය කොට වඩාත් යථාර්ථවාදී පුළුල් චින්තනයක් කරා සහෘද චින්තනය මෙහෙයවයි.

රන් රෝසමලක් තැනීම සඳහා අවැසි රන් සුණු විහිදී ඇත්තේ ද අප වටාම ය. අවැසි වන්නේ එම රන් සුණු හොඳින්  ග්‍රහණය කරගැනීමයි. ග්‍රහණය කොටගෙන හදවතේ ගැඹුරුම තැනක ඒවා තැන්පත් කොට අවශ්‍ය මොහොතේදී අවශ්‍ය පිළිවෙලින් නිසි පරිදි සකස් කරගැනීමයි. ඒ බව ෂාමිට්ගේ රන්‍ රෝසමල මිළදීගත් වයෝවෘද්ධ ලේඛකයා දක්වා ඇත්තේ මෙසේ ය.

"ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා බිණූ වදනක්, හෙළුෑ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටුලු රේණුවක්, ගෙදිගු විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් ඈ මේ සියල්ල ම රන් සුණු ය. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් තිස්සේ යටි හිතෙන් මෙවන් අනන්ත අප්‍රමාණ රන් සුණු අහුලමු. අහුලා දිනෙක ඒවා ගෙන එකට තලා අපගේ ම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවක් විය හැකිය. සාහිත ශ්‍රොතය උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන් සුණුවලිනි."

මෙම රන් සුණු  ග්‍රහණය කරගැනීමටත් ඒවා තුළින් රන් රෝසමලක් බිහිකරගැනීමටත් නිර්මාණකරුවෙකුට සහය වන්නේ ඔහු සතු අසහාය නිර්මාණ ශක්තිය මෙන්ම පුළුල් ජීවිතාවබෝධයයි.මෙය හුදෙක් රන් රෝසමලේ කතාන්දරය හෝ ෂාමිට්ගේ  ප්‍රේම වෘතාන්තය පමණක් නොවේ. සිය ආත්මයන් අපගේ ආත්මයන් සමඟ බද්ධ කරමින් අපගේ හෘද සාක්ෂියට  ආමන්ත්‍රණය කොට අපව අමන්දානන්දයට පත් කළ අසහාය නිර්මාණකරුවන්ගේ හද ගැස්ම සහ ජීවන ගීතයයි. මෙම පොත් පිටු අතර සැරිසරන විටදී ඔබට එම ජීවන ගීතයේ රස පහස නොඅඩුව විඳගැනීමේ හැකියාව ඔබට ලැබෙනු නොඅනුමානය. එම ජීවන ගීතයේ සෑම ස්වරයක්ම වඩාත් ළගන්නා අයුරින් සිංහල පාඨකයන් වෙත සමීපකරලීම සඳහා විශිෂ්ට කාර්‍යභාරයක් ඉටු කළ ආරියවංශ රණවීර මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය හා ආචාරය සැබැවින්ම හිමිවිය යුතුමය.

 මේ වන විට ඔබ බොහෝ රන් රෝස කුසුම්වල හෘදයාංගම සුවඳින් අමන්දානන්දයට පත්ව ඇතුවා නිසැක ය. නමුත් ජීවිතය වේදනාවට පත් කළ හදවතේ ගැඹුරුම තැනෙක ඇමිනුණු විස කටුවක් වුවද අද්විතීය රන් රෝස කුසුමක් බවට පරිවර්තනය කළ හැකි බව ඔබ මොහොතකට හෝ සිතුවා ද? මේ වන විටත් රන් සුණු රාශියක් ඔබට හමුවී ඇතුවාක් මෙන්ම ඇතැම්විට ඔබ ඒවා හදවතේ ගැඹුරුම තැනක තැන්පත් කරගෙන ඇතිවා වන්නටත් පුළුවන. ඇතැම්විට අගනා රන් සුණු ඔබට හමුවී ඇතත් කුමක් හෝ හේතුවකින් ඒවා මඟහැරී ඔබේ දෑතින් නොදැනුවත්වම වාගේ ගිලිහී යන්නට ද ඇත. කෙසේ වුව ද ඉතා කෙටි නැවතුම්පළක් වූ මේ ජීවන ගමන පුරාවට ඔබට හමුවන මාහැඟි රන් සුණු මැනවින් එක්තැන් කොට සිය දහස් මිනිසුන්ගේ ආත්මයන් සුගන්ධයෙන් සහ ආලෝකයෙන් පුරවාලිය හැකි අගනා රන් රෝස කුසුමක් නිර්මාණය කිරීමට ඔබටත් හැකිවේවායි මම හදවතින්ම  ප්‍රාර්ථනා කරමි. කෙදිනක හෝ ඔබ මෙලොව හැරගිය ද සිය දහස් සහෘදයන්ගේ හදවත්වල සදාකාලිකව ජීවමානව රැඳී සිටීමට එවිට ඔබට හැකිවනු ඇත.

 

Top