කෘතියේ නම - ආහාර පුරාණය
ලේඛකයා - මිල්ටන් ප්රනාන්දු මහතා
ප්රකාශනය - ගොඩගේ ප්රකාශන
ප්රවර්ගය - විමර්ශන / පර්යේෂණ
මිල - රු 3000
පිටු - 1120
ප්රකාශන වසර - 2019 ( සීමිත මුද්රණයකි )
එක් පොතක් වෙනුවෙන් වසර තිහක පර්යේෂණ කාලයක් , ලේඛනය වෙනුවෙන් වසර දහයක කාලයක් වැනි සැලකිය යුතු තරමේ විශාල කාලාන්තරයක් වෙන් කරමින් ලියූ වර්තමානයට තදාසන්න වූ ශ්රී ලාංකික කෘති ඇත්තේ ඉතාම ස්වපයක් බව මාගේ හැඟීමයි. ( මාගේ දැනීමේ හැටියට ) ඉහත ආරම්භයේ දී කියන ලද කාල පරිචයන් මිඩංගු කරමින් අග්රගණ්ය මිණි කැටයක් බඳු ආහාර පුරාණය කෘතිය අපමණ වෙහෙසක් ද මතින් මෙසේ නිර්මාණය වී අවසන් ව ඇති බව කෘතියේ අභ්යන්තර කරුණු වපසරිය මඟින් පැවසිය හැක.
ප්රථමයෙන්ම ආහාරපාන ගැන විමර්ශන ග්රන්ථ ඉතාම අල්ප බව කිව යුතුය. ඉතාම විරල බව කිව යුතුය. ( සූපවේදය පිළිබඳව කෘති නොව ආහාර සම්බන්ධ විමර්ශන හා පර්යේෂණ කෘති ) මේ කෘතිය ආහාර සම්බන්ධයෙන් මා හට හමුවූ හොඳම කෘතියක් ( සැබැවින්ම ම අග්රගණ්ය කෘතිය ක් ) බව කිව යුතුමය. මෙහි අඩංගු වපසරිය කෙසේද යන්න, ලේඛකයා පෙරවදනේදීම හඳුන්වා සරල පැහැදිලි කිරීමක් සිඳු කරන්නේ, පාඨකයාට ඒ සම්බන්ධයෙන් දල අවබෝධයක් ලබා ගනු හැකිවීම පිණිස බව මාගේ හැඟීමයි. අප වෙසෙන පෘථිවි ලෝකයෙන් භාගයක පමණ වපසරියක් ආවරණය වන පරිදි මේ කෘතිය සකසා ඇත්තේ ඒ සියළු ආහාර සංකෘතින් සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ වපසරියක් මෙහි අන්තර්ගත වන පරිදිය. සැබැවින්ම ඒ ප්රමාණය, ප්රමාණනය කල නොහැකි ප්රමාණයක් බව මාගේ පෞද්ගලික ආකල්පයයි.
ආහාරපාන ඉතිහාසය
ආහාර හා සමාජය අතර ඇති සබැඳියාව මෙන්ම
1) වසර 4000 -3000 කට පෙර ටූටන්කාමන් මිසර ෆාරාවෝ රජු මිහිදන් කර තිබූ මිහිදන්ඝරවල තිබී මිසර ෆාරාවෝවරයාගේ නාස්පුඩු දෙපස ශ්රී ලංකාවේ කුරුඳු ස්වල්පයක් පුරාවිද්යාඥයන් විසින් අනාවරණය කර ගැනීම.
2)රෝම අධිරාජ්යයේ මහේශාක්යයන්ට අසීමිත පෙම් බැඳීමක් තරමට ගම්මිරිස් වලට තිබූ අසාමාන්ය ආසක්තතාවය කෙරෙන් එම රාජ්යයේ පරිහානිය පවා ළඟා වූ අන්දම.
3) මෙසපොටේමියා - මිසර කලාපයේ බීර උපත හා යාවී පිපි පාන් නිෂ්පාදනය ඇරඹීම.
4)අතීත මහේශාක්ය මන්දිර වල මලමුත්ර, කැළිකසළ දුඟද තුරන් කිරීම සඳහා ඔටු ගව තවලම් සුගන්ධක මලු පුරවාගෙන කලාපයෙන් කලාපයට ගමන් කිරීම සමඟ ගමනාගමන ඇරඹීම.
5)ඉන් පසු මානව වර්ගයා සාගර තරණයට පිවිස නැව් ගමනාගමන ඇරඹීය.
6) ශ්රී ලංකාවේ මහ එළියතැන්නේ අදට අවුරුදු 13 000 කට පෙරදවස බාර්ලි පරාග හමුවීම.
7) උඩුපියන් ගල්ගේ පුරාවිද්යා කැණීම් බිමෙන් පිළිස්සුණු ධාන්ය ඇට ස්වල්පයක් හමුවීම, නිසා අදට වසර 6350 කට පෙරදාක බලංගොඩ මානවයා ගොවියෙක් ව සිටියේද යන ප්රශ්නාර්ථය මතු වීම.වැනි රසවත්, මන පිණවන, කුතුහලය දල්වන තොරතුරු ද මෙම කෘතියේ අපමණව අඩංගුව ඇත.
*ආහාරපාන දේශපාලන න්යාය ට බලපෑම් කල අයුරු,
*වාණිජ හා වෙළඳ ව්යාපාර වල ප්රසාරණයට බලපෑම් කල අයුරු,
*ආගම් ලබ්ධිවලට කල බලපෑම වගේම එවායේ පැවැත්මට කල බලපෑම,
*වෛද්ය තාක්ෂණය හා යුද සංග්රාමයට හා අවිආයුධවේදයට බලපෑ ආකාරය,
* ස්ත්රී පුරුෂ ශ්රම විභජනයට, මෙන්ම පංති විශිෂ්ටතාවක් ඇති කිරීමට දායක වූ ආකාරය,වැනි බොහෝ කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක කතා බහක් මෙම කෘතියේ අඩංගු වී ඇත.
මෙම කෘතිය නිම වීමට, මුල් අඩිතාලමට මූලික වී ඇත්තේ ආචාර්ය අමරවංශ අතපත්තු මහතා, නීතිඥ රන්ජිත් සේනාරත්න මහතා, මිල්ටන් ප්රනාන්දු මහතාත් වන අතර ඒ කාර්ය සඳහා ආයුර්වේද නිපුණයකු වූ උපාලි පිලපිටිය මහතාත් දායක වී ඇති බව සඳහන්.එක්තරා කෝණයකින් බලන කල සමාජ විද්යාව සම්බන්ධයෙන් වූ විමර්ශන කෘතියක් ලෙස සැලකිය හැකිය.
තවද මෙම කෘතිය මානව වංශ කතාවේ උපන් බිම හෙවත් තොටිල්ල ලෙස හැදින්වෙන මහාබෙත්ම නිම්නයෙන් පටන් ගෙන ඊසාන දිග අප්රිකා කලාපයෙන් මධ්යධරණි කලාපයට යාබද මිසරයද ග්රහණය කර ගනිමින් නැගෙනහිර දෙසට හැරී බැබිලෝනීය හා මෙසපොටේමියාවද අල්ලා ගනිමින් අරාබිකරය මෙන්ම තුර්කි සහ ග්රීක රෝම කලාපයන්ද මිටිකොට අල්ලා ගනිමින් යුරෝපීය කලාප දෙසටද හිස පොවා මධ්යම ආසියාව විශේෂ කොට ගනිමින් චීනය හරහා ද ගොස් ඉන්දීය අර්ධද්වීපය ඔස්සේ අවසාන වශයෙන් ශ්රී ලංකාව ද ඇතුළු කොට ගවේෂණාත්මක සංචාරය නතර කොට ඇත.
බෞද්ධ විනය පිටක, ජෛන ආගමික ආහාර භෝජන ආකල්ප, පුරාශිලා යුග, වෛදික හා අපර වෛදික මෙන්ම අශෝක, කුෂාන, ගුප්ත මෙන්ම මෝගල් යුගද ආයුර්වේදය හා වෛද්යවරුන් ද මෙන්ම වෛද්යවෘත්තිකයන්වූ ජීවක කෝමාරභච්ච සහ නාගර්ජුන වැනි සංඝයාවහන්සේලා සමඟ වූ නිර්මාංශාහාරීත්වයේ යථාස්වභාවය ද මෙහිදි කතා කරයි.
කෝපි හා කෝපිකඩ උපත මෙන්ම මෝගල් බෙගම්ලා බිසෝවරුන් ගේ දියමන්ති පොකුරුද, නාන්,චපාති,පරාටා,නොපිපි පාන් වල උපත හා චාලුක්ය රාජවංශික තුන්වැනි සෝමේශ්වර මහරජු ( පොළන්නරු යුගයේ දෙවන ගජභා රජසමයට සමීප දවසක ) සංස්කෘත භාෂාවෙන් රචනා කළ මානසොල්ලාසය ගැන යමක් ද මෙහි සඳහන්ව ඇත. තවද මිසර මෙසපොටේමියා කලාපයේ ප්රධාන ආහාරය වූ ධාන්ය-යව තිරිඟු ද, ආසියාකරයේ මෙනෙරි,කුරක්කන් සහ වී-සහල් හා ඇමෙරිකාකරයේ ඉරිඟු සහ අර්තාපල් අහම්බෙන් සොයා නොගත් බවද ඒවා ආදිතම ගොවි මහතුන් ගේ සූක්ෂම නිරීක්ෂණයන් මත ඒ එක එකක් ප්රභේද වශයෙන් බෝ කිරීම හා ප්රචාරණය කිරීමේ සංකීර්ණ පරිණාමනීය ක්රියාවලියේ ප්රතිඵලයක් බව ද මෙහි පැහැදිලි ව සඳහන් ව ඇත.
අවසාන වශයෙන් මෙයින් පැහැදිලි වන්නේ ආහාරපාන යනු එකිනෙකාගේ බඩකට පුරවා ගැනීමේ හුදු ප්රාථමික පුත්ගලාර්ථය ක් පමණක්ම නොව මානව වංශ ඉතිහාසය පුරා සෑම ක්රියාවක්ම පාහේ ආහාරපානයෙන්, විවිධාකාරයෙන් පෝෂණය වූ බවයි. එය ආහාරපාන ඉතිහාසය ආවර්ජන යේදී ඔබට නැවත නැවත හඩගා කියනු ඇත.
තවද........
මෙය මානව වංශ කතාවට පමණක්ම පටු නොවන බවද සඳහන් කල යුතු අතර, මෙය මහත් වූ ජීවි වංශකතාව සඳහාම නියතාකාරයෙන්ම වලංගු බව කිව යුතුමය.
වෙනස් සැරිසැරීමකට, වෙනස් ගවේෂණයකට ආරාධනා .......
රන්දික රාජපක්ෂ