"වලෙන්තීන් කතායෙව් " ( walenthin Kathayew ) ලියූ ( Tsvetik-Semicvetik ) නම් රුසියානු කතාවේ අනුවාදය, " හත්පෙති මල " නමින් දැදිගම වී රැද්‍රිගෝ මාමා විසින් ලියනවා.
කතා නායිකාව පුංචිම පුංචි ගෑනු ළමයෙක්.එයාගෙ නම " ශේන්යා " .අම්මා පුංචි ශේන්යාව පාන් වළලු ගේන්න කඩේට යවනවා.සුවඳ පාන් වළලු දෙකක් තාත්තාට,පොපි ඇටදාපු දෙකක් අම්මාට, සීනි දාපු දෙකක් ඇයට,රෝස පාට පුංචිම පුංචි පාන් වළල්ල පාව්ලික් මල්ලිට කියලා ඇය පාන් වළලු හතක් ගන්නවා.ගෙදරට එන ටිකට බලු පැටියෙක් අර ඔක්කොම පැණි වළලු ටික කාලා.
කතාවේ ඒ ආරම්භය එක්කයි ශේන්යාට මේ අරුම පුදුම මල ලැබෙන්නෙ.අහම්බෙන් හම්බුන ආච්චි කෙනෙක් මේ " හත්පෙති මල " ඇයට දෙනවා.
එක මල් පෙත්තක් කඩලා විසි කරලා,
" මල් පෙත්තේ, මල් පෙත්තේ
උතුරු දෙසට – දකුණු දෙසට
බටහිරටත් හා නැගෙනහිරටත්
ඉගිළ ඉගිළ මෙහැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
මා කියන දෙය කරදෙන් මට "
මෙහෙම කියලා ඇයට කැමති ඕනි දෙයක් ඉල්ලන්න පුළුවන්කම තිබුණා.ඉතින් කතාව හරිම ලස්සනයි. අවසානය හරිම අපූරුයි !
" වෙච්ච දේ ! පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව.කමක් නෑ ඉස්සරහට කල්පනාකාරී වෙනවා "
- හත්පෙති මල කතාවෙ( දැදිගම රැද්‍රිගෝ මාමාගේ අනුවාදයෙන් උපුටාගත් කොටසකි) .
ඇයට තව එක අවස්ථාවයි තියෙන්නෙ.එහෙම ඉතිරිවුන අවස්ථාව ඇය පාවිච්චි කරන්නෙ වීත්යා කියන ඇවිදින්න බැරි පුංචි පිරිමි ළමයා වෙනුවෙන්.හිතන්න, ඒක මොනතරම් ලස්සන ප්‍රාර්ථනාවක්ද කියලා.පුංචි ශේන්යා අපිට කියලා දෙන්නෙ ලොකුම ලොකු පාඩමක්.
" මම " කියන සංකල්පය පුංචි හිත්වලින් ඈත්කරලා හොඳම දේ දරුවන්ට කියලා දෙන්න නම් අපි කියවිය යුතුම තවත් පොතක් මේ.
අපිට හැමදේම අහිමිවෙලා එකම එක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙලාවක, අපිට පුළුවන් ද තව කෙනෙක් වෙනුවෙන් ඒ බලාපොරොත්තුව කැපකරන්න ?
පහ ශ්‍රේණියේ සිංහල පෙළපොතෙන් උගත් ඒ රසය, වැඩිහිටියන් විදියට අද අපි ආදරයක් විදියට බෙදමු. පුංචි දරුවන්ට කියවන්න දෙන්න වටින හරි අපූරු පොතක්.ඔයත් කියවලා නැත්නම් , කියවපු ඒ රසතැන් අමතක නම් පුංචි අය වටකරන් ආයෙම අපි කියවන්න.පුංචි ශේන්යාගෙ ආදරේ අපි මුළු ලෝකයටම බෙදමු.