බරසාර අන්තර්ගතයකින් සම්ප්‍රයුක්ත ‘‘රත් වරලැති ලිය” (161 වන ලිපිය)

post-title

ඔබ අගය කරන ඔබට වටිනා යමක් ළිං පතුලක සඟවා පසුව ඒ ගැන අමතක කර දැමීමේ අරුත කුමක් වූයේද? අහඹු හැඟීමක් අපේ ජීවිත වලට කෙතරම් නම් බලපෑමක් කළ හැකිද? විශේෂයෙන් එය කෙනෙකු කෙරෙහි ආකර්ෂණය වන හැඟීමක් නම්? ඒ හැඟීමේ කෙළවර අවසානය නොදන්නා අනන්තයක ගැටගැහී ඇති බවක් පෙනේ. රත් වරලැති ලිය දකින මෙහි කතානායකයා ජෙම් අත්විඳින හැඟීම් සමුදාය හැම යෞවනයෙක්ටම උරුමය.

“වැඩබිමේ සිට මිනිත්තුවක පමණ ඇවිදින දුරින් විශාල වෝල්නට් ගසක් විය. එහි සෙවණෙහි වැතිරෙන මම නිදිකිරා වැටෙන්නෙමි. මා ඔබ දන්නවා! කියන බැල්මෙන් මා දෙස බලමින්, කිසිදු ඇරයුමකින් තොරව හා විචිත්‍රවත් ලෙස, රතු පැහැති හිසකෙස් ඇති කාන්තාව මගේ මනසේ ප්‍රාර්භූත වූවාය. මම උල්ලසිත වීමි. තවත් විටෙක මද්දහන් වෙලාවේ දැඩි අව් රශ්මිය යට වෙහෙස වී වැඩ කරත්දී මා ක්ලාන්ත වන්නට යන්නේය යන හැඟීම දැනෙන විට මට ඇය සිහිවෙයි. ඇය ගැන සිතීම මා යළි ප්‍රකෘතිමත් කරවූ අතර එය මා සර්වශුභවාදයෙන් පුරවාලීය.” (රත් වරලැති ලිය - පිටුව 31 )

ඔර්හාන් පමුක් ගේ “රත් වරලැති ලිය” පිය පුතු සම්බන්ධයේ සදාතනික ගැටලුව සාකච්ඡා කෙරෙන ග්‍රන්ථයක් වුවද එහි ඊටත් වඩා ප්‍රබල වන්නේ ඉහත කී අරුත බවයි මගේ හැඟීම. කුඩාකලදී පුතුන් පියා අනුගමනය කරන්නට පෙළඹෙයි, ආසා කරයි. බොහෝ පුතුන්ගේ කුඩාකළ වීරයා වන්නේ තාත්තාය. වයසින් වැඩෙත්ම එකී මායාව බිදවැටෙන අතර නව වීරයෙකු සොයන පුතුන්ට සිය පියා ලිලිපුට්ටෙකු බවට පත්වෙයි. අනෙක් අතට පුතුන්ගේ මේ වෙනස දරාගැනීම පියවරුන්ට ද අපහසුය. දෙදෙනා අතර සම්බන්ධය දුරස් වූ විට එය තවත් උග්‍රය.

“කිසිවෙකුගේ බැල්ම නොවැටෙන තාක් මා කටයුතු කළේ සම්පූර්නයෙන්ම පාහේ මට ඕනෑ හැටියටය. මා මේ සත්‍යය අවබෝධ කරගන්නට පටන් ගත්තා පමණි. අප කිසිවෙකු විසින් නිරීක්ෂණය කරනු නොලබන කල අප අභ්‍යන්තරයේ සිටින අනෙක් තැනැත්තාට බැහැරට පැමිණ රිසි සේ ක්‍රියාකරන්නට හැකිය. එහෙත් ඔබ දෙස ඇස ගසාගෙන පියෙකු ඔබ අසල සිටින විට මේ අනෙක් තැනැත්තා සිරුර අභ්‍යන්තරයටම වී සිටියි.” (රත් වරලැති ලිය - පිටුව76)

මුස්තාෆා කෙමාල් විසින් ඔටෝමාන් ආධිපත්‍යය බිඳදමා තුර්කිය නිරාගමික රටක් බවට ව්‍යවස්ථාවෙන් නියම කොට අරාබි බසින් යාඥා කිරීම පවා තහනම් කළේය. වඩාත් ලෞකික ලෝකයට ඇදී ගිය තුර්කිය භෞතික දියුණුව කරා එළැඹියේය.

“ඔබ අගය කරන ඔබට වටිනා යමක් ළිං පතුලක සඟවා පසුව ඒ ගැන අමතක කර දැමීමේ අරුත කුමක් වූයේද?” (රත් වරලැති ලිය - පිටුව 72 )

පමුක්ගේ සමස්ථ කතාවම මේ ප්‍රකාශය තුළින් විදාරණය වන්නේ යැයි මට සිතේ. වර්ථමානය වන විට තුර්කිය නැවත සිය ගමන් මඟ ආපහු හැරවීමේ ප්‍රයත්නයක යෙදී සිටී. කතුවරයා මේ සියල්ල දෙස හෙලන වක්‍රෝක්තිය ඉහත ප්‍රකාශයෙන් පිළිබිඹු වෙයි.

පමුක් මේ දේශපාලනය වක්‍රාකාරව මේ කතාව හරහා ගෙන එයි. ලෞකිකත්වය කරා දුවන මිනිසුන්ට සිය අතීතය, සංස්කෘතිය අමතකව ඇති බව ජෙම් පවසයි. ඔහු භෞතිකත්වයත්, ආගමත් අතරමැදි තැනක අතරමංව ඇති බවක් පෙනෙයි. මේ සමකාලීන තුර්කිවරුන්ගේ ජීවිතය විතැන් වී ඇති තැන බව පමුක් අපට ඉඟි සපයයි. ඊඩිපස් හා රොස්තම් ගැන කතා ඔහුගේ හිතට කෙතරම් තදින් කා වදින්නේද යත් අවසානයේදී ඔහු එවැන්නක් බලාපොරොත්තු වෙයි.

කෙසේ වතුදු කතාව අවසන් වන්නට තිබුනේ මෙලෙස නොවන බව මගේ හැඟීමයි. පුරාණෝක්ති ඒ අයුරින්ම සිදුවීම තුළින් පමුක් උත්සාහ කරන්නේ සාම්ප්‍රදායිකත්වයට ඉඩ දීමයි. එසේ නොවී ඊටත් වඩා වෙනස් අවසානයකට යන්නට තිබුනා නම් එහි අපූර්වත්වය තවත් වැඩිවන්නේ යැයි මට සිතේ.

රත් වරලැති ලිය කියවිය යුත්තේ එහි අභ්‍යන්තර දේශපාලනය සමඟ බව මගේ හැඟීමයි. ඒ නිසා ඔබ පොත සමඟ තුර්කිය නිර්මාණයේ සිට අද දක්වා ඉතිහාසය ලුහුඬු ලෙස හෝ කියවා බැලිය යුතු බව මම යෝජනා කරමි. එවිට ඔබට මේ අන්තර්ගතයේ බරසාරත්වය වඩාත් හොඳින් වටහාගත හැකිවේ.

නිලූක කදුරුගමුව විසින් කර ඇති මේ අගනා පරිවර්තනය ගැන වචනයක් නොකියාම බැරිය. රාජ්‍ය සම්මාන ලබාගත් පරිවර්තනයක් වීමට එයට වුවමනාවටත් වඩා කාරනා තිබේ. ඉතා අපූර්ව ලෙස වෙනස් ජනසමාජයක් අපට සමීප කරමින් ගෙනඒම ඉතා භාරදූර කටයුත්තකි. මෙය විදර්ශණ ප්‍රකාශනයක් වන අතර ඔබ විසින් සොයාගෙන කියවිය යුතු කෘතියකි

Top