ඇනා කැරනිනාහි ලාංකේය අනුවාද/පරිවර්තන කෘතිවල කංචුක විමසුම

post-title

රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි විසින් රචනා කරන ලද ඇනා කැරනිනා නවකතාවේ සිංහල පරිවර්තන කෘතිවල කංචුක පිළිබඳව සංක්ෂිප්ත විමසුමක් වෙත යොමුවීම මෙම කෙටි ලිපියේ අරමුණය.

ඇනා කැරනිනා කෘතියේ දැනට හමුවන පළමු පරිවර්තනය ලෙස ගැනෙන්නේ ජිනදාස ලේල්වල විසින් කරන ලද පරිවර්තනයයි. ‘කරුමක්කාරි’ නමින් එම්. ඩී. ගුණසේන සමාගම විසින් එවකට එය ප්‍රකාශයට පත්කර තිබිණි. මෙය අසංක්ෂිප්ත වන්නා සේම, දෘෂ්ටිය අතින්ද, භාෂාත්මක ලක්ෂණ අතින්ද තරමක් දුර්වල පරිවරතනයක් බව තිස්ස කාරියවසම්, පැරණි සෝවියට් දේශය සඟරාවට ලියූ ලිපියකින් පෙන්වා දෙයි. එහි කවරය දැනට සොයාගැනීමට නොමැත.

උසස් සහ නිර්මාණාත්මක අන්දමින් 1959 දී මුනිදාස සෙනරත් යාපා විසින් අනුවාදය කරන ලද ඇනා කැරනිනා, 1962 දී දෙවෙනි මුද්‍රණයක් ලෙසින් පළ විය. ඇනා කැරනිනා නවකතාවේ හොඳම අනුවාදය ලෙස අදටද බොහෝදෙනෙකු පිළිගන්නේ මෙම කෘතියයි. මේ කවරයේ(පළවෙනි පින්තූරය) එන යුවළ බටහිර යුවළකට වඩා සමවන්නෙ පෙරදිග ආරයකටය. එහෙත් පොත්කවරයේ රුසියානු ආකාරයක් දැකිය නොහේ. ඔවුන්ගේ හිස බෙදා ඇති ස්වරූපය, එහි පැහැය, කබා කෝට්, අත්බෑග් මෙන්ම ඔවුන්ට පිටුපස සිටින්නා පවා ලාංකේය ස්වභාවක් පෙන්නුම් කරයි. මෙය ඇනා කැරනිනා පිළිබඳව වන පාඨක මනෝ සිතුවමට බාධාවක්දෝහෝයි සිතේ.(සෙනරත් යාපාගේ කෘතියේ කංචුකය ප්‍රභාත් අත්තනායක විසින් පොත්කවර නම් සාමූහිකයේ පළකර තිබූ අතර, මෙම සටහන සඳහා ඔහුගේ ඡායාරූපය උපුටාගැනීමි. )

එම අනුවාදයෙහි ම 1981දී පළ කළ කෘතියෙහි කංචුකය ඉන්පසු දැක්වේ. මෙය තරමක් ඉදිරියෙන් සිටිතැයි හැඟේ. ඇනා කැරනිනා, ඇලෙක්සි කැරනින් සහ රොන්ස්කි කවරයේ නිරූපණය වන අතර ඔවුන් 70 හෝ 80 දශකවල බටහිර සිනමාපටවල ස්වරූපයෙන් ඇඳ තිබේ. අඳුරු කොළ පැහැයක්, ක්‍රීම් පැහැයක් සහිත කවරයේ පිටපිටුපසින් මන්දිරයක් වැන්නක් පෙනේ. ඇනා කැරනිනා නම් අක්ෂරවල හැඩය සිත්ගනී.

ඉන්පසු එම කෘතිය සඳහාම පැමිණි තව කවරයක දැක්වෙනුයේ ආලිංගන නැටුමක යෙදෙන යුවළකි. මෙය සිනමාපටයකින් ගත් ඡායාරූපයක් යැයි සිතේ. රතු, කහ සහ නිල් පසුබිමය. පුරුෂයා කාන්තාව දෙස බලමින් සිටින අතර කාන්තාව වෙනතක් බලා සිටී. නවකතාවේ කතාපුවත ගැන ඉඟියකි. පුරුෂයා ඇඳ සිටින කබා සහ ඔවුන්ගේ හැඩරුව අනුව බටහිර ආකාරයක් පෙන්වයි. මෙය සාපේක්ෂව හොඳ කවරයක් වුවද ආකර්ෂණීය නොවේ.

සෙනරත් යාපාගේ අනුවාදයේ නවතම මුද්‍රණයක් ලෙසින් පළවී ඇති කවරය සැකසී ඇත්තේ, ජෝ රයිට් අධ්‍යක්ෂණය කළ ඇනා කැරනිනා (2012) සිනමාපටයේ එම චරිතය රඟන කේරා නයිට්ලිගේ රුවකිනි. රතු, කළු, සුදු සහ ක්‍රීම් යන සීමිත වර්ණ යොදාගෙන ඇත. ඇනාගේ රුවින් අඩක් පෙනේ. අනෙක් පස දුම්රියකි. මේ ඇනා කැරනිනා කතාවේ අවසන් ජවනිකාව පෙන්නුම්කරන්නක් විය යුතුය.  නවකතාවේ කතානායිකාව ගැන වන මත විමසා බැලීමට හෝ ඇගේ චරිතය නැවත අධ්‍යයනයට කවරය අපව පොළඹවයි. කවර නිර්මාණකරු ගැන සඳහන් නොවේ (ගුණසේන ප්‍රකාශන)

ස්වර්ණකාන්ති රාජපක්ෂ පරිවර්තනය කළ අසංක්ෂිප්ත කෘතියෙහි කවරයේ ප්‍රධාන වර්ණය නිල්ය. නිල් සහ එහි ප්‍රභේදය. ශෝකය, සීතල, කුසීතබව අඟවන නිල් පැහැය කතාරසය හා බද්ධ වේ. දුම් නගන කෝච්චිය පසෙකිනි. රොන්ස්කි සහ ඇනාගේ සම්මුඛවීම කවරයේ නිරූපිතය. මෙය සාධනීය සහ පාඨකයාට පොත කියවීමට ආරාධනා කරන්නකි. කවර නිමැවුම සමන් ඉන්දික ලොකුකළුගේගෙනි. (සරසවි ප්‍රකාශන)

සෝමා ටී. පෙරේරාගේ පරිවර්තනයක් වන මෙහි එන අවසන් කවරය හිම වැටෙන පසුබිමක ධාවනය වන දුම්රිය සහ සිනමාපටයේ එන ඇනා සිටින කවරයකි. ඇනා කැරනිනා පොත් කවර සදහා දුම්රිය පසුකාලීන නිර්මාණකරුවන් සියල්ලන් යොදාතිබේ. ඇනා කැරනිනා ඉංග්‍රීසි කෘතිවල පවා දුම්රියට විශේෂ ස්ථානයක් කවර නිර්මාණයේදී දී ඇති බව පෙනේ. එහෙත් මෙම කවරයෙහි ඇනා සිටින විලාසය නොඑසේ නම් ඇගේ සාත්වික අභිනය, මුව විවර වී ඇති ආකාරය පාඨකයාව යම් විචිකිච්චාවකට පත්කරයි. සමස්තයක් ලෙස පාඨකයා කෘතිය ගැනීමට පොළඹවයි. සෝමා ටී පෙරේරාගේ කෘතිය පවා ඇනා කැරනිනා මුල්කෘතිය විකෘති කළ එකක් බව වැටහේ. කවර නිර්මාණකරු ගැන සඳහන් නොවේ(සුසර ප්‍රකාශන)

Top