"මා පිලිතුරු වශයෙන් නොරිකෝට යැවූ ලියුම ස්වල්පයක් මතකය. මා තෝකියෝවට එන්ට අදහස් කලේ ඔබ දැක ගැනීමටය.ඒත් ඔබ මට ලියා එව්වේ මා එක්ක කතා බහ කිරීමටවත් ඔබට විවේකයක් නැත කියාය. ඔබට පෙම්වතෙක් ද ලැබුනු බව හිදෙජි සං මට දන්වා එවපු නිසා මා නොඑන්නට සිතුවා. එතරම් විශාල තෝකියෝ නගරයේ මම කුමක් කරන්නද.ඔබගෙන් තොරවූ තෝකියෝ නගරයක් ගැන මම දන්නේ නෑ.තෝකියෝවේ වීදී මම ඔබ සමග කෑම අනුභව කල බොජුන් හල්,තෝකියෝවේ කෝපි ශාලා,මම ඔබ සමග වැයුම් ගැයුම් වලට කන් දීගෙන පැය ගනන් ගත කල කෝපි සාලා,ඔබගෙන් තොර වු තෝකියෝවක් හෝ ජපානයක් මම දන්නේ නෑ."
මළ ගිය ඇත්තෝ, සිංහල සාහිත්‍යයේ තවත් එක් සංනාමයක් සටහන් කල උත්කෘශ්ඨ සාහිත්‍ය කෘතියකි. දිනක් මා ගුවන් විදුලියට සවන් දෙන අතර තුර ප්‍රවීණ ගීත විචාරක ධම්මික බණ්ඩාරයන් විසින් මෙහෙයවූ ගීත විචාර වැඩසටහකදී මර්වින් පෙරේරා මහතාගේ "මේ නගරය "ගීතය පිලිබද ඉතා මනරම් විචාරයක යෙදී සිටියේය. එතුමා මා ඉහත සටහන් කල මළගිය ඇත්තෝ නවකතාවෙහි උදෘතය හරහා ගීතය විචාරය කරන්නට යෙදුනි.
මා ඒ වනතෙක් නවකතාව කියවා නොතිබීම ගැන ඉතා වේදනාවක් මට දැනුනි.
සරත්චන්ද්‍රයන් මානව සිත නිවැරදිව හා අව්‍යාජව ස්පර්ශ කර ඇති බව මෙම කෘතියෙහි මනාව ගම්‍ය වේ. එතුමා කිසිවිටකත් මනුශ්‍ය සිතෙහි හට ගන්නා සිතුවිලි විකෘති කර ප්‍රකාශ කිරීමට උත්සහා නොකර ඇත. එය මානුෂවාදී අතිවිශිෂ්ට සාහිත්‍යදරයෙකුගේ ලක්ෂණයක් යැයි මා විශ්වාස කරමි. වර්ථමාන සමහර ස්වල්ප නවකතා කරුවන් විසින් මගහරින කරුණක් නම් එය වේ. ව්‍යාජ ෆැන්ටසියක් මැවීමට උත්සහ කිරීම තුලින් නිර්මාණයේ ගුනාත්මක බව බිද වැටෙන සුලු වෙයි. සරත්චන්ද්‍රයන් පාඨකයාව කිසි විටකත් ෆැන්ටසියක අතරමන් නොකරයි. යම් අවස්තාවක ඒ අව්‍යාජ බව දරා ගැනීමට නොහැකිව කතුවරයා ගැන ආදරණීය කේන්තියක් හට ගන්නට පිළිවන. නමුත් නිවැරදි සාහිත්‍ය නම් අව්‍යාජ සිතුවිලි , අව්‍යාජ මනුෂ්‍ය පැවතුම්, අව්‍යාජ පරිසරය, ඇතුලු අව්‍යාජ සියල්ල ඉදිරිපත් කිරීමයැයි මාගේ අදහසයි.
සරත්චන්ද්‍රයන් දෙවොන්දරා නොහොත් කතානායකයාගේ චරිතය පිලිබද පාඨක ඔබට ඇති පමණ සිතන්නට දේවල් ඉතිරි කර ඇත. ඔහු ආත්මාර්තය මුලිකද, පරාර්තකාමීත්වය මූලිකද ,එසේ නොවේද , ඔනෑම අයුරකින් ඔබට ඔහු ගැන සිතිය හැක. එහෙත් මට අනුව ඔහු මට ආත්මාර්තකාමියෙකි. නවකතාව කියවන ඔබට එය පසක් වීමට ඉඩ ඇත. නොරිකෝ ඔහු වෙනුවෙන් බලා සිටියාය. ඒ සියලු අවස්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් මග හරී. නවකතාව අවසානයෙහි ඒ සියලු අතපසු වීම් සමාජ පංතිය හා සංස්කෘතික ගැටීමක් හරහා දෙවොන්දරා සාදාරනීය කරන්නේ ලිබරල් වාදී ආත්මාර්තකාමියෙකුගේ ලක්ෂණ මනාවට පෙන්වමින් ය.
මා සමහර අවස්තාවල ප්‍රේමය ප්‍රකාශ කිරීමට නොහැකිව ප්‍රේමය පරිත්‍යාග කල පෙම්වතුන් ලෙස අල්තිනායි හා දුයිෂෙන් සමග දෙවොන්දරා හා නොරිකො දුශ්‍යමාන වන විචාරයන් දැක ඇත. නමුත් අල්තිනායි හා දුයිෂෙන්ගෙ පරිත්‍යාගික ප්‍රේමයෙහි තවත් පැතිකඩක් ලෙස දෙවොන්දරා මග හල ප්‍රේමය ගෙන හැර පාන්නේ කෙසේද ? නොරිකෝ තවමත් තෝකියෝවට වී විදවනවා ඇත. දෙවොන්දරා තම ආත්මාර්ථය නිසා පසුතැවෙනවා ඇත. අල්තිනායි හා දුයිෂෙන්ගේ පශ්චාත් ප්‍රේමනීය කාල පරිච්ඡේදය හා දෙවොන්දරා නොරිකෝ පශ්චාත් ප්‍රේමනීය කාල පරිච්ඡේදය එකිනෙකට පරස්පරයැයි සිතමි.
දෙවොන්දරා මෙන්ම නොරිකොද අවට සමාජයේ ඇත. එනම් නොරිකෝට සමාන පිරිමිද දෙවොන්දරාට සමාන ගැහැනු ද ඇත. ඉදිරි තත්පරයද අවිනිශ්චිත ජීවිතයේ ආත්මාර්ථය වෙනුවෙන් සමාජ වගකීමෙහි ප්‍රධාන පුරුක වන ආදරය ප්‍රේමය අහිමි කර ගැනීමට මිනිසුන් පෙළබෙන්නේ ඇයි? ආදරයට එහා ගිය ආරෝපණය කල උවමනාවන් අවශ්‍යතා යැයි සලකා මිරිගු දියක එබී ඇති නිසා නොවෙද?
කෙසේ වෙතත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අප සියලු දෙනාටම අවකාශ හිමි වුයේ නවකතාවෙහි තිබෙන අව්‍යාජ බව යැයි මම නැවත පසක් කරමි.
පසු කාලීනව පාඨකයන් සරත්චන්ද්‍රයන්ගෙන් මෙය සත්‍යයක් දැයි ඇසූ විට චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කල ප්‍රකාශයක් මතක් කර දෙමින් "සාහිත්‍ය වනා හී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ"යැයි පවසා ඇත.
ඉතින් තවමත් නොකිය වූ ඔබ දෙවෙන්දොරා හා නොරිකෝ සමග සබැදි මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදුදා කෘති සොයා ගෙන කියවන්නැයි මම ඔබට යෝජනා කරමි.