ඔයත් ඉන්නෙ ලොකුම දේවල් කරන අරගලයේ ද?

post-title

දෙසැම්බර් මාසෙ විසි පස්වෙනිදා ලංකාවට හිම වැටෙන්නෙ නැති වුනාට දේශගුණ වෙනස්වීම්වලට සාපේක්ෂව අපිටත් ශීත සෘතුවක් ලැබෙනවා. දෙසැම්බර් මාසෙටත් කලින් අපි මේ ගෙවමින් ඉන්න නොවැම්බර් මාසෙ ඉඳලමයි අපිට නත්තල් ගැන හැඟීම් දැනෙන්න පටන් ගන්නෙ. නත්තල කියන්නෙ දවසක්වත්, මාසයක්වත්, කාලයක්වත් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන් ම හැඟීමක්. Christmas කියන වචනෙ හැදෙන්නෙ Mass of Christ කියන අර්ථයෙන්. ජේසුස් වහන්සේ ක්‍රියා කළේ මනුෂ්‍යා වෙනුවෙන්ය කියන අර්ථයෙන් Mass Service සිහිපත් කෙරෙනවා. Christ-Mass කියන යෙදුම කෙටිවෙලා Christmas කියන වචනෙ බිහිවෙනවා. 

මට මතකයි පහුගිය කාලෙ නත්තලට ලෝකෙ ලොකුම නත්තල් ගහ ලංකාවෙ හදන්න සූදානම් කළා. ඒ නත්තල් ගහ හදන වැඬේ නතර කරලා මුදල් දුප්පත් ජනතාවට බෙදලා දෙන්න කියල අදාළ බලධාරීන් කරපු නියෝගයත් එක්ක මේ නත්තල් ගහ ගැනයි ඒ තහනම ගැනයි විශාල කතාබහක් ඒ කාලෙ එකපාර ඇතිවෙලා නැතිවෙලා ගියා. නත්තල් ගහ නිර්මාණය වීම වළක්වපු නායකයන්ගෙ දේශපාලන, සමාජ, ආර්ථික ආගමික මතවාදය මොකද්ද? නත්තල් ගහ නිර්මාණය කිරීම නතර කරපු ගමන් ම ඒ මුදල් දුප්පත් ජනතාව අතර බෙදිලා ගියා ද? නත්තල් ගහ නිර්මාණය වුණා නම් ඊට වඩා දෙයක් ජනතාවට ලැබෙන්න තිබුණා ද? කියලා ඊට පස්සෙ ඒ කාලෙදි කවුරුත් ඉන් එහා කතාකලාද කියල නම් මටත් මතක නැහැ. ඒ වගේ කාරණා මේ තීරු ලිපියෙන් මතු කරන එක මගේ අරමුණත් නෙවෙයි. ලොකුම දේවල් නිර්මාණය කිරීමේ මනුෂ්‍ය වින්දනයේ එක පැත්තක් ලාවට වගේ ටච් කරන්නයි මම මේ පුංචි ඉඩ කඩ ඇතුළෙ උත්සහ කරන්නෙ. 

මිනිස්සු කොහොමත් ලොකුම දේවල්වලට ගොඩක් ලැදියි. ලෝකයේ ගොඩක් ගැටුම් නිර්මාණය වෙන්නෙත් ලොකුම දේ, ශ්‍රේෂ්ඨම දේ, අංක එක තමන් සන්තකයට ගන්න මනුෂ්‍යයාට තියෙන ලැදියාව නිසායි. මම ලොකුම දේ කරන්න ඕනි. අංක එක වෙන්න ඕනි කියන හැඟීම මනුෂ්‍යාට ඇති වෙන්නෙ එයාගෙ ඇතුළෙ තියෙන මමත්වය නිසා. උපන්දා ඉඳලා මනුෂ්‍යා තමන්ගෙ වටේට ම විශාල තාප්පයක් ඉදිකරමින් ඉන්නවා. ඔහු ඒ තාප්පය මලෙන් ගහෙන් සරසනවා. ගඩොල් අල්ලනවා. තීන්ත ආලේප කරනවා. වඩ වඩාත් උසට වඩ වඩාත් විශාලව තාප්පය ගොඩ නගන්න උත්සහ කරනවා. “මම මේ ගුණාංගයන්ගෙන් යුක්තයි” - “මට මේ වගේ පෞරුෂයක් හිමියි” - “මට මේ දේවල් තියෙනවා” වගේ ටැග් ගණනාවක් එයා තාප්පය හැමතැනම එල්ලනවා. මනුෂ්‍යා තමන්ව භෞතිකත්වය හරහා ගොඩ නගනවා.

මෙන්න මෙතනදි හැමවෙලාවෙම ‘උපරිම ලාභය’ ගැන සෙවිල්ලෙන් ඉන්න වාණිජ ලෝකය ‘පැවැත්ම’ කියන සංකල්පය හරහා තාප්පය ගොඩනගමින් ඉන්න මනුෂ්‍යාට සමීප වෙනවා. වඩාත් ම දීප්තිමත් විශාලතම තාප්පය හිමි කෙනා වඩාත් ශක්තිමත්ව පවතිනවා කියන සංකල්පය එයා මනුෂ්‍යාට හඳුන්වලා දෙනවා. මෙතන ඉඳලා මනුෂ්‍යා අනෙකාට වඩා විශාලම දේ කරන තරඟයට පියනගනවා. මමත්වයට මනුෂ්‍යාගේ පවතින නෛසර්ගික ආශාව නිසා උපරිම ප්‍රතිඵලය, ලාභය වාණිජ ලෝකයට ලැබෙනවා. එයා උපරිම ලාභ තියාගන්න පුලුවන් විදියට මනුෂ්‍ය අවශ්‍යතා නිර්මාණය කරලා බන්දේසියක තියලා පිළිගන්වනවා. ‘මමත්වයට’ තියෙන්නෙ තම තමන්ට හැකි මට්ටමට ඒ ඒ බන්දේසි මිලදීලා ගන්න විතරයි. අද මිලදී ගන්න වත්කමක් නැත්තම් තව ටිකක් මහන්සි වෙලා හෙට ඒ බන්දේසිය මිලදී ගන්න විතරයි. 

හැමදේම ලොකුවට කරන්න උත්සහ ගන්න මනුෂ්‍යා බර්ත්ඬේ එක, උපාධියක් ලබා ගැනීම වගේ සිදුවීම් තමන්ට පුලුවන් උපරිමයෙන් සමරනවා. අඩුම ගානේ සෙල්ෆියක් අරගෙන ෆේස්බුක් එකේ හරි දානවා. තමන්ගේ බැංකු පොත්වලට දරන්න පුලුවන් උපරිම ගණනට සමානුපාතිකව තමන්ගේ වෙඩින් එක ලොකුම හොටෙල් එකක ගන්නවා. ලොකුම ෆෝන් එක ගන්නවා. ලොකුම ගෙයක් හදනවා. ලොකුම වාහනයක් ගන්නවා. අපි හරියටම කල්පනා කරලා බැලුවොත් ඔයාටයි මටයි පවතින්න නම් කිසිවක් නොකර සිටීමයි කරන්න ඕන. වාණිජ ලෝකය ඇතුළෙ ‘මම’ පෝෂණය කරන්න තියෙන ආශාව නිසා අපි අපේ පැවැත්ම වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. නිවැරදි නම් අපි කළ යුතුව තියෙන්නෙ ‘නොපැවැත්මට’ විවෘත වීම පමණයි. අපි අපේ වටේට අර උසම ලොකුම තාප්පය ගොඩනගන ආශාවෙන් මිදෙන්නයි ඕන. තාප්පයක් තියෙනවා නම් ඔයාට තාප්පය ගැන හොයා බලන්න, නිතර අලංකාර කරමින් සරසන්න සිද්ධ වෙනවා. තාප්පය බිඳ වැටුණොත් ඔයා අනාරක්ෂිතයි කියන හැඟීමෙන් පීඩාවට පත්වෙන නිසා එය ආරක්ෂිතව පවත්වාගෙන යන්න ඔයාට සිද්ධ වෙනවා. ඔයා ඔයාගේම වටේ ගොඩ නගාගෙන ඉන්න තාප්පය පුපුරවලා බිඳලා දානවා නම් ඔයාට ලොකුම දේ කරන්නවත් අංක එක වෙන්නවත් ඕනි කමක් නැතිවෙලා යනවා. 

හැබෑවටම ‘මට’ පැවැත්මක් නැති බවත් එහි තිබෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන යන ධාතු හය පමණක් බවත් බුදුන් වහන්සේ මිලින්ද රජතුමාට හරි ලස්සන උදාහරණයකින් කියලා දීලා තියෙනවා. දේව ආගම් හැම එකක් ඇතුළෙදිම හැමෝටම ඉහලින් දෙවියන් වහන්සේ වැඩ ඉන්නවා ය කියන එකේ අනෙක් අර්ථය තමයි ඔබ අංක එක නෙවෙයි කියන එක. ඔබට අංක එක බවට පත්වෙන්න බැරි තැනකදි ඔබ අනෙකා සමඟ තරඟයක් උපදින්නෙ නැහැ. ලොකුම දේවල් කරමින් ලොකුම තාප්ප ගොඩ නගන්න උවමනාවකුත් නැහැ. ඒ කාලෙ ඒ නත්තල් ගහේ අවසානය කොහොම වුණත් ලෝකේ ලොකුම නත්තල් ගහ හදනවාට විරුද්ධ වුණ අයත් පක්ෂව කතා කරපු අයත් දෙගොල්ලොම තම තමන්ගේ පෞද්ගලික අවකාශ ඇතුළෙ ලොකුම දේවල් කරන්න නොනවතින අරගලයක නිරත වෙවී තාමත් පීඩා විඳින බව නම් ඇත්තයි. 

Top