මතක මිහිර තීරු ලිපිය
අපේ ගෙදර ඉඳලා මම යන ඉස්කෝලේට පයින් යද්දි දුර තිබුණේ මිනිත්තු පහළොවක විස්සක දුරක්. ඉස්කෝලේ මට ළඟ නිසාද මංදා මම තනියම ඉස්කෝලේ යන්න පටන් ගත්ත කාලේ ඉඳලා හතයි තිහට පටන් ගන්න ඉස්කෝලේට හයයි තිහ වෙනකොට ගිහින් ඉන්න පුරුද්දක් තිබුණා. පන්ති කාමර වල යතුරු තිබුණේ ඒ දවස්වල ගුරුනිවාසේ පදිංචි වෙලා හිටිය මිස් කෙනෙක් ළඟ. මම ඒ මිස්ගෙන් අපේ පන්තියේ යතුර අරගෙන ඇවිත් පන්තිය අතුපතු ගාලා ඉවර කරලා මම යන්නෙ පාසල් ජිවිතේ මම වැඩිපුර ම ඉන්න කැමති වෙලා තිබුණු තැනට. එතන මහ විශාල අඹ ගහක් තිබුණා. උදේට ඒ අඹ ගහ යට තියෙන සනීපය ඇඟටත් හිතටත් ලොකු සහනයක් දුන්නා. මං ඉස්කෝලෙන් ඉවත් වෙනතුරු ඒ අඹ ගහේ සිසිල මට විඳින්න ලැබුණ එක මම හිතන්නේ මගේ වාසනාවක්.
මම විශ්වාස කරනවා ගහකොළ වල සුවය විඳින්න ලැබෙන එක මිනිහෙක්ගෙ වාසනාව මත තීරණය වෙන දෙයක් කියලා. ඉගෙනීම් කටයුතු වලින් පස්සෙ මම ඉගනීමේ ප්‍රතිඵලයක් ලෙස ඉංජිනේරුවෙක් විඳියට වැඩ කරන්න පටන් ගත්තා. මම වැඩ කරපු ආයතනය සාමාන්‍ය පොඩි ආයතනයක්. ඒ කාලේ ලොකු ලොකු ව්‍යාපෘති අපිට තිබුණේ නැහැ. අපිට ලොකු වැඩකට කියලා මුලින්ම වැඩක් ආවේ සුනාමියට අවතැන් වුන අයට ගෙවල් සීයක් හදන්න.
අපිට ලැබුණු ඉඩම ලොකු රබර් වත්තක්. මුලින්ම ඒ රබර් වත්තට ගියහම මට දැනුනේ ඉස්කෝලේ අඹ ගහ යට තිබුණ සනීපය. ඒත් හිතට අමුත්තක් දැනුනා මේ ගස් කපන්න වෙන එක ගැන. හිත මොනවා හිතුවත් ඒ හැම ගහක් ම කපන්න වුනා අපි හදන ගෙවල් ටික හදන්න. අපිට අවුරුදු දෙකක කාලයක් තිබුණා ඒ ගෙවල් සීය හදලා ඉවර කරන්න. ඒ කියන්නේ සති එකසිය හතරක්. ඒ ව්‍යාපෘතියේ එකවුන්ට් වැඩ වලට හිටියේ මං ගොඩක් ළඟින් ආශ්‍රය කරන මගේ හිතවතෙක්. ඔහු මා සමඟ ම එකට මෙම ආයතනයේ වැඩ බාරගත් පුද්ගලයෙක්. ඒ නිසා අපි අතර සමීප බැඳීමක් ඇති වුනා.
අපේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වුන දවසේ ඉඳලා මගේ හිතේ තිබුණේ අපි කපපු ගස් වෙනුවට අපි ගස් හිටවන්න ඕන කියන දේ. මොකද මට ඉස්කෝලේ අඹ ගහෙන් ලැබුණ සිසිල තව කෙනෙක්ට විඳින්න දෙන්න ඕන කියලා අදහසක් මගේ හිතේ ඇති වුනේ ඉස්කොලෙන් ඉවත් වුන කාලෙ ඉඳලමයි. ඒ අදහස ගැන මම කියලා තිබුණේ මං කලින් කියුව මේ ව්‍යාපෘතියේ එකවුන්ට් බලන මගේ හිතවතාට යි. එයා අපේ ආයතනයට නොදැනෙන්න ව්‍යාපෘතියේ මිනිස්සුන්ට සතියකට කෑමට යන සල්ලි වලින් කොටසක් පිරිමහගෙන හැම සතියෙම එක අඹ පැලයකට සල්ලි වෙන් කර ගත්තා. ඒ සල්ලි වලින් මමත් ඔහුත් සතියකට එක පැලයක් ගානේ, හදන හැම ගෙදරකම මිඳුලේ එක කොනක අඹ පැලයක් හිටවන්න පටන් ගත්තා.
අපේ ව්‍යාපෘතිය ඉවර වෙන්න සති හතරක් තියෙද්දි, ඒ කියන්නේ මාසයක් තියෙද්දි හැම ගෙදරකම අඹ පැලයක් හිටවලා ඉවර කරන්න අපිට පුලුවන් වුනා. අපි දෙන්නා නිකං අපේ හිතුමතේ කරපු වැඩක් වුනාට ව්‍යාපෘතිය අවසානයේ අපි දෙන්නට ඒකට ප්‍රශංවත් හිමිවුනා. අපේ ආයතනයට ලැබුණු මුල්ම, ලොකුම ව්‍යාපෘතිය වුනේ සුනාමි ගෙවල් ව්‍යාපෘතිය වගේම අපේ ආයතනයෙන් ඒ පළාතේ කරපු මුල්ම ව්‍යාපෘතිය වුනෙත් ඒක. ඊටත් පස්සෙ අපිට ලොකු ව්‍යාපෘති ගොඩක් ලැබුණා. වෙන වෙන පළාත් වල. කාලයත් එක්ක අපි ඒ ඒ ව්‍යාපෘති එක්ක ඔට්ටු වෙමින් නොදැනුවත්වම අවුරුදු දහයක් ගෙවිලා ගියා. අවුරුදු දහයකට පස්සෙ මට අහම්බෙන් වගෙ අපේ සුනාමි ගෙවල් ව්‍යාපෘතිය තියෙන පළාතට යන්න වුනා පුද්ගලික කාරනාවක් නිසා. මා ඒ ගමන යන අතරමඟ මට මතක් වුනේ අපි හිටවපු අඹ පැල ටික ගැන. මම යන ගමන ගිහින් එන ගමන් ඒ පැත්තට ගියේ අපි හදපු ගෙවල් වලට වඩා අපි හිටවපු අඹ පැල බලන්න.
මම වාහනෙන් බහින්නේ නැතුවම ඒ හදපු ගෙවල්වල මිදුල බලාගෙන ආවා. ඒ හැම ගෙදරකම ඒ අඹ පැලය ළඟ පොඩි බංකුවක් හරි පුටු කිහිපයක් හරි දකින්න තිබුණා. එහෙම තිබුණ තැන් වලින් ලස්සනම තැන් කිහිපයක ෆෝටෝ ටිකකුත් ගන්න අමතක කරේ නෑ. මම ඒ මොහොතේ විඳින සතුටේ අනිත් අයිතිකාරයා වෙන මගේ හිතවතා සමඟ බෙදාගන්න ඕන නිසා. මම නැවත ප්‍රධාන පාරට ඇවිත් ගෙදර එන ගමන් මට හිතුනා සතුට කියන දේ හරි පුංචි දේකින් වුනත් ලබන්න පුලුවන් කියලා. මොකද අපි එදා මේ පැළ හිටවද්දි අපි බලාපොරොත්තු වුනේ නැහැ මේ පැළ දකිද්දි අපිට මේ තරම් සතුටක් විඳින්න ලැබෙයි කියලා. අපි අද පැළ කරන පුංචි පැළයකින් අපිටම පුලුවන් අනාගතේදි ඒ පැළය දිහා බලලා ලොකු සතුටක් විඳින්න! මේ මම හිටවපු ගහක් කියලා හරි ආඩම්බරෙන් ඒ ගහ දිහා බලන්න