වේදනවා කියන දේ තමන්ගේ වෙනකම් අපිට වේදනවා තේරුම් ගන්න බැහැ | මතක මිහිර තීරු ලිපිය (364)

post-title

අපේ නෑදෑයෝ හිටියේ එක එක පළාත් වල නිසා අපි එකට මුණගැහෙන්නෙ මගුල් ගෙදරකදි , මළ ගෙදරකදි වගේ විශේෂ අවස්ථාවක විතරයි. නැත්තම් අපිට අපි මුණගැහෙන්නෙ තනි තනිව කොහේ හරි නෑදෑ ගෙදරක ගියහම තමයි. ඒ නෑදෑ පිරිසට හිටියෙත් මගේ වයසෙම දරුවෝ නිසා අපි අතර ලොකු බැඳීමක් තිබුණා. අපි අවුරුද්දක් දෙකක් වයසෙන් අඩු වැඩි වුනත් අපිට ඒක ලොකු පරතරයක් වගේ දැනුනේ නැහැ.

මම ගොඩක් කැමති වුනේ අපි කට්ටිය මඟුල ගෙදරකදි වඩා කාගේ හරි මළ ගෙදරකදි හමුවෙනවට. මොකද මඟුල් ගෙදර ගියහ ම වෙන්නේ මඟුල දවසට ගිහින් කාලා බීලා එන එක විතරයි. ඒත් මළ ගෙදරකදි ඒ අපේ හමුවීම වෙනස් වෙනවා දින කිහිපයක් අපිට එකට මළ ගෙදර ඉන්න වෙන නිසා.

ඒ අපේ එකතුවීම මාව මොකක්ද අමුතු බැඳීමක් එක්ක වින්දනයක් අස්සේ හිර කරා. වේදනවා කියන දේ තමන්ගේ වෙනකම් අපිට වේදනවා තේරුම් ගන්න බැහැ. ඒකයි මට අපි කට්ටියගෙ එකතුවීමෙන් වින්දයක් ලැබුණේ. අනික තමයි අපි ඒ ගෙවමින් හිටියේ වින්දනය පමණක් හොයන ළමාවියක්. අපේ ඒ එකතුවීම කලාතුරකින් වෙන දෙයක් නිසා වෙන්නැති මට එහෙම දැනුනේ. මොකද මරණයක් වුනත් වෙන්නේ කලාතුරකින් අනපේක්ෂිතව නිසා. සමහර ගෙවුන අවුරුදු තිබුණා ඒ අවුරුද්දට ම අපි කට්ටියම එහෙම එකට එකතු නොවුණු. 

එහෙම අපි එකට එකතු වුන අවස්ථා වල අපි කෑවේ බිවුවේ නිදාගත්තේ එකට. මළ ගෙදරකදි ඇස් වලට උනන කඳුලු වෙනුවට මගේ ඇස් වල තිබුණේ එකතුවීමක සතුට පිරිලා. අපි එහෙම එකට ඉන්න දවස් වල රෑට නිදාගන්න ගියහම වෙන සිදුවීම් මාව තවත් පිනවීමට ලක් කරා. අපි මිනිය තියෙනකම් කොහේ හරි කාමරයක කට්ටිය නිදාගත්තා. මිනිය ගෙදරින් අයින් කරාට පස්සේ අපි සාලේ එකට නිදාගත්තා. අපේ හැසිරීම් වලට අපේ වැඩිහිටියෝ අපිට බැන වදිද්දී බොහො දොස් ආවේ මට ය. ඒ බැනුම් වල බරපතළ කමක් නොතේරෙන වයසක අපි හිටිය නිසා අපි ඒ ගතකරපු දින කිහිපය එකතුවීමක ප්‍රීතියෙන් ගත කරා.

අපි කට්ටිය එහෙම එකතු වෙලා ඉන්නකොට මරණය වුන ගෙදර අපේ වයසේ හිටිය අපේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නම් ඔහුන් අපෙන් ඈත් වෙලා තනියෙම ඉන්නවා. ඔහුන් ට අපි ළඟට එන්න ඕන කමක් තිබුණත් ඔහුන්ට අහිමි වීමේ වේදනවා අපි ළඟට එන්න දුන්නෙ නැහැ. අපේ හැසිරීම ඔහුන්ට පිළිකුල්ව දැනුන ඇති ඒ දින කිහිපය තුළ. එහෙත් බැඳීමක බිඳීයාමේ වේදනවා දැනෙන්නේ බැඳීම තිබුණු අයට විතරක් බව තේරුම් ගන්න අත්දැකීම් ලැබෙන්න ඕන.

මගේ අම්මගෙ මරණය වුනේ මට අවුරුදු දහසයේදි. ඒ වෙලාවේ මාත් කරේ තනි වුන එක විතරයි. මළ ගෙදර, නෑදෑයෝ ඔහුගේ ළමයි ඒ හැමෝම ආවා. අපි කොහේ හරි මළ ගෙදරකදි හැසිරුන විදියට එයාලා අපේ ගෙදරදිත් හැසිරුනා. ඒ හැසීරීම මට අප්‍රසන්න ගතියක් දැනුනත් මට ඒක තේරුම් ගන්න පුලුවන් වයසක හිටිය නිසා තේරුම් ගන්න පුලුවන් වුනා.

"බැඳීමක් බිඳීයාමේ වේදනවා දැනෙන්නේ බැඳීමක් මත බැඳී සිටිය මිනිස්සුන්ට පමණක් බව"

Top