වැහි එක්ක මං අවශ්‍යතා සංකීර්ණ නොවුන සමාජයක මනසට දැනෙන වින්දනය අපමණයි (205 වන ලිපිය)

post-title

පානම බීච් එක කෙළවරේ තියෙන ගල මුදුනට ඉර බහින දර්ශනය අපූරුවට පේනවා. මේ ඉර, සුරත් ඵලයකට, ගිනි බෝලයකට සමාන කරන්න මට හිත දෙන්නෙ නැහැ. පානම වගේ අහිංසක ගම්මානයකදි හැමදේම නිවෙනවා. රතු වුණත් ඒ පාටත් හිතට මොකක්දෝ සිහිලක් දෙනවා. කොළඹ දි හුඟක් වෙලාවට පේන ඝෝෂාකාරී ගිනියම් වුණ ඉර වෙනුවට මෙතනට පේන්නෙ මෙළෙක් පපුවක් තියෙන නිශ්ශබ්ද ඉරක්. වළාකුලු අතරෙ හැංගෙන වෙලාවට වළා එකකට එකක් වෙන් කෙරෙන රේඛා උඩ තැඹිලි පාටින් සිහින් සටහන් තියලා ඉර ගම්මානෙ ඇතුළට ගිළෙනවා. මෙතැනට කලපුවයි මුහුදු තීරයයි ගම්මානයයි කඩොලාන වගාවයි වනාන්තරයයි සමපාතව උතුරෙන් නැගෙනහිරින් දකුණෙන් බටහිරෙන් දර්ශනය වෙනවා. මම ඈතට යොමු කරපු ඇස් දෙක කකුල් තියාගෙන උන්න ගල මතට යොමු කළා. මේ විශාල ගල මුදුනටම මම මේ ඉන්න තැනටම ඊයෙ පෙරෙයිදා අලි ආව බවට සලකුණු තියෙනවා. අද තව ටිකකින් අලි වැට දමාවි. එළියෙ ඉන්න අලින්ට නිදහසේ ඇතුළට එන්න බැරුව යාවි.

නාගරික උගත් බුද්ධිමත් සමාජයක වසර ගණනාවක් ගත කරලා නාගරීකරණයට යටත් නොවුණ ගම්මානයකට පය තැබුවාම උගත් සමාජයේදි අපි ගොඩනගා ගෙන තිබුණ අපිට උගන්නලා තිබුන න්‍යායන් සියල්ලම ඇස් පනාපිට බිඳ වැටෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ආචාර්යවරු මහාචාර්යවරු මධුවිත තොල ගාන අතරෙ දේශපාලනය සමාජ විද්‍යාව වගේ මාතෘකා ගැන බුද්ධිමය සංවාදවල යෙදෙන න්‍යායන් ගොඩ නගන තැනක ජීවත් වුණ කෙනෙක්ට මේ උඩු යටිකුරුව හොදින්ම දැනෙනවා. මෙහෙම පරිසරයක් ඇතුළෙ ජීවත් වෙද්දි දැනුම බුද්ධිය ප්‍රඥාව සහ පරිඥානය කියන වචනවල තේරුම් අත්‍යාවශ්‍යයෙන්ම සාක්ෂි ඇතුවම සන්නිවේදනය වෙන්න පටන් ගන්නවා.

නාගරීකරණය කියන්නෙ මනුෂ්‍ය අවශ්‍යතා වර්ධනය වීම. එතනින් එහාට මුදල් කේන්ද්‍ර කර ගෙන වැඩි වෙන අවශ්‍යතා පියවා ගැනීම. මනුෂ්‍ය අවශ්‍යතා ගොඩ නැගෙන්නෙම භෞතිකත්වයත් සමග. මිනිස්සුන්ගෙ ඇස් යොමු වෙලා තියෙන්නෙ බාහිරයට. කන් යොමු වෙලා තියෙන්නෙ බාහිරයට. දිව යොමු වෙන්නෙ බාහිරයට. නාසය පවතින්නෙ බාහිර කරුණු ආඝ්‍රාණයට. සම විසින් ස්පර්ශ කරනු ලබන්නෙ බාහිරය. මේ බාහිරය විසින් නිතරම පහසුවෙන් ග්‍රහණය කරගනු ලබන්නෙ භෞතිකත්වය. මේ ග්‍රහණය වීම් වර්ධනය වෙද්දි අවශ්‍යතා වර්ධනය වෙනවා. අපේ සිස්ටම් එකේදි දැනුම කියන කාරණය විසින් මනස පමණක් නොවෙයි පංචේන්දියන්ගේ තියුණු භාවයත් යටපත් කරන වග මට දැනුනෙ කුමන කැලය ඇතුළෙ ඇවිදිද්දි.

හැම මනුෂ්‍යයෙක්ම උපදින්නෙ තමන්ගෙ අභ්‍යන්තරයේ විශාල ආලෝකයක් රැගෙන. ඔහුගේ හෝ ඇයගේ සම්පූර්ණ භවයම ආලෝකවත් කරන්න ඒ රශ්මිය ප්‍රමාණවත්. බාහිරින් කරුණු ඇතුළට ඔබ්බන තරමට පුද්ගලයාට අභ්‍යන්තරය වැහී යාමේ ප්‍රවණතාව වැඩි වෙනවා. මේ ආලෝකය යටපත් වෙනවා. නාගරීකරණය ඇතුලෙදි මේ ආලෝකය ඉස්මතු කර ගන්න තියෙන අවස්ථා ප්‍රමාණය හීන වෙලා යනවා. ගැමියන් අහිංසකයි. ඒ වගේම භක්තිවන්තයි. තමන්ගෙ කුස පුරවන හේනට - කුඹුරට - කැලයට ගරු කරනවා. ගහක් කපන්න කලින් ගහට වදිනවා. කැලෑ බදින්න කලින් කොළ අත්තක් ගහක එල්ලලා දෙවියන්ට භාර වෙනවා. අවුරුද්දෙ හත්වෙනි මසෙ දි අංකෙළිය චාරිත්‍රය මගින් ගමම දෙවියන්ට භාර කරනවා. සුනාමියේදි මුහුද අයිනෙ තියෙන ගම්මාන සියල්ල විනාශ වෙද්දි මේ ගම්මානයට කිසිම හානියක් සිද්ධ වෙන්නෙ නැහැ. වනාන්තරයෙදි සත්තුන්ගෙගන් උපද්‍රව සිද්ධ වෙන්නෙ නැහැ. සත්වයන්ගෙ හැසිරීම් රටාව හදුන ගන්න සත්වයන් සහ වනාන්තරය සමග ගනුදෙනු කරන්න ඔවුන්ට විශේෂ සන්නිවේදනයන් තියෙනවා. මේ සියල්ල ඔවුන් ළගා කර ගන්නෙ භක්තිය සහ විශ්වාසය හරහා. ඔවුන්ගෙ ජීවිතවල පවතින්නෙ බාහිරින් ඇතුළට එන්නත් කරන අවශ්‍යතා නොවෙයි - තමන්ගෙ ස්වභාවික අවශ්‍යතා. මම ඇසුරු කළ නාගරික සමාජය විසින් ගැමියන්ගෙ මේ විශ්වාසයට භක්තියට උපහාසයෙන් සිනහ නගනවා. දෙවියන්ට භාර වීම ගැන ප්‍රශ්න කර කර මුදල් ගෙවලා ජීවිත රක්ෂණ හරහා රක්ෂණ ආයතනවලට භාර වෙනවා. ජීවිත රක්ෂණ මගින් ආරක්ෂා කරන කිසිම මිනිසෙක් නැහැ. ඒ ආයතනික ක්‍රියාවලියක් ඇතුළෙ පවතින්නෙ අනතුරක් සිද්ධ වුණාට පසු ක්‍රියාත්මක වීමක් පමණයි.

ආයතනික ක්‍රියාවලිය ගැන කියද්දි මතක් කළ යුතුම දෙයක් තියනවා. පොලිසියයි උසාවියයි තියෙන්නෙ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න කියලා අපි උලුප්පලා පෙන්නුවට නීතියක් නැතිව සාමය ආරක්ෂා කරපු ජන ඉතිහාසයක් අපිට තියෙනවා. ජීවිත පරිඥානය සහ ප්‍රඥාව විසින් ගොඩ නංවපු ඇදහිය නොහෙන තරම් වර්තමාන න්‍යායන් සහ භාවිතාවන් කණපිට පෙරලපු සමාජයක් ඒක. ඒ ගැන වෙනම වෙලාවක කතා කරමු.

පංචේන්ද්‍රියන්ට හැකියාව තියෙන්නෙ ත්‍රිමානය ග්‍රහණය කරන්න පමණයි. නමුත් මනුෂ්‍ය මනසකට කාලය සහ අවකාශය තරණය කරන්න හැකියාව තියෙනවා. මනුෂ්‍ය අවශ්‍යතා අනවශ්‍ය තරමට සංකීර්ණ නොවුණ සමාජයක ජීවත් වෙනවා කියන්නෙ පංචේන්ද්‍රියන්ට පමණක් නොවෙයි මනසටත් වර්ධනය වීම සදහා අවස්ථාවක් ලැබෙනවා කියන එක.

ගම්මානය ගැන කතා කරන්න පටන් ගත්තොත් අපිට රාත්‍රින් ගණනාවක් කතා කරන්න දේවල් තියෙනවා. දැන් ඉර බැහැලා. ගම්මානයේ ඉදලා ආව කරුවල ගල මුදුනට ළං වෙන්න ළගයි. මම ගලෙන් බහින්න ඕනි. දැනටමත් අලි වැට දාලා නම් ඒක අයින් කරලා එළියට යන්න වෙන්නෙ. අලින්ට ඇතුළට එන්න විතරක් නෙවෙයි මිනිස්සුන්ට එළියට යන්නත් මේ වැටවල් බාධාවක්.

Top