අප්පච්චි ගැන ලොකු මතකයක් තිබුණනම් තිබුණේ මට විතරයි. මොකද අප්පච්චි නැති වෙනකොට මල්ලිලා දෙන්නටත් ලොකු වයසක් නැහැ. චූටිට නම් එතකොට මාස අටක් විතර ඇති. ඉතින් අප්පච්චිගෙ මූනෙවත් මතකයක් නැතුව තමයි චූටි හැදුනේ. චූටි චූටිම කාලේ ඉඳලා ඉන්න පුරුදු වුනේ මාත් එක්ක. අම්මා ගෙදර මුදුන් ලීය වෙලා රස්සාවක් කරන නිසා. කවන්න පොවන්න නාවන්න ඒ හැම වගකීමක් ම තිබුණේ මට. ඒක මට ලැබුණු පැවරුමක් වුනත් මං ඒ දේවල් කරේ පැවරුමක් විදියට බාර අරගෙන නෙවෙයි. චූටිගෙන් ලැබෙන ඒ හුරතල් ආදරෙට ඒ දේවල් ඉබේටම කරන්න හිතෙන නිසා.
අපි නිදාගත්තෙත් එකට එක කාමරේක ඇඳන් දෙකක. එක ඇඳක අම්මයි මල්ලිලා දෙන්නයි අනිත් ඇඳේ මායි චූටියි. චූටි හුරතලේට ම හැදුනෙ හතර දෙනාගෙම ආදරේ චූටිට ලැබෙන නිසා වෙන්නැති. චූටි මාත් එක්ක ඇඳේ නිදාගන්නෙ අප්පච්චි ගැන මොනවා හරි මගෙන් අහන ගමන්. මාත් ඉතිම් මට අප්පච්චි ගැන තියෙන මතක හැමදේම වගේ චූටිට කියනවා. ඒවා අහගෙන ඉන්න ගමන්මයි චූටිට නින්ද යන්නෙ. මටත් මහ කාලයක් අප්පච්චි එක්ක ඉන්න බැරි වුනත් අප්පච්චි ගැන චූටිට කියනකොට කවදාවත් කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් අප්පච්චි ගැන කියන්න තිබුණා..
"අප්පච්චිගෙ මතක කියන්නෙ නිමක් නොවන කතාවක්"..
ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තේ චූටි ගෙට වුනාට පස්සෙයි. මං ඒ වෙනස් වීම දවසක බලාපොරොත්තුවෙන් හිටියත් ගොඩක් ඉක්මනින් ඒ වෙනස්වීම දරාගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ. ඒත් එහෙම වුනා. චූටි අඩු වයසින් ගෙට වුන නිසා. චූටි ගෙට වෙලා ගෙයි කාමරයක තනියම ඉන්නකොට නෙවෙයි මට චූටිගේ ඈත් වීම දරාගන්න බැරි වුනේ. චූටිව නාවලා පුළුවන් විදියට ඒ උත්සවය අරගෙන ඉවර වුනාට පස්සෙයි චූටිගෙ වෙනස්වීම දරාගන්න බැරිව ගියේ. වෙනදා මාත් එක්ක එක ඇඳේ නිදාගන්න චූටි අම්මා ලඟ නිදාගන්න ගියා. චූටි කැමැත්තකින් අම්මා ලඟ නිදාගන්න ගියේ නැහැ කියලා මට විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාස තහවුරු වුනේ සමහර දාට චූටි මහ රෑට මායි මල්ලිලා දෙන්නයි ඉන්න ඇඳට ඇවිල්ලා මං ලඟට තුරුල් වෙන්න ගත්තට පස්සෙයි.
චූටි හොරෙන් රෑට මං ලඟට ආවහවම මං ඇහැරිලා බලනවා අම්මා නිදිද කියලා. එතකොට අම්මා ඇහැරගෙන අපේ ඇඳ දිහා බලාගෙන ඉන්නවා පේනවා. අම්මා මුකුත්ම කිව්වෙ නෑ චූටිට මොකද අම්මා දන්නවා දවසේ වැඩි කාලයක් චූටි ඉන්නෙ මාත් එක්ක කියලා පුංචි කාලේ ඉඳලම. අම්මගෙන් දැනෙන අඩුවත් අප්පච්චිගෙන් දැනෙන අඩුවත් චූටි පුරවගන්න උත්සාහ කරන්නෙ මගෙන් කියලා අම්මටත් තේරුම් ගන්න පුළුවන් වෙලා තිබුණේ. අප්පච්චි නැති වුනාට පස්සෙ අම්මා වැඩට යන්න පටන් ගත්තහම මම තමයි අපි හතර දෙනාගේ රෙදි හේදුවේ. අම්මගෙ රෙදි හෝදන දවස් තිබුණත් ගොඩක් වෙලාවට අම්මා අම්මගෙ රෙදි හෝදනවා හවස වැඩ ඇරිලා නාන වෙලාවට.
චූටි ගෙට වුන දවස් වල අම්මා මට කිව්වා කෙල්ලගෙ යට ඇඳුම් මං හෝදන්නම් හවසට උබ හෝදන්න එපා කියලා. අම්මා එහෙම කිව්වෙ උදේ වැඩට යන වෙලාවක. මං හවස ඉස්කොලේ ඇරිලා ඇවිල්ලා මල්ලිලා දෙන්නගෙයි මගෙයි චූටිගෙ සුදු ගවුමයි හෝදන්න ගත්තා වෙනදා විදියට. එදත් වෙනදා වගේ මං රෙදි හෝදන වෙලාවට චූටි බංකුව අරගෙන ඇවිල්ලා රෙදි හෝදන තැනට වෙලා වාඩිගෙන මාත් එක්ක මොනවහරි කියව කියව ඉන්නවා. මං රෙදි හෝදන දිහා බලාගෙන හිටිය චූටි එදා ඇහුවා ‘’ලොකු ඔයා මගේ යට ඇඳුම් හෝදන්න ගත්තේ නැත්තේ අම්මා එපා කියපු නිසාද’’ කියලා. මගේ පපුව මොකක්ද වුනා වගේ දෙයක් දැනුනා. මට ඒකට "ඔව්" කියලා කියන්න බැරි වුනා. "කෝ මෙතන නැද්ද චූටි" කියලා මං රෙදි බේසම අවුස්සනවා වගේ හැසිරුණේ මට අමතක වෙලා කියලා චූටිට අඟවන්න. ඊට පස්සෙ මං ගෙට ගිහින් ආයෙත් අරගෙන ආවා පොඩි මල්ලිලාගෙ තව හෝදපු ඇඳුමක් එක්ක. චූටිගෙ යට ඇඳුම් විතරක් නෙවෙයි තව ඇඳුම් ගන්න අමතක වෙලා කියලා චූටිට අඟවන්න ඕන නිසා.
එදා ඒ සිද්ධිය මං හවස අම්මට කිව්වා චූටිට වෙනස්කම් දැනෙනවා අම්මේ කියලා. අම්මා එදා මට කිව්වා උබට පුලුවන්නම් විතරක් එහෙනම් කරපන් කියලා. එදැයින් පස්සෙ චූටිගේ ලේ ගෑවිලා තිබුණු යට කලිසමේ ඉඳලා හැම ඇඳුමක් ම මම හේදුවා. මටයි අම්මටයි දෙන්නටම ඕන වුනේ චූටිට චූටිම වෙනස්කමක් අපෙන් වෙනවා කියලා දැනෙන්නෙ නැති කරන්නයි. ඒ විදියට පුංචිම වෙනසක් දැනෙන්නෙ නැති වෙන්න අපි චූටිව පුංචිම කාලේ ඉඳලා බලාගත්තා. චූටි අපිටවත් අපි චූටිටවත් දුරයි කියලා නොදැනෙන්න. ඒත් කාලයක් ගිහින් චූටිට චූටිගෙ වැඩ තනියම කරන්න පුළුවන් වයස එනකොට චූටි දවසක් කිව්වා "ලොකු මං මගේ රෙදි හෝදන්නම්" කියලා. එදා මට දැනුනේ දැං චූටි ලොකුයි කියලා නෙවෙයි. එදා තමයි පළවෙනි වතාවට දැනුනේ දැං චූටි දුරයි කියලා...