පරිසර සැරිය ජීවන තක්සලාවකි: එන්න, අපි පරිසරයට ආදරය කර එය සුරකිමු (433)

post-title

ගලා යන මීදුම, ගහ කොළ, සතුන්, කඳුවැටි, ගංගා, මිටියාවත් අපේ සහෝදරයෝය -රතු ඉන්දියන් නායක සියටල්

පරිසර නිහඬතාවය

මා ඔබ ගැන දන්නා තරම

මට දක්වන ළෙංගතුකම ගැන

ඔබ මෙන්ම මම ද දනිමි

අපි සැමදා වෙන් නොවන

පෙම්වතුන් වෙමු

සබඳ

සවන් දෙනු මැන නිහඬතාවට

එය උල්පතකි සිතුවිලි මවන

බඹර මීමැසි ගුමු ගුමුව

තුරු අතු පතර හැංඟිලා

සියොතුන් නඟන කූජනය

මොහොතකට නිවී ගිය සඳ

නිසල වන අරණ සෙමෙන් සසලව

ඔබට කොඳුරා කියන පෙම් ගී

ඇසෙන්නේ ඒ ඇසිල්ලේමය

අව් රඹහ මැකී යන වෙලාවට

උණ පඳුරෙ හේඩාවෙ හෙවනැල්ල අල්ලන්න

සඳ දියර සිනාසී නළියමින්

නිසල නිල් දිය තලාවට කියන

රහස් ගැන දැනගන්න

සවන් ඇරගෙන ඉන්න

එය බවුන් වැඩීමකි

සිත කිළිටු බැමිවලින් මුදාලන

ජ.වි

ඔබ අවට පරිසරය ජීවයෙන් පිරි ක්‍ෂුද්‍ර ලෝකයකි. එය ගවේශනය කරන්න. සවන් දීම, දැකීමටත් කතාවටත් වඩා වැදගත් බව ඔබ සිතා තිබේ ද? සාමාන්‍ය ජීවිතයේ දී ද සවන් දීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු වැදගත් දෙයක්. අවශ්‍ය තැන නිසි පරිදි සවන් නොදීමෙන් අප බොහෝ පාඩු මෙන්ම කරදර හිරිහැර විඳින අවස්ථා ඇත. ස්වාභාවික පරිසර සංසිද්ධීන්වලට සවන් දීම අපේ ආරක්‍ෂාවට මෙන්ම රසාස්වාදනයටත් එක සේ වැදගත්ය. සිතේ ඇතිවන දුක් දොම්නස් අසහනය මගහරවා ගැනීමට නිසල පරිසරයක සිට ඊට සවන් දීම හොඳ ප්‍රතිකාරයකි. ඔබ අවට පරිසරය කොතරම් මිහිරි හඩ රටා මවන්නේ දැයි සෙවීමට කිසියම් උත්සාහයක් දරන්න. එය කාලය අපතේ හැරීමක් නොවේ. නිසංසල පරිසරයකට ගොස් වාඩිවෙන්න. ඉහිල්වෙන්න. ඔබ තුළ ඇති සියලු ප්‍රශ්න කරදරකාරී සිතුවිලි ඉවතලා නෙත් පියාගෙන ඈතින් ඇසෙන ශබ්දවලට සවන් දෙන්න. ඇස් ඇරගෙන කිසිම දෙයක් වෙත දෙනෙත් නාභිගත නොකර හිස් බැල්මකින් ද සවන් දීම කළ හැකිය. කුරුල්ලන්, සතුන්, ගහ කොළ, ජලය, සුළං, වායුව නගන විවිධ ශබ්දවල නාද රටා ගැන සිතන්න. මෑතින් නැගෙන රැහැය්යන් හා වෙනත් සතුන්, කොළ අතු නගන ශබ්ද වඩා සියුම් ලෙස ඇසේ. එක් එක් සතුන්ගේ හඬ කොතරම් වෙනස් දැයි සවන් දෙන්න. මෙසේ ඔබට තම සිරුරෙන් නැගෙන සියුම් ශබ්දවලට පවා සවන් දිය හැකිය. 

මෙවැනි අභ්‍යාසයකින් පරිසරය ගැන ඇති ඇල්ම වර්ධනය කිරීමට පහසුවේ. මිනිසා කෘත්‍රිම ලෙස නගන ශබ්ද සමඟ මෙම හඬවල් සංසන්දනය කළහොත් සංගීත ස්වර හැර අන් සියලු දේ අප සිත් පෙළන ඒවා බව අවබෝධ වේ. විවිධ පරිසර පද්ධතිවලට ආවේණික සතුන්, කෘමීන් නගන හඬ එකිකෙනට වෙනස් වන අතර අමිහිරි යයි සිතන ශබ්ද පවා අපූරු මිහිරියාවක් මැවීමට පාරිසරික වටාපිටාවට හැකියාව ඇත. හිරු බැස යන හැන්දෑවක නිල්වන් ගොයම් පැළ පත ඇති වෙල් යායක ඕඩයක් හෝ දිය කඩිත්තක් අසලට ගොස් වාඩිවෙන්න. වක්කඩවලින් වැටෙන ජලයේ හඬට මුසුව ඇසෙන හඬ අතර ගෙම්බන්ගේ සිහින් බක බකය, කක්කොටු ගුල් අතරින් විටින් විට එන “කොරෝව්” නාදය, පිළිහුඩුවෙකුගේ හඬ, පළගැටියන් රැහැය්යන්ගේ හඬට සවන් දෙන්න. කොපමණ විවිධත්වයක් ඒවා තුළ තිබේද? 

මෙවැනි ආනන්දජනක මොහොතක දී සංගීතය, චිත්‍ර කලාව, කවිය ආදී සෞන්දර්ය විෂයෙහි ඔබ උනන්දුනම් අපූරු නිර්මාණ එළි දැක්වීමට තෝතැන්නකි. ඔබට අවස්ථාව සහ ස්ථානයක් ඇත්නම් සතියකට වරක් දෙකක් විනාඩි කීපයක් ඒ සඳහා යෙදවීම මැනවි. මෙහිදී සිදුවන්නේ සිත සංවර වී සහන් සතුටු හැඟීම් පහළ වීමයි. එය සෞඛ්‍යයට ද යහපත්ය. සිත පීඩාවට පත් විට සහනයක් ලැබීමට මෙවැනි අභ්‍යාසයකින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා දේ. මීට වඩා වෙනස් නාද සංකලනයක් වැවක්, පොකුණක් අසල දී ලැබිය හැක. මෙවැනි සරල ක්‍රියාවක් සතුන් අධ්‍යයයනය, ජීව විද්‍යාව, පරිසර විද්‍යාව ගැඹුරින් හැදෑරීම දක්වා වර්ධනය කරගත හැකිවේ. තම ජීවිතය මෙන්ම පරිසරය ද සුන්දර දෙයක් කරගත් තැනැත්තාට අභියෝගවලට මුහුණ දීමටත්, වෙනස්වන තත්ත්වයන්ට අනුකූල ලෙස හැඩගැසීමටත් පහසුවේ. ඔහුට අන් අයට ක්‍රෝධ කිරීමට, ඊර්ෂ්‍යා කිරීමට හෝ අනුන් පෙළන සිත් පහළ වීමට ඇති අවකාශ අඩුය.  ගස් වැල්, සතා සිවුපාවා සහ පරිසරය ඔබේ ආරක්‍ෂකයාය. එහි විනාශයට ඔබත් දායකවන්නේ ද යන්න ගැඹුරින් සිතා බලන්න.

ස්වභාව සෞන්දර්යයට ආදරය කරන්නා මිනිස් වර්ගයාට ද ආදරය අනුකම්පාව දක්වයි. ඔහු මී මැස්සෙක් මෙන් මල නොතළා රොන් ගෙන ශාක ප්‍රජාව ද සංරක්‍ෂණය කරයි. සම්පත් පරිභෝජනය තේමාව කරගත් නවීන ලෝකයේ කනගාටුදායක ජීවන ප්‍රවණතාවය ගැන ඔබ සිතන්නේ කූමක් දැයි කිව නොහැකි නමුත් ඔබ ද යම් ප්‍රමාණයකට හෝ එම රැල්ලට හසුවී ඇති බවට සැකයක් නැත. ස්වාභාවික පරිසරය දිවි මඟ සුරකින දායාදයක් නොව නොතිත් ආශාවෙන් භරිත කෑදරයන්ගේ බොජුන් බඳුනක් බවට පත් කරගෙන ඇත්තේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ නොතිත් ආශාව නිසාය. සියවස් ගණනාවක් පුරා කරගෙන යන මේ සම්පත් කොල්ලය තව සියවස් කීපයකින් පෘතුවියේ අවසන් මිනිසාගේ මිනී පෙට්ටියට අවසාන ඇණය ගැසීමත් සමඟ නිමාවෙනු ඇත. 

අප ජීවත්කරවන ගස්වැල් සතා සීපාවා, ජලය, පස, ගංගා, කඳුවැටි අවසන් හුස්ම හෙළමින් සිටිති. මෙම පාප කර්මයට ඔබත් හවුල් වෙනවාද යන්න දැන්ම තීරණය කරන්න. හැකි අයුරින් මේ විනාශය වැළැක්වීමට කටයුතු කිරීම යෞවන ඔබගේ වගකීමකි. පරිසර විනාශය හා පරිසර දූෂණය මෙතරම් වේගයෙන් සිදුවීම ඉහත සඳහන් කළ හේතු මත පමණක් නොව කිසිදු අරමුණක් නොමැතිව ද සිදුවන දෙයකි. ස්වාභාවික පරිසරයට සංවේදී මිනිසුන් අතින් එය සිදු නොවේ. එසේ නම් අපේ සංවේදීතාව දියුණු කර ගැනීමට මේ පැත්ත ගැනත් බැලිය යුතුය. ස්වභාව ධර්මය නිර්මාණ කරන සියලු දේ වෙනස්වීමට මෙන්ම අවශ්‍ය විට එය නැවත පද්ධතියට අවශෝෂණය කරගැනීමට හැකි පරිදි ස්වාභාවික ජීර්ණයට පත් කිරීමට සමත්ය. එයින් ස්වභාවික පරිසරය පෝෂණයවේ. මෙම න්‍යාය ධර්මය බිඳ දමා නව නිෂ්පාදන කිරීමෙන් පොදුවේ පරිසරයටත් මිනිසාටත් අත්වෙන ඉරණම දැනටමත් බොහෝ දෙනා වටහාගෙන ඇත. පොලිතින්, ප්ලාස්ටික් මෙයට හොඳම නිදසුනකි. මේවා අනිසි ලෙස පරිහරණය කිරීම නිසා ඇතිවෙන ගැටලු කොපමණ ද? 

පරිසර සංරක්‍ෂණය හා ජනගහනය පාලනය මිහිතලයත්, මිනිසාත් බේරා ගැනිමට ඇති එකම මාර්ගය යයි. -ජාක් ඊවි කුස්ටෝ නම් සාගර පරිසර විද්‍යාඥයා පවසයි. අනාගත පරපුර මේ ගැන විශේෂ අවධානයෙන් සිටිය යුතුය. බොහෝ විට මුහුදු වෙරළ, දියඇලි, වනෝද්‍යාන පමණක් නොව සිද්ධස්ථාන වැනි සුන්දර ස්ථාන විනෝද චාරිකා සඳහා යොදා ගන්නා අය අතර යෞවන යෞවනියන් ප්‍රධානය. එහෙත් අවාසනාවකට මෙන් අද වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මත්පැන්, දුම්වැටි සහ බාල සංගීතයෙන් උද්දාමයට පත් වී විනෝද වීමේ අරමුණින් කරන සංචාරය. ඔවුහු සිය ආත්මය සහ සුන්දර පරිසරය ද විනාශ කරති. පොලිතින්, මත්පැත් බෝතල්, සෝබනයට පානය කරන පැණිබීම, සෝඩා බෝතල් ආදී අපද්‍රව්‍ය හිරිකිතයකින් තොරව දුටු තැන දමා යති. සංචාරය කිරීමේ අරමුණින් වාහනවල ගමන් ගන්නා බොහෝ අය මත්පැන් සහ බයිලා ආධාරයෙන් නැටීම හෝ අරුත් සුන් ප්‍රලාපයෙන් කාලය ගත කරනවා විනා තමා පසුකර යන ස්ථානය කෙබඳු දැයි බැලීමට නිකමටවත් රථයේ කවුඑවෙන් පිටත නොබලති. ඔබ මෙවැනි අවස්ථාවලට සහභාගී වී තිබෙන්නට හැකිය. ඊට වඩා ප්‍රයෝජනවත් ක්‍රමයකට විනෝද වීමටත් යමක් ඉගෙන ගැනීමටත් නොහැකිදැයි සිතා බලන්න. 

පොදුවේ රාජ්‍ය, සමාජ යන්ත්‍රය තුළ කඩා වැටී ඇති නීතිය සහ විනය ගැන සිතන විට මෙය යෞවනයින්ගේම වරදක් නොවන බව සැබෑය. එහෙත් මෙය නිවැරදි කළ යුත්තේ යෞවන ඔබ විසින්මය. ඉහත සඳහන් කළ පරිදි ස්වභාව සෞන්දර්යයට ආදරය කිරීමට ඉගෙන ගැනීමෙන් සුබවාදි ලෙස දායක වීමට ඔබට හැකිය. කඳුනැගීම, දියඇලි නැරඹීම වැනි විනෝදාංශවල ඔබ යෙදෙන්නේ ව්‍යාපාරිකයින්ගේ මත්පැන්, දුම්වැටි පැණිබීම සෝඩා, සබන්, බිස්කට්, වැනි දේ විකුණා ගැනීමට ආධාරයක් වශයෙන් නොවන බව ඔවුන්ට වටහා දිය හැක්කේ යෞවන ඔබටය. එසේ නොකළොත් ඔබ ඔවුන්ට හසුවීම නොවැළැක්විය හැකිය. සිතා බලන්න ඔබ සිටින්නේ කොතනැක ද?

පරිසර විනාශයට අදාල දෘශ්‍යමාන ප්‍රධාන හේතුව වන්නේ සම්පත් සඳහා කෙරෙන අරගලයයි. ඔබත් ඊට දායක වනවාදැයි සිතා බලන්න.

ඔබේ සිත නිදහස් කිරීමට කැමති නම් අහසත්, පොළවත්, මුහුදත් එකවර නැරඹිය හැකි තැනක තුරු සෙවණක් යටට යන්න.

Top