මතක මිහිර:දැන් පාලකයොත් කරන්නෙ බට්ටො පනින සෙල්ලම (421)

post-title

අපේ ගෙදර තිබුණු ළිඳේ වතුර අපි පාවිච්චි කරේ නාන්න රෙදි හෝදන්න වගේ ගෙදර වැඩ වලට විතරයි. අපි බොන්නයි උයන්නයි වතුර ගෙනාවේ අපේ ගෙදරට ගෙවල් දෙකක් එහායින් තියෙන ගෙදරක ළිඳකින්. අපේ ගෙදර ඉඳලා පුංචි කන්දක් එක්ක තියෙන අඩි පාරක තමයි අපි ඒ ළිඳට යන්න එන්න පුරුදු වෙලා තිබුණේ.

අම්මා අප්පච්චිට වඩා මමයි අක්කයි තමයි ඔය ළිඳට වතුර ගේන්න යන්නෙ එන්නෙ. ඒ වතුර අරගෙන එන්න තියෙන උවමනාවට වඩා උවමනාවක් අපි දෙන්නට තිබුණා ඒ ගෙදරට යන්න. අපි දෙන්නට ඒ ගෙදරට යන්න තිබුණු ලේසිම ක්‍රමය තමයි බොන්න වතුර ගෙදරට අරගෙන එන එක.

අපි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා දෙක දෙකහමාර වෙද්දි කොහොම හරි අර කියපු ළිඳට වතුර ගේන්න යනවා. එච්චර වේලාසන වතුර ගේන්න යන එකට විරුද්ධත්වයක් ගෙදරින් තිබුණේ නැත්තේ අපි විතරක් නෙවෙයි තව ගමේ අයත් ඒ ළිඳට වතුර අරගෙන යන්න එන නිසා කොයි වෙලෙත් ළිඳ ළඟ සෙනඟ ගැවසෙන බව අම්මලත් දන්න කාරණවක් නිසයි.

අපි දෙන්නා මුලින්ම කරන්නේ ළිඳ ළඟට ගිහින් අපි ගෙනාපු මැටි කලේටයි ගැලුම් දෙකටයි වතුර පුරවලා පැත්තකින් තියන එක. මොකද අම්මා ගෙදර වරෙන් කියලා ලතෝනි දෙන්න පටන් ගත්ත ගමන් වතුර බාජන අරගෙන අපිට යන්න පුලුවන් නිසයි අපි මුලින් වතුර පුරවලා තියෙන්නෙ.

ඊට පස්සේ තමයි අපි අපේ ඊළඟ උවමනාවට යන්නේ. ඒ ගෙදර හිටියෙත් අපේ වයසේ ළමයි දෙන්නෙක් අපි හැමදාම වතුර ගේන්න එන මාර්ගයෙන් බට්ටෝ පනින සෙල්ලම කරන එක තමයි කරේ. ඒකට තව කිහිප දෙනෙක් එකතු වෙලා හිටියා.

ඒක අමුතු ක්‍රිඩාවක්. අපි බට්ටො පනින්න ඕන බට්ටව හදාගත්තේ කැඩිච්ච සිංහල උළු කැට වලින්. ඒවා පැතලියට තිබුණු නිසා කොටු ඇතුලේ ලේසියෙන් එහාට මෙහාට යන්න ලේසි වුනා.

අපේ සෙල්ලම නතර වෙන්නේ අම්මා ගෙදර ඉඳලා ලතෝනි දෙන්න පටන් ගත්තහමයි. ඒත් සමහර දවස් තිබුණා හයත් පහු වෙලා ගෙදර ආපු නැති වෙලාවට අම්මා හරි අප්පච්චි හරි ඇවිල්ලා මටයි අක්කටයි ගගහා ගෙදර ඇදගෙන ගිය.

අපි බට්ටො පනින්න හදාගන්න බට්ටා අපිම මුලදි ලස්සනට හදාගෙන පස්සේ කකුලෙන් පාගන්න පටන් ගන්නවා. ඔව් ඒක හරියට ඡන්දයක් ළං වෙද්දි අපිට දෙන ලස්සන බලාපොරොත්තු, ඡන්දෙන් පස්සේ අපිව පාගන දේශපාලනය වගේ. 

මට දැං වෙලාවකට හිතෙනවා අපිත් දැං ඉස්සර අපි කකුලෙන් එහා මෙහා අරගෙන ගිය බට්ටෙක් වෙලාද කියලා . දැං පාලකයෝ වුනත් කරන්නේ බට්ටො පනින එක තමයි. හැබැයි අපි පොඩි කාලේ සෙල්ලමට පැන්න කැඩිච්ච සිංහල උළු කැටයකින් හදාගෙන පැන්න බට්ටො නෙවෙයි පාලකයෝ පනින්නේ. එයාලා ඒ පනින බට්ටා විඳියට පාවිච්චි කරන්නේ සිංහල දෙමළ මුස්ලිම් කියන ජිවිත බට්ටා විඳියට සෙල්ලමට අරගෙන.

Top