පරිසරය පිළිබඳ මහත් සෙනෙහසක් දැක්වූ සුප්‍රසිද්ධ විලියම් වර්ඩ්ස්වත් කවියා පරිසර චමත්කාරය ගැන ලියූ බොහෝ නිර්මාණ ජීවිතයත්, මිනිස් හැසිරීම් ගැනත් කළ සංවේදී නිර්මාණ වේ. ඔහුගේ ජීවිතයේ මුහුණ දුන් ශෝකී ඛේදාන්ත පරිසර චමත්කාරය සංවේදී ලෙස විඳීම තුළින් සමහන් කර ගත් බව සඳහන් වේ. යට සඳහන් කවි පෙළ පරිසරයේ නොඉඳුල් පවිත්‍රතාවය හා චමත්කාරය මිනිසාගේ නොදැමුණු අව්‍යක්ත ක්‍රියාකාරකම්වල දුෂ්ඨ අඳුරු ස්වභාවය වඩා තියුණු ලෙස දක්වයි.
යොවුන් වසන්තයේ ලියූ කවි
සුවහසක් කැලතුණු මියුරු හඬ මට ඇසේ
වන පියසක සෙවන විඳිනා මොහොතේ
එවිට දැනෙණ සුන්දර සිතිවිලි චමත්කාරය
එහෙත් මගේ මනසට උනයි සෝ දුක් බිඳක්
සිය පිරිවරට ඇය පිරිනමයි සොඳුරුතම දේ
මගේම ආත්මය මට සෙමෙන් කොඳුරන විට
තවත් මා සිත සොවින් නිහඬව අසන්නේ
මිනිසාගෙන් මිනිසාට දෙන්නේ මොනවාද යන්නයි
අනේක පැහැයෙන් මල් පිපෙන රුක් ගොමුව
ලතා මණ්ඩප හා එක්ව මල් දම් ගොතයි
ඒ හැම කුසුමක්ම තමා ගන්නා සුසුම් පොදට
පණ මෙන් ආදරය කරන බව මට සිතේ
මා වටා ගී ගයන, පියාඹන සියොතුන්ගෙ
හිතේ මොනවා තිබේ දැයි කිව නොහැක
නමුත් උන් සැලෙන ඉගිළෙන මොහොතේ
සතුට උතුරා ගලන ගඟුලකි ප්‍රමෝදය පිරි
දලු රිකිලි ලියලමින් දෑත් විහිදා සරයි
උරන්නට මඳ නලේ ඉමිහිරි සුවඳ සොච්චමක්
එතන නළියන සතුට හිත පුරා විඳගන්ට
හදවතට ඇදගනිමි දිග සුසුම් වැල් නිබඳ
මේ පැතුම් පා කළේ දෙව් ලොවින් නම් මෙමට
එය සොබාදම් මවගේ උතුම් දායාදයකි
මට සොවින් තැවෙන්නට නොමැත කරුණක් තවත්
මිනිසාට තවත් මිනිසෙක් කුමක් දේද යන
සන්තාපයේ විසඳුමක් නැති පැනය හැර
විශේෂයෙන් විලියම් වර්ඩ්ස්වත් කවියා මුල් අවධියේදී සත්‍ය වශයෙන්ම විප්ලවවාදී කවියෙකි. අමෙරිකානු හා ප්‍රංශ විප්ලව සඳහා කිසියම් බලපෑමක් ඔහුගේ රචනාවලින් සිදුවූ අතර එකල ලොව පුරා පැතිර ගිය ප්‍රජාතන්ත්‍රවාදී චින්තනය වර්ධනයට ද වර්ඩ්ස්වත් කවියා ගෙන් බලපෑමක් සිදුවූ බව විද්වතුන්ගේ මතයයි.
පසු ගිය කොටසින් - (දිය පහර ගලන්නේ පහත්ම තැනින් කියල කතාවක් තියෙනවා නේ? කුඩා දිය වැල්වලට හසුවෙන පුංචි ගල් කැටවලට දිය පහරේ වේගය දරාගන්ට බැරි නම් ඒවා ජලයත් එක්ක එකතුවෙල පහළට පෙරළිල එනවා. දිය පහරේ විශාලත්වය, වේගය අනුව ලොකු ගල්කැටත් පෙරළෙන එක ස්වාභාවිකයි. අධික වර්ෂාව ඇති විට සැඩපහර ලොකු කුඩා ගල් පෙරළාගෙන එන්නේ වේගයෙන්”
ගඟ මූදට යාම වේලි බැඳීමෙන් වැළැක්විය නොහැක. එයින් සිදුවන්නේ එහි ගමන් මඟ වෙනස් කිරීම පමණි.)
“මට දැන් මැවිල පෙනෙනවා. ගල් ගෙඩි එකිනෙක වැදෙමින් පෙරළෙන හැටි” ඇය සිනාසුණා.
“ඔවු. වතුර ගලන්නේ බොහොම දුෂ්කර කම්කටොලු විඳගෙන. කඳුවලින්, ගල් කුළු කඳුරුවලින් වැටි වැටී නැමී පෙරළෙමින් තමයි නිසංසල තැනිතලාවලට එන්නේ. උඩ සිට පෙරළෙන ගල් කැටත් ඒ ඉරණමට ගොදුරු වෙනවා. සමහර ගල් කැටවලට විවේක ගන්ට සුදුසු ආරක්‍ෂිත ස්ථාන හමුවුණොත් ටිකකලක් රැඳී ඉන්නවා. ඒත් තවත් දවසක ඒවාට පෙරළෙන්ට සිදුවෙනවා. මේ එන ගමනේදී ගලින් ගලට හැපී ඒවා අපූරු සිනිඳු බවක් හැඩයක් ගන්නවා. ඒවා හරිම සිනිඳුයි. පිරිසදුයි”
“ඒක නේ පෙරළෙන ගලේ පාසි නොබැඳේ කියන්නේ”
“ඔව්.... ඒවා හරිම ක්‍රියාත්මකයි. අභියෝගවලට මුහුණ දෙනවා.”
“ජීවිතෙත් හරියට ඒ වගේ නේද? ජීවන ගමනත් හැල හැප්පීම් වලින් ගහනය. අභියෝග එමටය. ඒවාට මුහුණ දුන්ණොත් තමයි ක්‍රියාශීලී ඔපවත් ජීවිතයක් ගොඩනඟාගන්ට පුළුවන්. අභියෝගවලින් පැනල ගියොත් රළු කර්කශ ගලක් වගේ ඔහේ පැත්තකට වෙලා ඉන්ට වෙනවා නේද?”
“හරියට හරි... ඔයා අපූරුවට තේරුම් ගත්තා. අපි මේ සිනිඳු ගල් ඇතිරිල්ලේ ඇවිදිමු.” අපි ජලතලාව මත ඇවිදිමින් සිනිඳු ගල් කැට කීපයක් ඇහිඳගත්තෙමු.
“ඌම්... යටි පතුල් කිති කැවෙනවා.”
ගල් ඇතිරිල්ලට ඔබ්බෙන් වූ ගං තීරුව යළිත් ලොකු ගල් කුළුවලින් වැසීගත් පෙදෙසකි. ගලින් ගලට සීරුවෙන් පැන ගිය අපේ අදහස වූයේ පහසුවෙන් ගඟ තරණය කිරීමට හැකි මඟක් ලැබේවි කියා. ඒත් බලාපොරොත්තු හැම විටම ඉටු නොවීමේ සිද්ධාන්තය අනුව අප හමුවේ දිස් වූයේ ගඟේ මුලු ජලධාරාවෙන් වැඩි කොටසක් ගලා යන සැඩ පහරකි. එය තරණය කිරීමට ඔරුවකින් වුව ද අපහසුය.
“ජීවන ගමනේ හමුවන බාධක ජයගන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට ගලා යන මේ දිය
පහර දෙස අවධානයෙන් බලා සිටිමු.”
“ආනේ... මෙතනින් එගොඩ වෙන්නේ කොහොමද?” නිලූගේ මුවින් නිරායාසයෙන් පිටවිය. අප බලාපොරොත්තු වූ දෙය ඉටු නොවීම තුළින් සැලකිය යුත්තේ අපේ පූර්ව නිගමන යුක්ති සහගත නොවන බවයි. තත්ත්වය තර්කානුකූලව විග්‍රහ කිරීමට අපට නොහැකිවූ බව පිළිගත යුතුය. ගඟේ ගොඩ තීරය දක්වාම එකිනෙකට යාවූ ගල් කුළුවලින් යුක්ත බැවින් පහසුවෙන් අපට එතෙර විය හැකිය යන්න අපගේ නිගමනය වූ අතර මෙතරම් විශාල ජල කඳක් එවැනි පිහිටීමක දී ගලා යන්නේ කෙසේදැයි නිශ්චය කිරීමට අමතක විය. මෙම දුර්වලතාව නිසා දැන් අප මුහුණ දී සිටින්නේ අනපේක්‍ෂිත ගැටලුවකට.
“අපි මේ ගැන මුලින් කල්පනා කළේ නෑ. මෙපමණ ජල කඳක් මේ ගල් කුළු අතරින් රිංගා යාමට හැකියාවක් තිබේ දැයි මොහොතකටවත් අපට හිතුණේ නෑ. මෙතන ජලයේ වේගයත් බොහොම වැඩියි. විශාල ජල ධාරාවක් පටු ඉඩකින් ගලා යාමට පොර බදන නිසා ජල පහර බිහිසුණුයි.”
“දැන් අපි මොකද කරන්නේ?”
“වෙනත් සුදුසු තැනක් තියෙනවා ද කියල බලමු. අපි තව ටිකක් ගඟ ඉහළට යමු. සොයන්නාට සම්භ වේ කියල කතාවක් තියෙනවා නේ. මේ ගල් වැටි දිගේ ඉහළට යමු සුදුසු තැනක් හමුවෙන තුරු”
“මට නම් දැන් ඇතිවෙලා...” නිලූ බලාපොරොත්තු රහිත හඬකින් කීවාය.
“අපෝ... ඒක කෙනෙකු තුළ කිසි විටකත් නොතිබිය යුතු දෙයක්. නොකළ හැකි දෙයක් නෑ. ජීවිතයට අවශ්‍ය නොපසුබට උත්සාහය. ඒ නිසා අලුත් බලාපොරොත්තු ඇතිකරගෙන කටයුතු කරමු. මේ වෙලාවේ වඩා වැදගත්වන්නේ මාත් ධෛර්යවත් කරමින් ඉදිරියට යාම.”
“ඉතින් යමු” ඉන්පසු වැඩි කතා බහක් නැතිව ගඟ දිගේ ඉහළට ගමන් කෙළෙමු. එය දැඩි දුෂ්කර ගමනක් වූ නමුදු නිලූ ද නව උනන්දුවකින් ගමන් කළාය. ඇතැම් තැනක ඇය ගිමන් හැරීමට නතර වූ විට ඇය දිරිමත් කිරීමට කිසියම් දෙයක් කීමට හෝ කිරීමට නොවූ තැන සුළඟෙ සිහින් කෙඳිරියට, කුරුල්ලෙකු ඉගිලී යන හඬට නැතිනම් ගඟ දිය බැස යන හඬට සවන් දී සිටියෙමු. ඇතැම් විටක ගඟේ හෝ හඬ යටපත් කරමින් ඉහළ අහසේ පියාඹන උකුස්සෙකුගේ තියුණු කී...... කීක්... නාදය ඇසිණ. එතෙර ගං තීරයේ වැලිතලාවක් අසලට සෙමෙන් ඇදුණ මුව රංචුවක් දිය බොමින් ඔබ මොබ බලන අයුරු පළමුවෙන් දුටුවේ නිලූය.
“අර බලන්න.” ඈ ප්‍රීතියෙන් කෑගැසුවාය.“බලන්න ඒ අයට හොඳටම පිපාසය හැදිල. අපි කොහොමහරි ඒ පැත්තට යමු. තව ගොඩාක් ලස්සන සත්තු ඇති ඒ පැත්තේ.”
“නපුරු සත්තු එහෙමත් ඉන්ට පුළුවන්...”
“ඒ වුණාට අපි ඒ අයට හිරිහැර කරන්නේ නැත්නම් කරදරයක් නෑ”
“ඔව් ඒක ඇත්ත. නමුත් හදිසි අනතුරක් වෙන්ට පුළුවන්. සත්තු අපට හිරිහැර කරන්නේ උන් අපෙන් අනතුරක් වෙයි කියන බයට. අපේ ආදරය විශ්වාසවන්ත ක්‍රමයකට උන්ට දක්වන්ට හැකිනම් කරදරයක් වෙන එකක් නෑ කියල විශ්වාසයක් මට තියෙනවා.”
“ඒක එච්චර ලේසි වැඩක් නොවේ.”
“ඔව් බොහොම සීරුවෙන් කළ යුතු වැඩක්. නපුරු යයි කියන සත්තු එක්ක මිත්‍රවෙලා ජීවත් වූ අය ගැන තොරතුරු තියෙනවා.”
“අර සිංහ ධේනුවක් එක්ක අපූරු මිතු දමක් ඇතිකරගත්ත ජෝ ඇන්ඩර්සන්ගෙ පොත් කියවල නැද්ද?”
“මොකද නැත්තෙ? ආදරය හා විශ්වාසය පිළිගත හැකි අවස්ථාවක අවංක ලෙස පුදකරන්ට හැකි නම්. හැබැයි ඒක අවංක සානුකම්පිත වගේම නිර්භීත උත්සාහයක් වෙන්ට ඕනෑ.”
“හොඳයි අපි කොහොම හරි එගොඩට ගියොත් අප ළඟත් ඒ ගුණාංඟ තියෙනව ද කියා බලන්ට පුළුවන්.”
“හූම්.........”
ගල් කුළු මතින් සීරුවෙන් අඩිය තබමින් ඉහත්තාවට යාම ඉතා සෙමෙන් සිදු විය. විටෙක එය සිත කලකිරවන තරම් දුෂ්කර වුව ද නොපසුබට වීම අපේ අධිෂ්ඨානය විය. කෙමෙන් ගල් කුළු තට්ටුව තුනී වී යමින් පුළුල් දිය තලාවක් මතු වීම අපේ සිත් සසල කරවන්නක් විය. එතෙරට යාමේ බලාපොරොත්තුව අප වෙතින් ඈත්වන සෙයක් දැනේ.
“මං හිතන්නේ අපේ සැලැසුම් වෙනස් කරන්ට වෙයි වගේ. ගල් වෙනුවට දැන් තියෙන්නේ එකම ජල තලාවක්. ජලයේ වේගය සංසිඳිලා බොහොම තැන්පත් වෙලා. නිශ්චල වෙලා. ඒක එතරම් හොඳ නෑ. බලන්න.... සැඩ පහරට වැඩි ගුප්ත භයානක ගතියක් මේ නිසල ජලයේ තියෙනවා නේද?“
“ඔව්.... සතුරා කොටුකර ගැනීමට මාන බලන කෙනෙක් වගේ.”
“දැන් අපි මොකද කරන්නේ?”
“වෙනත් විකල්පයක් ගැන සිතා බලමු.”
“ඔව්... වෙලාව කීයද? හැම දෙයකටම පෙර කාලය ගැන හිතන්ට ඕනෑ. කාලය හරියට කළමනාකරණය නොකළොත් අපි අමාරුවේ වැටෙන එක නියතයි. අපට තවම වෙලාව ඇති තරම් තියෙනවා. අපි ඉන්නේ අරුණ ඇරඹී පැය කීපයක් ගතවූ නැවුම් උදෑසනක.”
“මේ තමයි දවසේ යෞවනය. දිදුලන හිරුරැස් තවමත් සුවදායකයි. සුළඟ, වාතය, ගහ කොළ වට පිටාව නැවුම්. ප්‍රමාද නොවීම තමයි වඩා හොඳ.”
ඈත අහසේ නිල්වන් පසුතලය මත සුදුවන් සිහින් වලා මල් පිපෙමින් තිබුණා. ඒවා ටිකෙන් ටික මෝදුවෙමින් ඉහළට ඇදෙනවා. වැහිබර ගතියක සේයාවක් වත් පෙනෙන්ට නෑ. නිලූගෙ සමුදු කෙස් කලඹ නටවමින් සිහින් නල රැල්ලක් හමා ගියේ ඇගේ සුවඳ මා වෙත ද තවරමින්. ගඟේ දිය සීතලෙන් මෙන් නළියා මඳ සිනා පෑ කළ මාල ගිරවුන් රෑනක් කිචි බිචි ගාමින් අපට ඔච්චම් කරමින් ගඟ හරහා එතෙරට පාවෙමින් පියාඹා ගියා. ඔවුන් ඔච්චම් කළේ අපට බව නිලූ මටත් පෙර තේරුම් ගත්තා. ඃ
“ගිරවුන් අපට විහිඑ කරනවා. ඒ අයට වගේ අපටත් පියාපත් තිබුණානම් අපිත් රූංගාල යනවා.” ඇය සිනාසුණේ කිසියම් සන්තාපයක් සිත යට සඟවාගෙන මෙන්.
“තවම දවසේ උදෑසන යාමය. කලබල වෙන්ට කාරි නෑ. ගඟ තරණය කරන්ට ඉටා ගනිමු. දැන් අපි ගඟ පහළට ගිහින් බලමු එතෙර වෙන්ට හැකි තැනැක් තියෙනවාද කියා. බැරි වුණොත් පහුරක් හදාගෙන හරි වැඩේ කරන්ට ඕනෑ. හැබැයි තනියෙන් නොවේ. ඔයාගෙ සහයෝගයත් ඕනෑ.”
“ඔව් අපි උත්සාහ කරමු. උදේ කාලයේ අපට මේක කරගන්ට බැරි වුණොත් හවස නම් අඩමානයි. මෙන්න මගේ සහයෝගය. ගඟ තරණය කරනවා වගේ ජීවිතයත් තරණය කරමු.” ඇය මගේ අත තදින් අල්ලා ගනිමින් කීවාය.
අපි මුළින් සිටි තැන පසුකර ටික දුරක් යන විට අපි හිතුවාටත් වඩා පහසුවෙන් ගංගාව තරණය කිරීමට හැකි තැනක් ලැබීම ගැන නිලූට හරිම පුදුමයි.
“අපි මෙච්චර මහන්සිවුණේ අපරාදේ. කලියෙන්ම මෙතනට ආවා නං හරි නේ”
“අන්න වැරදි කතාවක් කීවා. අපි මෙතන හොයාගත්තේ විවිධාකාර විකල්ප අනුව පරීක්ෂා කරල බව අමතක වුණාද? එසේ නොකරන්ට කවදාවත් අපිට මෙතනට එන්ට ලැබෙන්නෙ නෑ. පරිසරය හරිහැටි තේරුම් ගන්ට පරිසරයත් එක්ක සහභාගිත්වයක් ඇතිකර ගන්ට ඕනෑ. ගංගාව, කුරුල්ලන්, ගස්, ලිය ගොමු, උදෑසන හා සන්ධ්‍ය කාලයේ වෙනස්වෙන විවිධාකාර එළිය එක්ක ඔබ සහභාගිත්ව සංසරණයක් ඇති කර ගන්ට ඕනෑ. එතකොට අපිත් ඒ පරිසර පද්ධතියේම කොටසක් වෙනවා. මෙතන සිද්ධවුණේ ඒ දෙය.”
“හරි....දැන් මට පැහැදිළි වුණා. මට හරි මහන්සියි. අපි අර රුක් ගොමුව යට ගල් තලාවේ වාඩිවෙල ටිකක් ගිමන් හරිමු නේද?” කියමින් ඇය ගල් තලාව ගාවට ගියාය.
ගංගාව නිසළව සෙමින් ගලා බසින්නේ කඳු, හෙල් බෑවුම් පසුකර දිගු මඟක් ගෙවා පැමිණි දුෂ්කර ගමනේ විඩාව නිවාගන්නට මෙනි. ඈත ගස් ගොම්මනට යාව මෙපිට ඇති තණ පිටියේ කෙළි සෙල්ලම් කරන මුව රංචුවත්, මෑත කම්මැළි සේයාවෙන් ගාටන කිරි ඉබ්බන් යුවල දෙසත් ඇස් සංසරණය කරමින් බලා සිටින නිලූගේ දෑස් සතුටින් ඉපිල්ලේ. සහභාගිත්වය හරියටම සංසර්ග ක්‍රියාවල්‍රියකට සමානය. එවිට ඔබ ඊයේ හෝ මීට මොහොතකට පෙර සිදුවූ අතීත මතකයන්ගෙන් සහමුලින්ම ඉවත්වන නිසා ඔබ දකින, අසන, ඔබට හැඟෙන සියලූ දේ දැනෙන්නේ අලූත්ම නැවුම් සංවේදනයක් සේය.
දැහැනකට සමවැදුණාක් මෙන් සිටි නිලූ මුව රංචුවෙන් දෑස් ඉවතට ගත්තේ මිහිරි කිචි බිචියක් නගමින් පියාසර කළ කුරුලු රෑනක් දෙස බැලීමටය. නිල් හා රතු පැහැති උන් ගඟ අසබඩ ඇති විසල් තුරු හිස මත ලැගුම් ගත්තේ පාවෙන පුංචි සරුංගල් රෑනක් මෙනි. නිලූ මා දෙස බැලුවේ අපූරු හිනාවක් මුව තවරාගෙනය.
“එයාලාගෙ කූඩු තියෙන්නේ ඒ ගහේ වෙන්ට ඇති. බලන්න ඒ ගහ. හරි ලස්සන හැඩේකට අතු ඉති තියෙන්නේ. හරියට ලලිත රේකා හරඹයක් කරල චිත්‍ර ශිල්පියෙක් ඇඳපු සිතුවමක් වගේ.”
“ඇත්ත තමයි. ස්වභාව ධර්මය තරම් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මිනිසුන් අතර නෑ. ගහත් එක්ක යම් තරමක සහභාගී සංහිඳියාවක් ඇති කරගත් නිසා තමයි ඔබට ගහේ සුවිශේෂි සුන්දරත්වයක් ඇති බවක් දැනුණේ. සියලු ආත්මාර්ථකාමී අපේක්ෂාවලින් තොරව ඔබ යමක් දෙස බැලුවොත් තමයි එහි සුවිශේෂී බව දැකිය හැක්කේ. අපූරු ගහ පසුබිමේ සෙමින් ගලා යන ගංගාවත්, දෙපස තුරු ලිය ගොමු සහිත සිහින් රුක් ගොමුවත් අනේක වර්ණ කොළ දළු, මල්වලින් සැරසිලා ඇත.
“අපි තව ටිකක් පහළට යමු” නිලූ එක්ක මම ද එක්වීමි. වියළි පත් හා පරවුණු මල් අතුල පාවඩයක් මත පා ගැටෙන විට සිහින් කිතියක් දැනේ. ගංගාව අසබඩ වන ලැහැබ්වල නිවැසි කිතලන්, කොරවක්කන්, වැනි පක්ෂීන් ද දිය බල්ලන්, ඉබ්බන් වැනි සතුන් ද අපේ පා හඬින් බියපත්ව තුරු වදුළු අස්සේ සැඟවෙන්නේ ආගන්තුක අප ගැන නොදන්නා නිසාත් විශ්වාසයක් නැති නිසාත්ය. අප උන්ට ආදරය කරන බව වටහාගත් දිනෙක උන් අප දැක පළා යන්නේ නැත.
මඳ දුරක් ඇවිද යන විට අපට කුරුළු ජනපදයක් මුණ ගැසුණි. එය දුටු නිලූ “අනේ අර බලන්න” යි කියා හිටිවනම නැවතුණාය.
“ආ...වඩු කුරුළු කූඩු. එයාලා සාමූහිකව ජීවත් වෙන්ට කැමැතියි. ඒකයි එකම තැනක කූඩු හදන්නේ. එහෙම කරන්ට තව හේතු තියෙන්ට පුළුවන්. සමහර විට ආරක්ෂාව වැනි දේවල්. හැබැයි ඒ ගැන කුරුළු විද්වතුන්ගේ මතය ගැන මට වැටහීමක් නෑ. කිසියම් ආපදා තත්ත්වයකදී ඒ අය හැසිරෙන හැටි නිරීක්ෂණය කළොත් කාරණා දැනගන්ට හැකිවෙයි.”
“ එයාලා අර විදිහට දිග කූඩු හදන්නේ ඇයි? මං හිතන්නේ ආරක්ෂාවට වෙන්ට ඇති. ”
“ඔවු. පැටවුන් ඉන්න කොටස තමයි උඩින් ලොකුවට තියෙන්නේ. එතනට යන මාර්ගය තමයි පහළට එල්ලෙන බටය වගේ කොටස. හරි...මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්ටද?”
“අහන්න. දන්න දෙයකට නම් පිළිතුරු දෙන්නම්.”
“හොඳයි..... කූඩු දැකපු ඇසිල්ලෙම ඔබට මොනවද හිතුණේ?”
“මට හිතුණේ ‘ අනේ කොච්චර ලස්සනද? අපේ වත්තෙත් මේ වගේ කූඩු තියෙන ගහක් තිබුණානම් කොච්චර හොඳද කියල.”
“මට හරිම සන්තෝසයි. ඔයා පරිසරයට ආදරය කරන කෙනෙක්! එහෙම නොවන ආත්මාර්ථකාමී කෙනෙක් නම් හිතන්නේ ගෙදර එල්ලා ගන්ට කූඩුවක් කඩා ගන්නේ කොහොමද කියල. මම දැකල තියෙනවා සමහර ගෙවල්වල ඔය කූඩුවක් විසිත්ත කාමරේ එල්ලාගෙන ඉන්නවා. අහපුවහම කියන්නේ ‘කුරුල්ලෝ හැර ගිය කූඩුවක් ගෙනත් ලස්සනට එල්ලා ගත්තා’ කියල. ඒක හරිම වැරදි මතයක්. පැටවු ලොකු වුණාම කූඩුව හැර ගියත් උන් ජීවත් වෙන්නේ ඒ ගහේමයි. ඊළඟ වාරයේ බිත්තර දානකොටත් එයාලා තමන්ගෙ කූඩුව අළුත්වැඩියා කරගෙන පාවිච්චි කරනවා.”
“ඒක තමයි. දැක්කද අර සමහරු තවමත් කූඩු හදනවා. අර.. සැරින් සැරේ කෙඳි අරගෙන එන හැටි. කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නෙ නෑ.”
“ඒ වුණාට අපිට ආපිට යන්ටත් තියෙන නිසා තව ටිකක් පහළට ගිහින් බලමු.”
කාලයකින් මිනිස් පහසක් නොලැබූ බවට ඉඟි පාන නැවුම් පරිසරය කුරුළු ගී සහ සතුන්නේ හඬක් නොමැති නම් සිත බය ගන්වන නිහඬතාවයක හැඟුම්වලින් අප දුර්මුඛ වෙනු නොඅනුමාය. ගංගාව අසබඩ නිම්නය බට පඳුරුවලින් ගැවසීගත් නිසා ගංගාවේ සෙමෙන් බැසයන ජල තලාව දිස්වන්නේ කඩින් කඩය. ගඟට නැමුණු මහ වනස්පතියක් ගංගාව සිප ගැනීමට මෙන් දිය තලාවට නැඹුරුව සිටින්නේ ජලචර පක්ෂීන්ට ගිමන් හැරීමටත්, නොගැඹුරු ජලයේ සැරිසරණ මාළුන්ගේ වත ගොත පිරික්සීමටත් අපූරු බැලුම් පියසක් සදමින්. උස්ව වැවුණ දියනිල්ල හා බෙරු තණ පඳුරු අපේ ගමනට හරස් කපන විට නිලූ කට ඇදකර මා දෙස බැලුවාය.
“දැන් නම් මට ගමන ඇතිවෙලා. අර ඉස්සරහ ලොකු වැවක් වගේ ගඟටම යාවෙල. එතනින් යන්නේ කොහොමද?”
“මටත් ඒක නම් ප්‍රශ්නයක්. අපට පේන්නේ ගඟේ විල්ලුවක්. ඒක තමයි මේ දිය සීරාව ගතිය වැඩි. කොහොමටත් අපට ඉස්සරහට යන්ට නම් වටේ ලොකු රවුමක් යන්ට වෙනවා.”
හිරු රැස්වල තද ගතිය මැකිල ගිහින් පැහැය ලා තඹ පාටකින් තුරු මුදුන්වල තැවරිල සෙලවෙන අතු එක්ක නළියන්ට පටන් ගත්තේ අපට ආපිට යන්ට සන් කරනවා වගේ. අපි ආපිට හැරුණේ ගමන කෙටි කරන්ට සිදුවීම ගැන හිතේ සාංකාවෙන් වගේ.
උත්සාහය නැමති මඟ දෙපස විකල්ප හා උපක්‍රම නම් ආධාරක ඕනෑ තරම් ඇත. වඩා ගැළපෙන දේ තෝරා ගැනීමය වැදගත් වන්නේ.