දරුවෙක් ඉපදුන දවසෙ ඉඳලා දරුවව වදපු ඒ අම්මා දරුවට ළං වෙමින් ඉන්නවා. ඒත් ඒ දරුවා ටික ටික ලොකු වෙද්දි අම්මගෙන් ඈත් වෙනවා. ඒ ඈත් වීම ඉබේටම වෙන දෙයක් කියලයි මං හිතන්නෙ. මොන්ටිසෝරියෙන් ආරම්භ වෙන ඒ ඈත් වීමේ නැවත ළං වීමක් වෙන්නේ නැති තරම්. මොකද අපි මොන්ටිසෝරියේ දවසට පැය තුනක් වගේ දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉඳලා මොන්ටිසෝරි අවසානයේ ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. ඉස්කෝලේදි ඊට වැඩි කාලයක් අපි දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්නවා. ඒ දිනෙන් දින වැඩි වෙන කාලයෙන් වෙන්නේ නොදැනුවත්වම අපි දෙමව්පියන්ගෙන් ඈත් වීමක් වගෙ දෙයක්.
එහෙම අපි නොදැනුවත්වම දෙමව්පියන්ගෙන් ඈත් වෙද්දි දෙමව්පියෝ අපිට ළං වෙන්න උත්සාහ කරනවා. අපිට ඒක කරදරයක් වගේ දැනෙන්න පටන් ගන්නවා අපි තරුණ කාලේ හොයන නිදහස දෙමව්පියෝ නිසා අහිමි වෙනවා. ඉතින් මොකක්දෝ වාසනාවකට මට නම් හිර නොවි නිදහසේ බුක්තිය විඳින්න ඉඩ පහසුකම් මගේ දෙමව්පියන්ගෙන් ලැබුණා.
අපි හොයන නිදහස නිසා වෙන්නෙත් අපි දෙමව්පියන්ගෙන් ඈත් වෙන එකයි කියලා වෙලාවකට හිතෙනවා. අපි කොහොම වෙනස් වුනත් කොච්චර ඈත් වුනත් අම්මලාට පුලුවන් අපිව කියවන්න. ඒත් මං හිතන්නෙ අපිට බැහැ අපේ දෙමව්පියන්ව හරියටම කියවන්න, තේරුම් ගන්න. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව "අපි හඹා යන්නේ වෙන වෙන අරමුණු පස්සේ ඒත් දෙමව්පියන් හඹා එන්නේ අපේ පස්සෙ". කියලයි මං හිතන්නෙ.
අවුරුදු ගානක් එකට ජිවත් වෙලත් මටත් බැහැ තාම අම්මව කියව ගන්න. අම්මලාගේ හිතේ තියෙන ආසාවන් මොනවද කියලා අම්මලා දරුවන්ට කියන්නෙ නැහැ. දරුවෝ වෙච්ච අපිට ඒ දේවල් තේරුම් ගන්න වෙනවා. ඒක අමාරු දෙයක් වෙලාවකට හිතෙනවා අම්මලත් , තාත්තලා වගේ හිර කරන් ඉන්නවා කියලා.
මගේ තාත්තටත් තිබුණා ආසාවක් හැබැයි ඒක හිර කරගෙන හිටියේ නැහැ. තාත්තා ඉස්සර ඉඳලම කිය කිය හිටියේ "උබ බැංකුව වැඩ කරනවා දැකලා මැරෙන්න තිබුණොත් ඇති" කියලා. ඒ තාත්තගෙ ආසාව ඉෂ්ඨ වුනේ තාත්තා කියපු විඳියටමයි. මම රස්සාව කරන්න පටන් අරගෙන මාසයක් යන්න කලින් තාත්තා යන්න ගියා. ජිවිතේ සමහර තැන් තිනවා සතුටයි දුකයි එකට මුසු වෙලා ජිවිතේට තුරුල් වෙන. ඒ වගේ අවස්ථාවක් තමයි මට ඒ දින කිහිපය දැනුනේ.
ආයෙත් එමු දෙමව්පියන්ගෙ ආසාවන් ගැන කතා කරපු තැනට. පෙර කියූ විඳියටම ඒ ආසාවන් හිත් වල හිර කරගෙන තියාගෙන ඉන්න දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා. ඇයි එයාලා එහෙම කරන්නෙ? දෙමව්පියෝ කොහමත් කැමති නෑ දරුවන්ට කරදරයක් කරන්න තමන් ආස කරන දෙයක් ගැනවත් කියලා.
මට එක තැනකදි මගේ අම්මා ආස දෙයක් ගැන තේරුම් ගන්න පුලුවන් වුනා. මං හිතන්නේ තරුණ වයසේ ඉන්න හැම දරුවෙක් ම විමසිල්ලෙන් දෙමව්පියන්ට අවධානය යොමු කරනවනම් අපිට එයාලා ආස කරන දේවල් ළං කරලා දෙන්න පුලුවන් වෙනවා. අපේ අම්මට තිබුණා චිත්‍රපටි බලන්න පුරුද්දක්. ටිවි එකේ යන චිත්‍රපටි හැම එකක් ම වගේ අම්මා බලනවා. මං නිවාඩු දවසට ගෙදර ඉද්දි වුනත් මං දැකලා තියෙනවා අම්මා උයන්න එළවළු කපන්නෙත් සාලේ මේසේ උඩ තියාගෙන ටිවි එකේ යන චිත්‍රපටිය බලන ගමන්. ඒ ගැන තමයි මට අවධානයට ඇවිල්ලා අම්මා ආස දෙයක් ගැන තේරුම් ගන්න පුලුවන් වුනේ.
මම රස්සාවට ගිය දවසේ ඉඳලා අම්මගේ උපන්දිනේට අම්මා ආසයි කියලා හිතෙන දෙයක් තෑග්ගක් විඳියට මම දෙන්න පුරුදු වුනා. අවුරුදු හතක් තිස්සේ මම ඒක දිගටම කරගෙන එනවා. මේ අට වෙනි අවුරුද්ද. එදා අම්මගේ උපන්දිනේට කලින් දවස මම අම්මට තෑග්ගක් ගන්න බැංකුවෙන් එළියට ඇවිල්ලා හිටියේ. සුපුරුදු විඳියට දවල් දොළහත් එකත් අතර පුරුදු කෝල් එකා ආවා අම්මගෙන්. කෝල් එක ආන්සර් කරන්න හිතාගෙන මම වාහනේ පාරේ අයිනට කරලා නැවැත්තුවා පාරේ අයිනේ තිබුණු සිනමා ශාලාව ඉස්සරහ.
"හෙලෝ අම්මේ"
"දවල්ට කෑවද පුතේ"
"ඔව් කෑවා! මොකද කරන්නෙ?"
"ටිවි එකේ යන චිත්‍රපටියක් බලනවා" අම්මා එහෙම කියද්දි මගේ ඇස් ගියේ ගියේ සිනමා ශාලාව දිහාවට. එතකොටයි මට හිතුනේ මේ අවුරුද්දේ දෙන්න හොඳම උපන්දින තෑග්ග මේක කියලා.
මම එහෙම ම ෆෝන් එක කට් කරලා ආයෙත් බැංකුවට ගියේ හෙට නිවාඩු දාන්න බලාගෙන. මම හෙට දවසට නිවාඩු දාලා හවස ගෙදර ආවා.
පහුවෙනිදා උදේම අම්මට ගමනක් යන්න ලැස්ති වෙන්න කිවුවේ යන තැන නොකියා. උදේ දහයාමාර වෙද්දි අපි ගියා සිනමා ශාලාව ලඟට. සිනමා ශාලාවට ඇතුල් වෙද්දි දකින්න පුලුවන් වුනා අම්මා ඇස් වලින් මොකක්ද අමුතු සතුටක් විඳින බව. අපි චිත්‍රපටිය බලලා එළියට එද්දි අම්මා කිවුවා. "අවුරුදු විසි අටකට පස්සෙයි හෝල් එකක චිත්‍රපටියක් බැලුවේ" කියලා. අම්මා හෝල් එකට ඇතුල් වෙද්දි ඇස් වලින් විඳපු සතුට මම වින්ඳා අම්මා හෝල් එකෙන් එළියට ඇවිල්ලා කියපු ඒ වචන ටිකෙන්.