පරිසරයට ආදරේ නම් එන්න අපි එක්ක යන්න මේ ගං ඉවුර දිගේ (478)

post-title

ජීවන ගීතයේ රිද්මය ඔබේ යෞවනය හා බැඳී ඇත.

ළා හිරු රැස් ලෝකය අවදිකරන්නා සේ ජීවිතය අරඹන්න. ඔබේ ලෝකය ගවේශනය කරන්න. 

අරුණෝදය චමත්කාරජනක සංසිද්ධීන් නිබඳ මවාපාන පෙළහරකි. ඒ එසේ නොවේ යයි කියන කෙනෙක් තවම මට මුණගැසී නැත. මේ ගැන මා සමඟ සංවාදයක යෙදෙනු පිණිස ඔබ තුළ මනාපයක් ඇති නම් මගේ ඇරයුම පිළිගන්න. අඳුර කීතු කීතු කොට අන්තර්ධාන කිරීමට තරම් හිරු, අකාරුණික නොවේ. අඳුර පලවා හැරීමේ නපුරු සිතක් හිරුට නැති බවට වාද කුමට ද? අඳුර කෙරෙහි දයානුකම්පාවක් හිරුට ඇති නිසා කෙමෙන් කෙමෙන් අඳුර තුනීවීමට ඉඩ හැර හිරු සෙමෙන් සෙමෙන් නිල්වන් කඳුයාය මතින් එබී බලන හිමිදිරිය කොතරම් චමත්කාරජනකද?

තුරු වැල් සිතෙහි නලියන සොම්නසින් පිබිදෙමින් සැලෙයි. මල් කෙමිවල පැණි පිරී සියුමැලි පෙති පොබයමින් සිනා නඟයි. ඒවා මඳ සුළඟ හා එක්ව දසත පරිසරය අනේක සුවඳින් නහවමින් මිහිතලය ප්‍රබෝධවත් කරන්නේ මිනිස් කැල ඇතුළු සියලු සතුන්ගේ ජීවන පැතුම් කුළුගන්වමින්. නිදි යහනින් පිබිදෙන නොයෙක් සියොතුන් මියුරු හඬින් ගී ගයමින් ඔබ මොබ සරන්නේ නව දවස සාදරයෙන් පිළිගන්නා බව සනිටුහන් කරමින්. එමතු ද නොව, බමර මී මැසි, සමනල, කැල අනේක ස්වරයෙන් රිද්ම නඟන ගුමු ගුමුවෙන්, මුණු මුණුවෙන් සිය සැරිසර අරඹන සඳ නෙත නොගැටෙන සුවහසක් ක්‍ෂුද්‍ර ජීවීන් සවන නොගැටෙන සියුම් හඬින් සිය ජීවන සැරිය අරඹති. 

අහස ලෝහිත පැහැයෙන් බබළමින් අනේකවිධ වර්ණ සංයෝගයෙන් වලා පෙළ සරසන්නේ සියොතුන්ට රිසි සේ අහස් කුස සිසාරා පියාසර කරන්නට මං පෙත් සදමින්. කඳුවැටි පෙරවාගත් අඳුරු සළුපට තුළින් සෙමෙන් මඳින් මඳ මුව පොවමින් ළා හිරු රැස් පහස විඳන්නට සැරසෙන්නේ විවිධාකාර සංකලනයෙන් යුත් නිල්වන් වන පෙත් විචිත්‍ර සළු පිළි වලින් සැරසෙමින්. අහස සිනාසෙයි. තුරුලතාවෝ එතෙමින් වැනෙමින් නිදිගැට හරිති. අහු මුඑවල උනණ දියවැල්, සිහින් පෙණ නඟමින් ගැටෙන වැටෙන, සිහිලැල් දිය පහරක සිරි ගෙන ගලන ඇළ දොළ මත ද ළා හිරු රැස් තරගයට පෙරළි කරයි. කෙමෙන් තුනී වී යන මීදුම් කැරලි තුරුවියන් හැරයාමේ උපන් සොවින් මෙන් ඈලි මෑළි පාමින් අතු පතර දැවටේ. 

ඔබ පරිසරයෙන් යැපෙන එකිනෙකා මත ආදරයෙන් බැඳුණු යුවලක්ද? එසේ නම් එන්න අපිත් එක්ක යන්න මේ ගංගාව දිගේ.

˝මුළු ලොවම අවදි වූ මේ මොහොතේ අපිත් අවදිවෙමු නේද?” 

˝ඒක හොඳ අදහසක්.. ඒත් මෙතරම් වෙලා ඔබ කී දේවල් ගැන මා සිටියේ සිහිනයක දැවටී වගේ”

˝එන්න... අපි මෙතනින් එහාට යමු... ඒත් බලාගෙන. ප්‍රවේශමෙන් අඩිය තියන්න ඔය ගල් උඩින්. ලිස්සනවා... කෝ අත දෙන්න. ඔය අඩි උස සපත්තු දා ගෙන අමාරුයි නේද?”

˝න්නෑ.. මං පරෙස්සමෙන් අඩිය තියන්නම්. හරිම සුන්දර තැනක්. බලන්න මේ දිය, නිල් කැටයක් වගේ. අර, පතුලේ තියන ගල් කැට රවුම්වෙලා.. එක එක හැඩයට. මාළුන් වලිග සලමින් පීනන හැටි.. පොඩ්ඩක් ඉන්න. ම්.. වැටෙයි ද?”

˝ඒක තමයි.... ස්කර්ට් එක හින්දා දුරින් අඩි තියන්ට අමාරුයි නේද? සාරියක් ඇන්දත් එච්චරයි.. මං හිතන්නේ මේ වාගේ ගමනකට සුදුසු කලිසමක්” 

˝හි.. හි.. හී.... ඔයා කැමති ද මං කලිසම් අඳිනවට?” 

˝ඒකට මොකද? තැනට ගැළපෙන ඇඳුමක් ඇඳීම තමයි හොඳ. අර බලන්න. අර වතුරට නැමී තියෙන අත්තේ කුරුලු කූඩුවක්.... හරිම ලස්සනයි. අන්න කුරුලු අම්මා මොනවද කෑමක් හොයාගෙන ආවා පැටවුන්ට. දැක්ක ද උන්ට තේරුණා අම්මා කෑමක් හොයාගෙන ආ විත්තිය. අර.... රතුපාට කටවල් හොඳටම ඇරල ඉල්ලන හැටි. හැමෝටම එක ගානට කවනවා. එයා උගුර පිරෙනකම් කෑම පුරවගෙන ආවේ. අන්න තාත්තත් ආවා. එයා මෙච්චර වෙලා අර උඩ අත්තට වෙලා හිටියේ. අම්මා කෑම හොයාගෙන එනකම් පුංචි උන් බලාගන්න එක තමයි එයාගෙ වැඩේ” 

˝නෑ....නෑ.... අන්න එයා යනවා අම්මව රැකවරණයට තියල. ඒ දෙන්නා බොහොම සාමකාමීව වැඩ බෙදා හදාගෙන කරනව. අපටත් ආදර්ශයක් නේද?” ඇය මඳ සිනා පාමින් ම දෙස බැලුවා.” 

˝අපි මේ ගල්තලාව උඩින් වාඩිවෙමු”

˝හූම් ... ” 

˝ගඟ පහළටත් ඉහළටත් හොඳින් නැරඹිය හැකි සොඳුරු තැනකය අප රැඳුණේ. ගඟ ඉහළ වක්කලම දක්වා ඇති පෙදෙස ගල් කුළුවලින් ගහන තද බැස්මක් බැවින් සුදෝ සුදු දිය දහර තැනිත් තැනින් කඩා හැලෙමින් පුංචි දිය ඇලි මාලාවක් සදයි. ගඟට නැමී ඇති උණ පඳුරු පෙළ යටින් නිසලව ගලා යන පහළ තැනිතලාව ගල් කුළුවලින් තොර පුළුල් ගං තීරයකි. එකි නෙක යා වූ තුරු පෙළ පවුරක් මෙන් ගඟ දෙපස නන් වන් පැහැයෙන් සැදි දළුවලින් ද මලින් ද සැරසී ඈතට දිස්වන්නේ සිත්තමක් සේය. තැනෙක රතු මල් පලසක් වැනූ තුරු මුදුනකි. තැනෙක සදු මලින් සැරසුණු නා ගස්ය. අනේක වූ විචිත්‍ර හරිත පැහැය දැරූ තුරු වියන් එකිනෙක වෙන්ව හඳුනාගත හැකි සියුම් පලාවන් වර්ණයෙන් සැදුම් ගත් වර්ණ ජාලයකි. මිනිස් පහසින් තවමත් නොඉඳුල් ගඟ අසබඩ වන අරණ තුළින් නන් වන් මියුරු රිද්මයන් පෑ කුරුලු ගී නඳ ගලා ඒ. 

˝අපූරු සංගීත සංධ්වනියක් වගේ” ඈ මා දෙස මඳ සිනා පාමින් කියයි. සොඳුරු පරිසරය ඈ ප්‍රමෝදයෙන් පිපි කුසුමක් සේ කුල්මත් කළ සේ ය.

˝අහසත්, පොළවත් ජීවත්වන්නේ එකිනෙකා තුළ ඇති ශක්තීන් සාධාරණ ලෙස බෙදා හදා ගනිමින්. එය තේරුම් ගැනීම ජීවිතයට අගනා පාඩමක්.˝

˝සංගීත ස්වරවල උපත කුරුලු ගී සර වෙන්ට ඇති නේද? මිනිසා පළමුව ඇසූ මිහිරි ස්වරය මව් කට හඬ. දෙවනුව කුරුලු ගීත” ඇය කොඳුරමින් කීවා. 

වියළි උණ කොළයක් මත වැටුණ නා මලක් සෙමෙන් පැද්දෙමින් දිය මත පාවී යන දෙස බලා සිටි ඈ “අපිත් අර වගේ ඔරුවකින් එගොඩට යමු” යි කීවේ ඈ තුළ එවැනි ආශාවක් උපන් නිසාදැයි මට සිතාගත නොහැක.

˝යමු. ඒත් අපට ඔරුවක් කොයින් ද? ඔයාට පිහිනන්ට පුළුවන්නම් අපි යමු.”

˝අය්යෝ .... මට බෑ.... දැන් ඉතින් පිහිනන්ට ඉගෙන ගන්ටයැ? අපි පුළුවන් දෙයක් කරන්ට බලමු. ඒත් කොහොම හරි ඉගෙන ගන්ට ඕනෑ. අපි දැන් කරන්ට හැකි දෙයක් ගැන කල්පනා කරන එක නේද වඩා හොඳ?” ඇගේ මුහුණ කිසියම් ශෝකාකුල බවකින් අඳුරු වී ඇත. 

˝ඔව්.... ඔරුවක් වගේ දෙයක් ගැන හිතන එක වඩා සුදුසුයි. ඒත් මිනිස් වාසයක් නැති මේ හුදකලා පරිසරයේ ඔරුවක් සොයා ගන්නේ කොහොම ද?”

අපි ඔරුවක් එනකම් මෙතනට වෙලා බලා ඉඳිමු” ඈ කීවේ හඬ නඟා සිනාසෙමින්. තව බොහෝ වේලාවක් මෙම චමත්කාරජනක පරිසරයේ රැඳී සිටීමට ඈ තුළ ඇති කැමැත්ත ඉන් කියවිණ. 

˝ඒක එතරම් නුවණක්කාර දෙයක් නොවේ. කවදා මෙතැනට ඔරුවක් එයි ද කියල අපි කොහොම ද දන්නේ?. ඊට වඩා හොඳයි ගඟෙන් එගොඩ වෙන්ට හැකි තැනක් තියෙනවා ද කියා විපරම් කරන එක. එතෙර වෙලා විතරක් මදි. ආපහු එන විදිහත් දැනගන්ට ඕනෑ. අපි මෙතන ඉඳන් ඒ ගැන ටිකක් කල්පනා කරමු නේද?” 

ජීවිතයක සුන්දරත්වය හා සාර්ථකත්වය චාම් සරල, අපේක්‍ෂාවන් හා දමනය කරගත්  ආශාවන් මත රඳා පවතී.

˝ම්හූ” ඇය මා වටා දැවටෙමින් කීවාය. “හොඳයි අපි එගොඩට යන්නේ ඇයි කියා හොඳින් වටහා ගනිමු පළමුව.”

˝අර පෙනෙන සුන්දර බිම්කඩ බලන්ට නේ අපි යන්ට හදන්නේ. බලන්න අර ලස්සන මලින් පිරුණු වනාන්තරය. කුරුල්ලන්ගේ කිචි බිචිය. ඊටත් වැඩිය එහි ඇති වෙනත් දේවල් මොනවා ද කියා දකින්න මට ආසයි. අපේ ජීවිතය ඉදිරියට යන්නේ මේ අපූරු කුහුල, උනන්දුව නිසා නේද කියල හැම වේලෙම මට හිතෙනවා.”

˝ඒක ඇත්ත. ඔයාගෙ ලස්සන ඇස් දෙක ඇතුළේ කිමිදිල බලන්න මට කොච්චර ආසාවක් තියෙනව ද? එහෙම කරන හැම විටකම මට ඒ තුළ අමුතු දෙයක් පෙනෙනවා. එහෙම වෙන්නේ ඒ වෙලාවට ඔයා දක්වන ආකල්පය, ප්‍රතිචාරය අනුව වෙන්ට ඕනෑ” 

අප වාඩිවී සිටින ගල් තලාවට දකුණින් ඇති නිසල ජල තටාකය මාළුන්ගේ නවාතැන් පොලක් මෙනි. ගඟේ ගලා යන දිය පහරින් වෙන්ව හුදකලාවී ඇති පොකුණක් බඳු එය ගඟ මැදින් ඇති සුදු වැලිතලාව දිය කඩනයක් සේ එයට ආරක්‍ෂාව දේ. නිසල දිය කඩින් එක් වරම ජබොහ් හඬින් යමක් දියට වැටෙන විට අපේ දෙනෙත් එදෙසට සැණෙන් යොමු විය. කිසිදු අමුත්තක් එහි නැත. යළිත් නැඟුණු හඬින් අපේ නෙත ගැටුණේ ගඟට නැමී ඇති අත්තක සිටි මහ පිළිහුඩුවෙකු ය. මසෙකු ඇස ගැසෙන තෙක් විමසිල්ලෙන් බලා සිටින ඌ සැණෙන් ඊයක් මෙන් දිය තුළ කිමිඳී මසෙකු ඩැහැ ගනී. සමහර විට උගේ ඉලක්කය වැරදී යන නමුත් පසුබට වීම ඌට හුරු දෙයක් ද නොවේ. 

˝එයා තාපසයෙක් වගේ බලා ඉඳල හරියටම ගොදුර ඉලක්කකර ගන්නවා. එයාගෙ ගැටලුව කාලය නොවේ. සාර්ථකත්වය” 

˝ඒ වුණාට එක මාළුවෙක් අල්ලගන්ට කොච්චර වේලාවක් බලන් ඉන්ට ද? මට නම් එහෙම බෑ” 

ස්වභාව සෞන්දර්ය සජීවී හා අජීවී හේතුපල න්‍යායන් මත රැඳෙන්නා සේ ජීවිතය ද 

සත්‍ය හා සජීව අපේක්‍ෂාවන් මත රැඳී ඇත.

 ˝නෑ .... එයා කැමති නෑ අනවශ්‍ය විදිහට කලබලවෙලා තමන්ගේ ශක්තිය නැතිකර ගන්ට. එයාගෙ අරමුණ හැම වෑයමක්ම සාර්ථකව අවසන් කරන්ට. ඉවසීම, නිසි වේලාව, පූර්ණ අවධානය මේ වගේ දේකට අවශ්‍යයයි. ඒ බව ඌ දන්නවා”

˝බලන්න එයාගෙ ලස්සන. හැබැයි එයා තනියම” 

˝එයාගෙ සහකාරිය හෝ සහකරු දරුවන්ගේ රැකවරණය භාරගෙන ඇති. දරු පවුලට අවශ්‍ය පමණට මාළු අල්ල ගත්තාම ආපසු යයි” 

˝උන්ට කල් තියාගන්ට ශීතකරණ නෑ නේද?” ඇය සිනාසෙමින් කීවාය. 

˝ඒකම නොවේ. ඒ අය අවශ්‍ය දේ පමණට වඩා රැස් කරන්නේ නෑ. උන් දන්නවා පරිසරය සාධාරණ ලෙස පරිහරණය කරන විදිහ. මිනිස්සු තරම් උන් අධික තන්හාවෙන් පෙළෙන්නෙත් නෑ. හොඳින් බඩ පිරුණු සිංහයෙකුගේ තුරුලේ මුව පැටියෙකුට නිදාගන්ටත් පුළුවන් කියන්නේ ඒක නේ” 

Top