මේනකා මැරිලා අවුරුදු පහේ දානෙත් දෙනවා කියලා අපිට ආරංචි වුනා ගමේ මිනිස්සුන්ගෙන්. එදා දවසෙම තමයි අපේ ගෙදරත් පුංචි පාටියක් ලෑස්ති කරලා තිබුණේ මගෙ අවුරුදු පහේ විවාහ සංවත්සරය සමරන්න.
"මේනකා" කියන්නෙ අපේ ගමේ හිටිය ගැහැණු ළමයින්ගෙ ලස්සනම කෙල්ලෙක්. ඇයට තිබුණා පස්සෙන් පහළට දිග කොන්ඩයක්. ඒ කොන්ඩෙත් හේතුවක් වුනා මේනකාගෙ පැත්තට කොල්ලන්ගෙ ඇහැ යන්න.
මේනකාගෙ පවුල ගමේ ඉහළ පැලැන්තියක හිටියේ. ඔය හේතුව නිසා මේනකාගෙ වුනත් ලොකු ආඩම්බරයක් තිබුණා. ඒත් ඒ මහන්තත්වකම ගොඩක් තිබුණේ මේනකාගේ අයියටයි අම්මටයි. මේනකාගෙ තාත්තා එහෙම ලොකුවට ඔය දේවල් ඔලුවෙ තියාගෙන හිටිය මනුස්සයෙක් නෙවෙයි. මුදියන්සේ මාමා කාත් එක්කත් හිතවත් සාමාන්‍ය ජිවිතයක් ගතකරපු කෙනෙක්. ඕනම මනුස්සයෙක්ට උදව් කරන්න දෙපාරක් හිතන්නෙ නැති ගතිගුණ වලින් හොඳ මනුස්සයෙක්.
මේනකා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුනේ අපි එකට ඉස්කෝලේ යන කාලේ ඉඳලා වුනත් ඒක කවදාවත් එළියට දාන්න හයියක් තිබුණේ නැහැ. ඒ ඒක කවදාවත් නොවෙන මඟුලක් නිසා. ඒත් ඒ ඇති වෙච්ච ආදරේ කවදාවත් නැති වුනේ නැහැ.
මේනකා ගමෙන් කොළඹ ගියෙ කොළඹින් එයාට ලැබුණු රස්සාව නිසා. ඒ වෙනකොට මේනකාගෙ අයියගෙයි අම්මගෙයි ලොකුකම ඉස්සරටත් වඩා වැඩියෙන් තිබුණේ "අපේ දුව කොළඹ ඉන්නෙ" කියලා මහ උජාරුවෙන් ගමේ මිනිස්සු එක්ක කියවන පම්පොරිත් එක්කමයි.
_________
මුදියන්සේ මාමලාගෙ රබර් කට්ටියක් නිසා තමයි අපේ ගෙදර ලිප පත්තු වුනේ. අපේ අම්මයි අප්පච්චියි දෙන්නම අවුරුදු ගානක් තිස්සෙ කරේ මුදියන්සේ මාමලගෙ රබර් කට්ටියෙ කිරි කපපු එක.
මුදියන්සේ මාමට නම් අපිව කවදාවත් එයාලගෙ සේවකයො වුනේ නැහැ. ඒත් මේනකාගෙ අම්මා එහෙම අපි දිහා බැලුවේ සේවකයො විදියට. අපි දිහා විතරක් නෙවෙයි ගමේ හිටිය මේනකාලගේ නෑදෑයො හැර අනිත් හැම මනුස්සයෙක්ම දිහා මේනකාගෙ අම්මා බැලුවේ සේවකයො ගානට දාලා. ඒ සුමනා නැන්දගෙ හැටි.
මටත් ඒ වෙනකොට හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ. උසස්පෙළ කරලා තිබුණත් මට රස්සාවකට යා ගන්න බැරුව ගියා. මාත් ගෙදර හිටපු නිසා ඔය අම්මා අප්පච්චිට අමාරු දවස්වලට මාත් අර රබර් කට්ටියට යනවා කිරි කපන්න.
ඔහම ගිය වෙලාවට මුදියන්සේ මාමව එහෙම මුණගැහෙන අවස්ථා තියෙනවා. මුදියන්සේ මාමගෙ කැමැත්තක් තිබුණේ නැහැ මං මෙහෙම කිරි කපන්න එනවට. මුදියන්සේ මාමා එහෙම මුණගැහුන වෙලාවට මාමා කියන්නෙ "උබලැයි අම්මා අප්පච්චි අවුරුදු ගානක් කිරි කැපුවේ උබවත් මේ රබර් කට්ටියට එවන්නද බං" කියලා. මාත් ඉතින් ඒ වෙලාවට කියනවා "නැහැ මාමේ රස්සා වලට ලියුම් දාලා තියෙන්නේ හොඳ එකක් ලැබෙනකම් මේ ඉන්නෙ" කියලා. මං එහෙම කිව්වහම මාමා කියනවා "ඉඳපන්කො අපේ මේනකාට කියලා බලන්න කොළඹ පැත්තෙන් හරි උබට රස්සාවක් හොයලා දෙන්න උදව් කරන්න" කියලා. මුදියන්සේ මාමා එහෙම කියන්නෙ හරි නිහතමානී විදියට.
ඔය අතරතුර මේනකා එහෙම මාසෙකට දෙතුන් වතාවක් ගමට එනවා යනවා. මං හිතාගෙන හිටියෙම මේනකා ගොඩක් වෙනස් වෙයි කියලා කොළඹ ගියාට පස්සෙ ඒත් එහෙම වෙනසක් මේනකාගෙ පෙනුනේ නැහැ. ඉස්සර තිබුණු ආඩම්බර හිනාව එහෙමමයි. ඒ හැඩරුව එහෙමමයි. මේනකා ගිහින් තිබුණේ මුදියන්සේ මාමගෙ ආරෙට.
මේනකා ගමට එන දවසක් එනකම් මාත් බලාගෙන හිටියේ මේනකා වෙනුවෙන් හිතෙ තියෙන ආදරේ තාමත් නැති වෙලා නැති නිසා. මේනකාව මාසෙකට දෙතුන් වතාවක් හරි මට දකින්න ලැබෙන එක මට ලොකු සතුටක් ලැබුණා.
________
මට රස්සාවක් ලැබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ. ඒක ලැබෙන්න හේතුව වුනේ මුදියන්සේ මාමා නිසා. මුදියන්සේ මාමාගෙ ගොඩක් හිත්වත් කමක් තිබුණා ප්‍රාදේශීය සභාවේ සභාපති එක්ක. ඒ හිත්වත්කම නිසා තමයි මට රස්සාව ලැබුණේ.
මම රස්සාව කරන කාලෙදිත් අප්පච්චි රබර් කට්ටියෙ කිරි කපන්න ගියා. අම්මට කකුල් අමාරුවක් ආපු නිසා නොගිහිං හිටියා. කකුල් අමාරුව නැත්තම් අම්මත් යනවා කිරි කපන්න. දැං ඉස්සර තරම් ආර්ථික ප්‍රශ්න නැති නිසා මං අප්පච්චිටත් කියලා තිබුණේ දැං කිරි කපන්න යන්න ඕන නැහැ කියලා. ඒත් අප්පච්චි කිව්වෙ ඒක හරි නෑ බං අවුරුදු ගානක් හම්බකරන් කාපු තැන ඕක. සල්ලි නිසා නෙවෙයි අර මුදියන්සේ නිසයි මං මෙහෙම යන්නෙ කියලා.
ඔය හේතුවම නිසා වෙන්න ඇති මටත් සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් දෙකෙන් සමහර දවස්වලට මාත් යනවා අප්පච්චිට ඉන්න කියලා රබර් කට්ටියට කිරි කපන්න. මං එහෙම ගියෙ හරි ආසාවකින් නුපුරුදු තැනක් නෙවෙයි නිසා.
ඔය දේවල් අතරතුර මේනකාට කසාදයක් හොයනවා කියලා ආරංචි වුනේ අප්පච්චිගෙන්. එදා රෑ කන වෙලාවේ අප්පච්චි අම්මට ඔය කතාව කිවුවා. අප්පච්චි එහෙම කියනවා එක්කම අම්මා මං දිහා බැලුවා. අම්මා ඉස්සර ඉඳලම දන්නවා මගේ හිතේ මේනකා ගැන අදහසක් තියෙනවා කියලා. ඒත් කවදාවත් නොවෙන මඟුලක් නිසා ඒ ගැන අම්මා මාත් එක්කවත් කතා කරෙ නැහැ. අප්පච්චිගෙ කතාවෙන් පස්සෙ අම්මත් කිව්වා "අනේ හොඳ කෙල්ල හොඳ තැනකින් කසාදයක් හරි යන්න ඕන" කියලා.
ටික දවසක් තිස්සෙ මේනකා ගෙදර ඉන්නවා දැක්ක නිසා මාත් හිතුවා එහෙනම් මේනකා බඳින්නම තමයි මේ ගෙදර ඉන්නෙ කියලා. ඒත් වෙනදා දකින මේනකාගෙ මූන නෙවෙයි මට ඒ දවස් ටිකේ මේනකාගෙ මූනෙන් පෙනුනේ. හරි තෙහෙට්ටු පාටක් මූන සුදුමැලි වෙලා වගේ. මේනකාගෙන් එහෙම අහන්න තරම් ලොකු හිතවත්කමක් අපි අතර තිබුණේ නැහැ කොහෙදි හරි දැක්කොත් හිනාවෙනවා ඇරෙන්න.
එදා සෙනසුරාදත් මං අප්පච්චිට කිව්වා මං රබර් කට්ටියට යන්නම් අප්පච්චි ඉන්න කියලා. මට ඒක කරදරයක් වගේ දැනුනෙ නැහැ කොහමටවත් මොකද මං වුනත් අද හොඳ රස්සාවක් කරන්නෙ මුදියන්සේ මාමගෙ තිබුණු මනුස්සකම නිසා. ඒ හේතු නිසා වෙන්න ඇති ඔය රබර් කට්ටිය එක්ක මෙච්චර හිතවත්කමක් තියෙන්නේ.
මම රබර් ගහෙන් ගහට කිරි කපාගෙන යනකොට වෙනදා දකින මුදියන්සේ මාමා වෙනුවට මේනකාව දැක්කා රබර් කට්ටි කෙළවර තියෙන ගං කන්ඩිය ලඟ ගඟ දිහා බලාගෙන ඉන්නවා. මටත් ඒක පුදුමයක් වුනා කවදාවත් මේනකාව මං රබර් කට්ටියෙ ඉන්නවා දැකලා නැති නිසා.
මං මේනකා ලඟට ගියෙ මාත් එක්ක කතා කරයිද කියලා කුතුහලයක් ඇතුව. මාව දැක්ක ගමන් මේනකා ටිකක් කලබල වුනා. මේනකාගෙ ඇස්වල කඳුලු තිබුණා. එක අතක වතුර බෝතලයක් අනිත් අතේ බෙහෙත් පෙති වගයක් තිබුණු ඉටි කවරයක් එක්ක.
මං මොකක්ද අහෙන්නෙ මොකක්ද කියන්නෙ කියලා හිතාගන්න බැරුව නිසොල්මන්ව ඉන්නකොට මේනකා කිව්වා "සමන් මට මැරෙන්න ඕන" කියලා. මගෙ අතේ තිබුණු කිරි බාල්දිය මං බිමින් තිබ්බෙ මටත් බයක් දැනුන නිසා එක තප්පරෙන් ගඟටවත් පනියිද කියලා.
මං මේනකා ලඟටම ගිහින් අතින් ඇදලා ගඟ අයිනෙන් ටිකක් මෙහාට ගත්තේ ඒ බය නැති කරගෙන.
එදා මේනකා මැරුනේ නැහැ!
___________
මේනකාගෙයි මගෙයි අවුරුදු පහේ විවාහ සංවත්සරය තියෙන දවසට අවුරුදු පහකට කලින් තමයි මේනකාගෙ අම්මා මේනකාව මැරුවෙ. එදා හත්දවසෙ දානෙත් අපේ ගෙදරට එවලා තිබුණා. මේනකා, මේනකාගෙ ම මරණෙ හත්දවසෙ දාන බත් කෑවේ අම්මලා එක්ක හිතේ තරහකින්ද අම්මා ගැන කලකිරීමකින්ද කියලා දන්නෙ මේනකා ම විතරයි.
මේනකාත් දැනගෙන හිටියේ අවුරුදු පහෙ දානෙත් අම්මයි අයියයි දෙනවා කියලා. සමහරවිට මුදියන්සේ මාමා ජිවතුන් අතර හිටියනම් අවුරුදු පහක දානයක් නොදෙන්න ඉඩ තිබුණා. ඒත් මුදියන්සේ මාමත් ඒ කාලෙදිම ජිවිතේ අතහැරලා ගියා. අර රබර් කට්ටිය මේනකාගෙ නමට පවරලා. මේනකාට අම්මලා එක්ක තරහක් නැහැ ඒත් අම්මා කෙනෙක් කියන කෙනා ගැන මේනකාට කලකිරීමක් තියෙනවා.
මේනකාලගේ අම්මලා ගමේ එක කෙළවරක මේනකා වෙනුවෙන් අවුරුදු පහේ දානේ දෙනකොට ගමේ තව කෙළවරක මේනකායි මායි අපේ විවාහ සංවත්සරය සැමරුවා අපේ අවුරුදු පහයි මාස හතරෙ පුතු පැටියා එක්ක.