අපි සෙල්ලම් කරන්න හදාගෙන තිබුණේ ගේ පිටිපස්සට වෙන්න තියෙන පොඩි ලඳු කැලෑවේ. අපේ ගෙදර තුන්දෙනයි වටේ පිටෙ උං ඔක්කොම ටිකයි එකතු වුනහම දොළහක් පහළොවක් එකතු වෙනවා සෙල්ලම් කරන්න. ගොඩක් වෙලාවට අපි කරේ බට්ටො පනින එක හරි දෙපිල බෙදිලා පෙඳි කඩන එක හරි තමයි. පෙඳි කඩන්න අපි ගත්තේ පරණ සිංහල උලු වලින් බට්ටො පනින්න හදාගන්න පුංචි උලු කැට කෑලි හතක්. ඉඳලා හිටලා සැමන් ටින් වලිනුත් එක උඩ එක තියලා ඒ සෙල්ලම කරා. ඒත් ඉතින් සැමන් ටින් හම්බුනේ කලාතුරකින්. ඒ හම්බුනත් සැමන් ටින් ඉස්කොලේ වැඩ වලට ගන්න නිසා පුරුද්ද තිබුණේ උලුකැට වලින් හදාගන්න බට්ටොන්ගෙන් තමයි.
අපි ඒ සෙල්ලම් කරපු තැන පරණ සොහොනක් තියෙන නිසා අපිට ගොඩක් හවස් වෙනකම් එතන සෙල්ලම් කරන්න ගෙවල් වලින් ඉඩ ලැබුණේ නැහැ. පහ, පහමාර වෙනකොට ගෙවල් වලින් සද්දෙ ඇහෙන්න ගන්නවා "මෙහෙ වරෙල්ලා තොපිට යක්කු ගහයි මේ ඉර බහින වෙලාවේ සොහොන් උඩ ඉඳලා" හැම ගෙදරම ඉන්නවනේ කීකරු එකෙකුයි කියන දෙයක් අහන්නෙ නැති යකෙකුයි. අපේ ගෙදර යක්කු දෙන්නා මායි ලොක්කියි තමයි. ගෙවල් වලින් වරෙල්ලා කියලා ලතෝනි දෙන්න ගන්නවා එක්කම කීකරු උං ටික දුවන්න ගන්නවා. උං ගියාට කර කර ඉන්න සෙල්ලම අපි නතර කරන්නෙ නැහැ. සෙල්ලම අතරමැද ඔය යන උං අතරෙ අපෙ මද්දු අක්කත් හිටියා. ඒකි අප්පච්චිට තිබුණු බයට වඩා ආදරේට අප්පච්චිගෙ එක වචනෙට අවනත වෙනවා.
මටයි ලොක්කිටයි ඒ දේවල් හරි ගියේ නැහැ. දවසට ගුටියක් කාලා බැනුමක් ඇහුවෙ නැත්තම් රෑට නින්ද යන්නෙ නැති ගානට ඒ දේවල් හුරු වෙලා තිබුණේ. කොහොමත් මායි ලොක්කියි ගෙදර යද්දි හය වෙනවා. අපි කීයට ගෙදර ගියත් අපිට ගෙදර පැවරිලා තියෙන වැඩ ඉවර කරලා තමයි ගෙට ගොඩ වෙන්න ඕන. බුදු පහණට මල් කඩලා ඒවා ලෑස්ති කරන එක මද්දුට තිබුණු නිසා අපිට පරක්කු වෙලා එන එකට ලොකු අවුලක් තිබුණේ නැහැ. මටයි ලොක්කිටයි තිබුණේ ගෙදරට වතුර පුරවන්න නිසා ඒ වැඩේ ගෙදරට කීයට ගියත් කරන්න පුළුවන් වුනා. ඒ හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තේ "උබලා දැං ලොකු වෙලා" කියලා අපිත් එක්ක සෙල්ලම් කරපු කෙල්ලොන්ට ගෙවල් වලින් ඇන ඇන මතක් කරන නිසා ම තමයි.
මුලින්ම ලොක්කි ගෙට වුනාට පස්සෙ ඒකි සෙල්ලම් කරන්න එන එක නතර කරා. ඒ ගෙවිලා කාලයක් යද්දි මද්දු ගෙට වුනහම ඒකිත් සෙල්ලම් කරන්න එන එක නතර කරා. ඒත් උං දෙන්නම එහෙම කරේ කැමැත්තකින් නෙවෙයි. උං දෙන්නා දැං ලොකුයි කියලා අපේ ගෙදරිනුත් ඇන ඇන උංට මතක් කරන නිසා. "ගෙදර සහෝදරියො ගෙට වුනහම හිස් බවක් දැනෙන්නෙ දුර බවක් දැනෙන්නෙ ගෙදර ඉන්න පිරිමි සහෝදරයට" ඒක මහ අමුතු කලකිරීමක් ජිවිතයට එකතු කරන තැනක්. ලොක්කි මද්දු ගෙට වෙච්චි වෙලාවේ මං ඇඬුවේ ඒකම වෙන්නැති. මට ඔය දේවල් මතක් වුනේ අද මං ලොක්කිට කෝල් කරපු වෙලාවේ ලොක්කි කියපු කතාව නිසා. මං අද ලොක්කිට කෝල් කරේ මගේ ලොකු කෙල්ල ගෙට වෙලා කියලා ඒකිට කියන්න. ලොක්කිට ඒ ගැන කියලා ඉවර වුනහම ලොක්කි මට කිව්වා "පොඩි කාලේ මාව, මද්දුව හිර වුනා වගේ උඹ නම් කෙල්ලව හිර කරන්න එපා බං ඒක වේදනාවක්" කියලා.
ෆෝන් එක තියපු වෙලාවේ ඉඳලා මට මතක් වුනේ ලොක්කි මද්දු අහල පහල හිටිය උං එක්ක අපි එකට බැඳිලා තිබුණු බැඳීම ගැන. ඇත්තටම පොඩි කාලේ තියෙන බැඳීම දරුවො ලොකු වෙද්දි දුරස් වෙනවා. ඒත් ඒ දුරස් වීම සමහර වෙලාවට ගෙවල් වලින් ඉක්මන් කරනවා. ඒක හරියට අපි පෙඳි කඩන සෙල්ලමේ වගේ. එකින් එකට එක උඩ එක ඒ පෙඳි හත බැඳිලා වගේ මද්දු, ලොක්කි වටේ පිටේ උං අපි ඔක්කොම බැඳිලා හිටියේ. "උබලා දැං ලොකුයි" කියන බෝලෙන් ඒ බැඳීමට ගෙවල් වලින් ගහනවා ඒ බැඳීම් ඉක්මනින් කැඩිලා බිඳිලා දුරස් වෙන්න. ආයෙත් කවදාවත් ගොඩනගාගන්න බැරි විඳියට ම. ඒක ලොකු වේදනාවක්. ඒ වේදනාව ලොක්කි දන්න නිසාම වෙන්නැති කෝල් කරපු වෙලාවේ අරම දෙයක් කිව්වෙ.