දැං උබටත් තේරෙනවා නේද චිත්‍ර ඇතුළෙ තියෙන කතා කියවන්න (221 වන ලිපිය)

post-title

චරිත්, කියන්නෙ මං හෝඩියෙ ඉගෙනගන්න කාලේ ඉඳලා මගේ ළඟම ඉන්න යාලුවා. චරිත්ගෙ අම්මා රජයේ රස්සාවක් කරපු කෙනෙක්. පුංචිම කාලෙ නම් චරිත් මට කිව්වෙ චරිත්ගෙ තාත්තා මැරිලා කියලා. ඒත් චරිත්ගෙ තාත්තා ඇත්තටම මැරිලා නැහැ කියලා අපි දැන ගත්තෙ අපිට යමක් කමක් තේරුම් ගන්න පුළුවන් කාලයට ආවට පස්සෙ චරිත්ගෙ අම්මා චරිත්ගෙ තාත්තා ගැන ඇත්ත කතාව කිව්වහමයි. 

"මං ඉපදිලා අවුරුද්දක් දෙකක් අතර කාලයෙදි තමයි තාත්තගෙ ඇස් අන්ධ වෙන්නෙ. කාලයක ඉඳලා ඇස්වල තිබුණු ලෙඩක් දරුණුම තත්ත්වයට ඇවිල්ලා තමයි ඇස් පේන්නෙ ම නැති තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. තාත්තගෙ ඇස් පේන්නෙ නැති එක තාත්තට ලොකු මානසිකව වදයක් වෙලා තියෙනවා. ඔය මානසිකව තිබුණු පීඩනයට තාත්තා ඒ දවස්වල ජිවිතේ නැති කරගන්නත් ගිහින් තියෙනවලු. අම්මට කොහොමත් රස්සාවක් තිබුණු නිසා ගෙදර මුදල් වලින් අඩුපාඩු කමක් තිබිලා නැහැ, ඒ කාලේ ඉඳලම. තාත්තගෙ ඇස් නොපෙනීම එක්ක ආපු හිස්කමක්, තනිවීමක්, කිසි දෙයක් කර කියාගන්න බැරි අසරණ කම නිසා තාත්තා තීරණයක් අරන් තියෙනවා ගෙදරින් යන්න. කොහොමහරි තාත්තා ගෙදරින් ගිහින් කියලා දැනගෙන තියෙන්නේ කුස්සියේ බිත්තියෙ අඟුරු කෑල්ලකින් ලියලා තිබුණු දේවල් නිසා. තාත්තට අමුතුම හැකියාවක් තිබිලා තියෙනවා ඇස් පියාගෙන අමුතු අමුතු චිත්‍ර අඳින්න. ඒ චිත්‍ර ඇතුළෙ කතා තියෙනවා කියලා තමයි අම්මා මට කිව්වෙ. කොහොම හරි තාත්තා ගෙදරින් ගියා කියලා දැනගත්තහම අම්මා හොයන්න පුළුවන් හැම තැනම තාත්තව හොයලා තියෙනවා ඒත් හම්බෙලා නැහැ"

ඔය කතාව තමයි චරිත්ගෙ අම්මා චරිත් ට කියලා තිබුණෙත් චරිත් මට කිව්වෙත්. ඇත්ත කතාව දැන ගන්නකොට අපිට අවුරුදු දොළහක් විතර ඇති. ඒ කියන්නෙ මීට අවුරුදු පහළොවකට කලින්. එච්චර ලොකු කාලයක් ගෙවිලා ගියත් මගෙ‍යි චරිත්ගෙයි යාලුකම ගෙවිලා ගියෙ නැහැ මේ වන තෙක්. චරිත් චිත්‍ර පිස්සෙක්. තාත්තගෙ කතාව දැන ගත්තට පස්සෙ මාත් හිතා ගත්තා තාත්තාගෙම පුතා තමයි කියලා. චරිත් චිත්‍ර අඳිනවා වගේම ලස්සනට ඌට දැනෙන චිත්‍ර එකතු කරන පුරුදකුත් තිබුණා. ඌ චිත්‍රයක් දිහා බලාගෙන කියන දේවල් මට කවදාවත් තේරුම් ගන්න බැහැ. මාත් එහෙම වෙලාවට ඔහේ තේරෙනවා වගෙ අහගෙන ඉන්නවා. ඌට චිත්‍රයකට හිත යනවා කියන්නෙ හරි අහම්බයක් වගේ තමයි. මාත් ඉතින් ඔය කොහේ හරි යන එන වෙලාවට චිත්‍ර දැක්කහම අරගෙන ඇවිත් චරිත් ට දෙනවා. ඒවා ඉතින් ප්‍රතික්ෂේප කරන්න බැරි කමට ගන්නවා ඇති යාලුවා නිසා. 

මම දවසක් ඔය කොහේ හරි යන වෙලාවක පාර අයිනෙ තිබුණු චිත්‍ර වගයක් දැක්කා. එදත් ඉතින් අරූට චිත්‍රයක් ගන්නවා කියලා හිතාගත්තෙ යන ගමන ගිහින් එන ගමන්. මං එනකොට එතන චිත්‍ර ඉවර වෙලා එතන චිත්‍ර විකුණපු වෙළෙන්දා යන්න හදනවා වගේ දැක්කෙ ඔහුගෙ හැසිරීමෙන්. මං ඒත් එතනට ගිහින් චිත්‍ර ගැන ඇහුවහම එක චිත්‍රයක් තියෙනවා කියලා මට චිත්‍රයක් දුන්නා. ඒක චිත්‍රයක්ද මොකක්ද කියලා හිතාගන්න බැහැ. බැලූ බැල්මට සුදු පසුබිමක කලුපාට අකුරු තුනක් වගේ තිබුණේ. අරුත් හොයන්නෙ මේ වගේ මගුල් නිසා මං ඒක අරගෙන ගිහින් දුන්නා. 

"දැං උබටත් තේරෙනවා නේද චිත්‍ර ඇතුළෙ තියෙන කතා කියවන්න" කියලා හිනාවකින් ඌ එදා ඒක ගත්තා. ඒත් මට නම් ඒ චිත්‍රය ඇතුළෙ මෙලෝ කතාවක් පෙනුනෙ නැහැ. ටික දවසක් ගියාට පස්සෙ මට චරිත්ගෙන් කෝල් එකක් ආවා අර චිත්‍රය ගත්තෙ කොහෙන්ද කියලා අහලා. මං ගත්ත තැන කිව්වහම චරිත්ට ඕන වුනා ආයෙත් එතනට යන්න. දවසක් දාගෙන අපි ඒ චිත්‍ර විකුණපු තැනට ගියා. චරිත්ට ඒ චිත්‍ර ඇඳපු කෙනාව හොයාගන්න ලොකු වුවමනාවක් තියෙනවා කියලා තේරුනා චරිත්ගෙ හැසිරීමෙන්. දවසක් චරිත්ලගෙ ගෙදර ගිය වෙලාවකත් මං චරිත්ට දීපු ඒ චිත්‍රය ගැන චරිත්ගෙ අම්මා ගොඩක් විස්තර ඇහුවා. චරිත්ට වඩා අම්මටත් උනන්දුවක් තිබුණා ඒ චිත්‍රය ඇඳපු කෙනාව හොයාගන්න. 

ඒ සිද්දිය වෙලා මාසයක් වගෙ ගෙවිලා ගියා. මටත් ඒ ගැන අමතක වෙලා ගියේ චරිත් ආයෙත් මගෙන් ඒ ගැන මුකුත්ම ඇහුවෙ නැති නිසා. චරිත් මාත් එක්ක එදිනෙදා ෆෝන් එකෙන් කතා කරත් අපි හම්බුනෙ මාසෙකට දෙතුන් වතාවක් වගේ තමයි. ඒකත් එක්කො උංගෙ ගෙදරදි නැත්තම් අපේ ගෙදරදි. දවසක් චරිත් කෝල් කරලා කිව්වා එන ඉරිදා වැඩ දාගන්න එපා ගමනක් යන්න තියෙනවා කියලා. ඌ කිව්වෙත් නැහැ කොහෙද යන්නෙ, මොකටද යන්නෙ කියලා. මං අහන්න ගියෙත් නැහැ විස්තරයක්. මොකද ඌ දන්නවා අපායට හරි යන්න මං ඌත් එක්ක එන බව. අපි එදා ඉරිදා ඒ ගමන ගියා. ඒක චිත්‍ර ප්‍රදර්ශනයක්. ගිය ගමන් දැක්ක චිත්‍ර වලින් තේරුනා මං අර ඌට දුන්න චිත්‍ර ඇඳපු කෙනාගෙ චිත්‍ර ප්‍රදර්ශනයක් වෙන්න ඕන කියලා. මොකද ඒ හැම චිත්‍රයක් ම මං අරූට දීපු චිත්‍ර වගේ නිසා. ඒ විතරක් ම නෙවෙයි කවදාවත් මෙච්චර උනන්දුවක් දක්වලා නැති නිසා මෙහෙම තැනකට එන්න. 

චිත්‍ර ප්‍රදර්ශනය අතරමැද පුංචි දේශනයක් වගේ දෙයක් එතන සංවිධානය කරලා තිබුණා. ඒ වෙනතුරුත් අපි දැනගෙන හිටියේ නැහැ ඒ චිත්‍ර ඇන්දෙ කවුද කියන එක. චිත්‍ර ගැන වෙන වෙන කතා පැවැත්වෙන අතර මේ චිත්‍ර වල අයිති කෙනාට සභාවට ආරාධනා කරා. එතකොට ආවා සුදු සැරයැටියක් අතේ තියාගෙන අවුරුදු පනහත් හැටක් අතර මනුස්සයෙක්. ඒත් මට කල්පනාවට ආවේ නැහැ චරිත් මේ ඇවිත් තියෙන්නේ මං දුන්න චිත්‍රය නිසා, අම්මගෙ හිතේ චරිත්ගෙ තාත්තා ගැන ඇති වෙච්ච සැකය හොයාගෙන කියලා. ඔහු සභාවට ඇවිත් කතා කරන්න පටන් ගත්තා. චරිත්ගෙ මුහුණෙ තිබුණේ ඒ කතාව අහන්න ඕන නොඉවසිල්ලක් වගේ දෙයක්. මං ඒකට බාධාවක් නොකර මාත් එතන ඒ ආරම්භ කරන්න යන කතාවට කන් දුන්නා. 

"ඉස්සර අම්මා දත් මදින්න අඟුරු කෑල්ලක් දෙන්න ගත්ත දවස්වල ඉඳලයි මං කළු පාට ට කැමති වුනෙ. මුලින් මුලින් අම්මා පස්සෙන් ඇවිල්ලා දත් මැද්දුවත් පස්සෙ පස්සෙ අම්මා කියන්න කලින් මං දත් මදින්න පුරුදු වුනා. රෑට දත් මදින්නෙ රෑට චූ කරන්න යන වෙලාවට. ගෙදර ලැට් එක තිබුණත් මං ගොඩක් වෙලාවට චූ කරේ ගෙයි පිළිකන්න පැත්තෙ. ඒකට හේතුවක් තිබුණා. ඔය රෑට චූ කරන්න යන වෙලාවට දත් මදින්න ගන්න අඟුරු කෑල්ලෙන් බාගයක් කඩලා ගෙයි පිළිකන්න පැත්ත බිත්තියෙ මොනවා හරි බලිකුරුටු අඳිනවා. මට පේන්නෙ නැහැ මං ඒ අඳින බලිකුරුටු මොනවද කියලා කරුවල නිසා. උදේට ආයෙත් චූ කරන්න ගියහම තමයි දකින්නෙ රෑ මොනවද ඇඳලා තියෙන්නේ කියලා. මං හිතින් මවා ගන්න දේ රෑ බිත්තියෙ ඇන්දට උදේ බැලුවහම තියෙන්නේ වෙන දෙයක්. ඒ ඇඳිලා තියෙන බලිකුරුටු වල කිසිම තේරුමක් තිබුණේ නැහැ. ඒත් මං හැමදාම එහෙම කළුවරේ මොනවා හරි බලිකුරුටු බිත්තියෙ ඇන්දා"

ඔය ටික කියලා ඉවර වෙනකොට මට මතක් වුනේ චරිත්ගෙ අම්මා චරිත්ට කියලා තිබුණු තාත්තගෙ හැකියාව ගැන. "ඇස් පියාගෙන චිත්‍ර අඳිනවා" කියලා. මටත් ඒ වෙලාවෙ සැකයක් ආවා ඇත්තටම මේ චරිත්ගෙ තාත්තා ද දන්නැහැ කියලා. ඔහු ඔහුගෙ කතාව නොනවත්වා කතා කරමින් හිටියා..

"ඉස්කොලේ යන්න පටන් ගත්තට පස්සෙ ඉස්කෝලෙදි කියලා දෙන හෝඩියේ අකුරු එහෙමත් මං බිත්තියෙ අඟුරු කෑල්ලෙන් ඇන්දා. ඒත් ඒවැයි අකුරුවල තියෙන හැඩය තිබුණේ නැහැ ඒවත් නිකන්ම නිකන් බලිකුරුටු විතරයි.. පොත්වල තියෙන අකුරු තනියම කියවන්න පුළුවන් වෙන කාලේ එද්දි මං බිත්තියෙ අඟුරු කෑල්ලෙන් බලිකුරුටු ඇන්ද වැඩේ ඉබේටම නතර වුනා. මං ගොඩක් ආසාවෙන් පොත්වල තියෙන කළු පාට අකුරු කියෙව්වා. ඒ අකුරු එකතු වෙලා හැදිලා තිබුණු කතා මං කියවන ගමන් ඇස් පියාගෙන ඒ කතා කලුපාට ලෝකෙක මවා ගත්තා. ඒ වැඩේට මං හරි ආසයි. එක ඡේදයක් කියවලා ඉවර වෙලා ඒ ඡේදය ඇස් පියාගෙන මවාගත්තට පස්සෙයි මං අනිත් ඡේදය කියවන්න පුරුදු වුනේ. එහෙම ඡේද ඡේද එකතු වෙලා අන්තිමට පුංචි පුංචි කතා ඇතුළෙ ලොකු කතාවක් මැවෙනවා. ඒ මුලු කතාවම වුනත් පස්සෙ දවසක ඇස් පියාගෙන මතක් කරහම හරි ලස්සනට මගෙ ඇස් ඉස්සරහ මැවෙනවා.. ඔය කියවන්න ඇති වෙච්ච ආසාව නිසා තමයි මං කලු පාට ට ගොඩක් ම කැමති වුනේ. ඒ කලුපාට අකුරු ඇතුළෙ තියෙන වෛවර්ණ කතා නිසා. මගේ කියවීම වැඩි නිසාද කොහෙද මගේ ඇස් ටික ටික රිදෙන්න ගත්තා අකුරුත් බොඳ වෙලා පේන්න ගත්තා. ඔය ඇස් රිදෙන එකට කොහොම හරි බෙහෙත් ගන්න ගියහම ඇස් පරික්ෂණයකට එන්න කියලා වෙන ම දවසක් දුන්නා. ඒ එන්න කියලා දුන්න දවසෙ ගියහම මගේ ඇස් පරික්ෂා කරලා මට කණ්නාඩි දාන්න නියම කරා. මට කණ්නාඩි දැමිල්ල හරි හිසරදයක් වුනා නුහුරු නිසා. ඒත් පහසුවකුත් තිබුණා පොත් එහෙම කියවද්දි. කණ්නාඩි දාගෙන අවුරුදු ගානක් ගෙවිලා ගියා. ආයෙත් ටික ටික හැමදේම වගේ බොඳ වෙලා පේන්න ගත්තා. ඒ බොඳවීම සදාකාලික බොඳ වීමක් වුනේ මගෙ පවුල් ජිවිතයද මට එපා කරන තරමට ලොකු කලකිරීමක් තනිවීමක් මං ළඟට එකතු කරලා වගේම අර මං ඉස්සර කැමතියි කිව්ව කලුපාට ලෝකය හැමදාටම මට දීලා. ඇස් පියාගත්තහම කලුපාට ලෝකයක් කියලා මං හිතාගෙන හිටියට ඇත්තටම මේ ලෝකෙට කිසිම පාටක් නැහැ කියලා තේරුම් ගියේ එක දිගටම මේ ලෝකයේ ඉන්නකොටයි. ඇස් පියාගෙන බලන්න ඇත්තටම ඇස් පියාගත්තහම පාටක් දැනෙනවාද කියලා. "

ඔහු කතාව අතරමැද අපිටත් කිව්වා.. .

"ඇස් පේන්නෙ නැතුව ගිය දවසේ ඉඳලා මට කරන්න වැඩක් තිබුණේ නැහැ. මට මාව නිකමෙක් වගෙ දැනෙන්න ගත්තා. මං ගෙදරින් එලියට බැස්සෙ ඒ ඇති වෙච්ච කලකිරීම එක්ක. මං එහෙම ගෙදරි එලියට බැස්සට පස්සෙ මං කොහේ ගියාද කියලා මං දන්නෙ නැහැ. ඒත් කොහොම හරි මං අන්තිමට ඇවිල්ලා නැවතුනා පුංචිම කාලේ කලුවරෙ චිත්‍ර ඇඳපු තැනට. මට කරන්න වැඩක් නැති කමට තමයි මම ආයෙත් චිත්‍ර අඳින්න පටන් ගන්නෙ. අර පොඩි කාලේ කලුවරේ බිත්තියෙ ඇන්ද බලිකුරුටු පොත් වල අඳින්න ගත්තා. ඒ මගේ ඇස් පේනකොට දැක්ක ලෝකයේ තිබුණු දේවල්, දැනුන දේවල්. මං දන්නෑ මං හිතාගෙන අඳින දේවල් ඇත්තටම ඇඳෙනවද කියලා. ඒත් මං අඳින දේවල් වලට දැං මිනිස්සු කැමති වෙලා ඒවා සල්ලි දීලා මගෙන් ගන්නවා. "


 ඔහු කතාව අවසන් කරෙ.. "අපි ජිවත් වෙන ලෝකය කොහොම ලෝකයක් වුනත් අපි දැනගන්න ඕන ඒ ලෝකය මගේ ලෝකය කියලා මට ඕන විදියට හදාගන්න" කියලා කියමින්. ඒ කතාවට මම කොච්චර සවන් දුන්නද කියනවනම් මට කතාව අතරතුර චරිත් දිහා බලන්නවත් අමතක වුනා. කතාව ඉවර වුනහම මං චරිත් දිහා බලනකොට චරිත් ගෙනාපු බෑග් එකේ තිබිලා ගත්ත ෆොටෝ එකක් චරිත්ගෙ අතේ තිබුණා ඇස්වලත් කඳුලු පුරවගෙනො, ඒ ෆොටෝ එක ගොඩක් පරණ එකක් වුනත් ඒ චරිත්ගෙ තාත්තා කියලා අඳුරගන්න පුළුවන් කමක් තිබුණා. එදා ඒ වෙලාවේ චරිත් ඔහු එක්ක කතා කරන්න ගියෙ නැහැ. චරිත් එහෙම කතා නොකරෙ මොන හේතුවක් නිසාද කියලා මං දන්නෙ නැහැ. මං අහන්න ගියෙත් නැහැ. අපි එදා ගෙදර එනකම් චරිත් කතා කරේ තාත්තා ගැන නෙවෙයි අම්මා ගැන. එක චිත්‍රයකින් අවුරුදු ගානකට කලින් අතුරුදන් වුන මනුස්සයෙක්ව අම්මට හොයාගන්න පුළුවන් වුන එක ගැන විතරයි !

Top