"තාත්තගෙ පුතා නෙවෙයි! පුතාගෙම තාත්තා". (654)

post-title

ගෙදර තිබුණු හැම ජනේලයක් උඩින්ම පොඩි හුළං කවුලුවක් තිබුණා. ඒ කවුලුව උඩ අප්පච්චි රුපියලේ සත පනහෙ කාසි තියනවා. ඉල්ලපු ගමන් දෙන්න සල්ලියක් අප්පච්චිගෙ අත ගැවසුනෙත් නැති නිසා මං අප්පච්චිගෙන් සල්ලි ඉල්ලන්න ගියෙත් නැහැ. ඒත් අප්පච්චි අරම හුළං කවුලු උඩ මාරු කාසි තියන්නෙ මම ගන්නවා කියලා දැන දැනමයි. පස්සෙ කාලෙක අප්පච්චිගෙන් මං ඔය ගැන ඇහුවහම අප්පච්චි කිව්වෙ ඇත්තටම ඒවා තියලා තියෙන්නේ උඹට ගන්න කියලා. අම්මා ඒ වැඩේට එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. අප්පච්චි මට එහෙම ගන්න සල්ලි තියෙන එකට. ඒ මම කඩචෝරු කන නිසා. අම්මා අප්පච්චිට සමහර දවස් වලට බනිනවා ඔහේ තමයි කොල්ලව නරක් කරන්නෙ කියලා.

ඔය කියපු හුළං කවුලු තියෙන්නේ අප්පච්චි හිටගෙන ඉඳලා අත ඉස්සුවහම අප්පච්චි අත ළඟ. ඒත් මම ඒ හුළං කවුලු වලට අත දාන්න නම් ජනෙල් උඩට නගින්න ඕන. ජනෙල් උඩට නැග්ගත් මුලු අතම හුළං කවුලු ඇතුලට දාන්න බැහැ මං උස නැති නිසා. බැරි වුනත් කොහොමහරි වෙර දාලා අප්පච්චි තියෙන සල්ලි මං ගන්නවා 

ඒ ගන්න රුපියලේ සත පනහෙ කාසි වුනත් දවස ගානේ ගත්තෙ නැහැ. එහෙම ගත්තත් ගන්නෙ එතන කාසි කොච්චර තිබුණත් මට ඒ වෙලාවට ඕන ගාන විතරයි. 

අප්පච්චි තරමට මාත් උස ගිහින් අප්පච්චි තරමට හයිහත්තිය මට එද්දි, අප්පච්චිට තිබුණු හයිහත්තිය අඩුවීගෙන එන තත්වෙකට ආවා. ඒ වෙනකොට අප්පච්චි රස්සාවට යන එක මම නැවැත්තුවෙ බලහත්කාරයෙන් වගෙ. අප්පච්චි චුට්ටක්වත් කැමැත්තක් තිබුණේ නැහැ මගෙන් යැපෙන්න. අප්පච්චිට ඕන වුනේ ජිවත් වෙලා ඉන්න කල් අප්පච්චිගෙ කකුල් දෙකෙන් හිටගන්න දරුවෙක්ටවත් අත පාන්නෙ නැතුව. 

අප්පච්චිගෙ ඔය මුරණ්ඩුකම බිඳලා දාලා අප්පච්චි රස්සාවට යන එක නවත්තන්න මං රස්සාවක් කරන්න පටන් අරගෙන අවුරුද්දක් දෙකක් විතර ගියෙත් ඒකමයි.

අප්පච්චි ගෙදර ඉන්න නිසා අප්පච්චිගෙ අතේ ඉස්සර වගෙ සල්ලි ගැවසුනේ නැහැ. ඒත් අප්පච්චි ගෙදර වත්තෙ හැමතැනම වගා කරා ඒ වගාව බලාගත්තෙ හරියට දරුවෙක්ව බලාගන්නවා වගේ ආදරෙන් පරිස්සමට. ඔය වගාවෙන් ලැබෙන ඵලදාව ගෙදරටත් අරගෙන ගමේ තියෙන එළවළු කඩේට දැම්මෙත් අර මුරණ්ඩු කම නිසාම තමයි. ඒ වෙනකොට අපිට මුදල් වලින් අඩුවක් තිබුණේ නැහැ. ඒත් අප්පච්චිට ඕන වුනේම එයාගෙ මහන්සියෙන් හම්බකරන්න.

කාලයක් ආවා අප්පච්චිගෙ අතේ සල්ලි කීයක්වත් ගැවසෙන්නෙ නැති. අප්පච්චිට සල්ලි වුවමනාවක් වුනානම් වුනේ ඔය බීඩි මිටියක් ගන්න නැත්තම් ඉඳලා හිටලා බොන අරක්කු කාලක් ගන්න. ගෙදර වියදම් සල්ලි මං අම්මට දෙන නිසා අප්පච්චිට බැරුව ගියා අම්මගෙන් සල්ලි ඉල්ලන්න මොකද අම්මා තදින්ම අකමැත්තෙන් හිටියේ අප්පච්චි බීඩි, අරක්කු බොන එකට.

මට අප්පච්චිගෙ අතට සල්ලි දෙන්න හයියක් තිබුණේ නැහැ බීඩි, අරක්කු බොන්න කියලා දැන දැනම. ඒ දවස්වල අප්පච්චිගෙ මූන මලානිකයි. මට බැරි වුනා ඒ මලානික වෙලා තියෙන අප්පච්චිගෙ මූන බලන්න. මට ඕන වුනා අප්පච්චි ඉඳලා හිටලා හරි අරක්කු ටිකක් බීලා වෙනදා වගේ ඉන්නවා දකින්න.

මං කරේ වැරද්දක් ද දන්නෙ නැහැ! අප්පච්චි ඉස්සර මට ගන්න හුළං කවුලු උඩ සල්ලි තියනවා වගේ මාත් අප්පච්චිට පේන තැන් වලින් සල්ලි තිබ්බා අම්මට නොතේරෙන්න අප්පච්චිට විතරක් ගන්න.

අප්පච්චිත් ඉස්සර දැනන් හිටියා මං අප්පච්චි තියෙන සල්ලි වලින් කරන්නෙ කඩචෝරු කන එක තමයි කියලා. මාත් එහෙම සල්ලි තිබ්බෙ අප්පච්චිට බීඩි, අරක්කු බොන්න කියලා දැන දැනමයි. 

මං අප්පච්චිට ගන්න කොච්චර සල්ලි අතන මෙතන තිබ්බත් අප්පච්චි ඒ සල්ලි වලින් ගන්නෙ බොන දවසට ගන්න අරක්කු කාලේ සල්ලි විතරයි. අප්පච්චි අරක්කු කාලේ සල්ලි විතරයි අරගෙන තියෙන්නේ කියලා මම දැක්කහම මට මතක් වෙන්නෙ මාත් ඉස්සර එහෙමනේ කියලා. එතකොට මට හිතෙනවා "තාත්තගෙ පුතා නෙවෙයි! පුතාගෙම තාත්තා" කියලා.

අප්පච්චිට ගන්නම හිතාමතා මං අතන මෙතන තියන සල්ලි ගැන අම්මා දැනගෙන අම්මා මට දවසක් දොස් කිව්වා. "උබ තමයි තාත්තට බීඩි අරක්කු බොන්න සල්ලි දීලා නරක් කරන්නෙ" කියලා. ඒත් ඒ වෙනකොට අප්පච්චි ඉස්සර තරම් බීඩී අරක්කු බොන එක ගොඩක් අඩු කරලා තිබුණේ. බීඩි නම් බොන්නෙ නැති තරම්. අරක්කු ටිකක් නම් මාසෙකට දෙතුන් වතාවක් නොවරදවා බිව්වා.

අප්පච්චි මට ගන්න හුළං කවුලු උඩින් සල්ලි තියලා මාව නරක් කරාද? මං අප්පච්චිට ගන්න අතන මෙතන සල්ලි තියලා අප්පච්චිව නරක් කරාද? කියලා මම දන්නෙ නැහැ. හැබැයි මං අප්පච්චි තියපු සල්ලි අරගෙන මොනවා හරි කඩචෝරුවක් කෑවහම මට ලැබුණු සතුට මං අප්පච්චිගෙ ඇස් වලිනුත් දැක්කා මාසෙකට දෙතුන් වතාවක් අරක්කු ටිකක් තොල ගාලා ඉන්නකොට.

Top