වැහි එක්ක මං - පරිසරය කියන්නෙත් ජීවිතේ කියා දෙන තක්සලාවක්

post-title

කොන්ක්‍රීට් එක්ක හැප්පිලා කොන්ක්‍රීට් තට්ටුවල ජීවත්වෙලා දවස් කීපයක් විවේක ගන්න, ගහකොළ පිරුණු පරිසරයකට ආවම තමයි ආත්මය හෝදාගෙන යන සැඩ පහරක් වගේ කාන්සියක් දැනෙන්න පටන් ගන්නෙ. කොන්ක්‍රීට්වල තියෙන නිස්සාරකම නිසා ම ගහකොළේ වටිනාකම වැඩියෙන් මතුවෙලා දැනෙනවා ඇති. 

ඉස්සර පරිසරය පාඩමට අපිට කටපාඩම් කරවපු නිසාම අපි ලියපු රචනා මට මතක් වෙනවා. ‘පරිසරය ආරක්ෂා කරන්න ඕනි’ කියලා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව අපේ කන් ගාව මන්තරයක් වගේ මැතිරුවා. ඔව් ඒක ඇත්ත තමයි. ඒ වුණාට ‘ඇයි අපි පරිසරය ආරක්ෂා කරන්නෙ?’ කියලා අපි අහපු ප්‍රශ්නෙට උත්තරයක් හොය හොයා එයාලා හතර අතේ දිවුවා මිසක් ඇත්තම කාරණේ අඳුර ගත්තෙ නැහැ. අපි ගහ කොළ ආරක්ෂා කරන්න ඕනි සතුන්ගෙ වාස භූමි ආරක්ෂා කළ යුතු නිසාවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන නිසාවත් දේශගුණික විපර්යාස ඇතිවෙන නිසාවත් නෙවෙයි. මනුසත් පරම්පරාව අධ්‍යනය කළ යුතු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත්වල සඳහන්වෙලා නැති හැම පාඩමක් ම සොබා දහම ඇතුළෙ තියෙන නිසා. විද්‍යාව දියුණුයි. මිනිස් මොළය අද්විතීයයි. ඒ නිසා අර උඩින් කියපු කාරණාවලට පැලැස්තර තාක්ෂණයෙන් ම සොයා ගනියි. හැබැයි සොබා දහමේ ආත්මීය පාඩම් මිහිතලයෙන් වඳවෙලා ගියොත් ඒ පාඩම් මතක් කරලා දෙන්න කිසි කෙනෙක් නැති වෙයි. 

පෙරුම් පුරලා කල් යල් මැනලා හීන් හීතලේ පින්නට නැහැවිලා හිමිදිරියේ පිපෙන මලක ජීවිත කාලය පැයවලින් ගණන් කරන්න පුලුවන්. ඒ වුණත් ඒ පැය කීපය ඇතුළත අපිට කියලා දෙන දේ කිසිම කාල සීමාවක් නැතිව හැම මනුස්ස පරම්පරාවක් ම අඳුර ගන්න ඕනි දෙයක්. 

මලක් තමන්ගෙ රොන් සමනලුන්ට, බඹරුන්ට, පැණි කුරුල්ලන්ට ඕනිම කුලයකට බෙදනවා. නටු අග්ගිස්සෙන් පැණි ඉරුවොත් ඔයාටයි මටයි වුණත් පැණි බොන්න පුලුවන්. තමන්ගේ මිහිරිතම සාරය අනුන් වෙනුවෙන් බෙදන මලක් කිසිම දවසක ස්තූතියක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. තමන්ගෙ සේවය ලබාදෙන වෙලාවල් ටයිම් ටේබල් ඇඳලා තීරණය කරන්නෙත් නැහැ. වැදගත් ම දේ තමන් රොන් බෙදනවා ය කියලා බෝඞ් කෑලිවල ලියලා, ලීෆ්ලට් බෙදලා, ඇඞ්වර්ටීස්මන්ට් දාලා උත්සව තියලා ලෝකයටම කියන්නෙත් නැහැ. තමන්ගේ සාරය අවශ්‍යම කෙනාට පිළිගන්වනවා මිසක් එහායින් පිපුණු මලේ රොන් ඇඹුලයි කියලා දෝෂාරෝපණය කරන්නෙත් නැහැ. 

ඵලදාව පිරුණ ගහක් වුණත් තමන්ගෙ ආදරය ලෝකයට බෙදන්නෙ ඒ වගෙයි. ඵල ඇති ගහක් එක්ක මනුස්ස ජීවිතයක් බද්ධ වුණාම ‘ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ’ වගේ රුවන් වැකි බිහි වුණත් මනුස්ස ඇස්වලය මග හැරුණ, මඟ නොහැරිය යුතුව තිබුණ තැන් බොහෝමයි. 

මට මතක් වුණා අපේ කොන්ක්‍රීට් ඉඩමෙ පුංචි පස් කණ්ඩියක පැල වුණ පිච්ච වැලක්. මුල් ශක්තිමත් ව තියෙනවා නම් තමන් දිගේලි වෙන පරිසරය ගැන එයා හිතන්නෙ නැහැ. තමන්ගෙ වර්ගයටවත් අයිති නැති හදවතක් නැති කොන්ක්‍රීට් කණුවක් වුණත් තදට බදාගෙන ඉඹිනවා. තමන් ශක්තිමත්ව ඉන්න තාක් දුරට තමන්ම සිප ගන්න දේවල් ගැන එයාට බයක්, සැකක්, පිලිකුලක් නැහැ. 

මල් පෝච්චිවල වහල උඩ ගස්වැල් පැලවෙනවා තමයි. ඒ වුණත් ඒවා හරි පවු කියලා මට හිතෙනවා. නෝක්කාඩු නොකියා කොන්ක්‍රීට් එකක් වුණත් බදාගෙන ඉඹින ඕනිම කෙනෙකුට තමන්ගේ ආත්මීය සාරය පුදන එයාලගෙ ආදරයෙන් අපි අයුතු ප්‍රයෝජන ගන්නවා. මිනිස්සු කොහොමත් පොළොව උඩ හිටගෙන ඉන්නෙ දෙපයින් නෙවෙයි. ආකල්ප ඕනි කරන්නෙ කොතනටද කියලා සිහි බුද්ධියෙන් කල්පනා කරන්නෙ නැතුව කොතනකින් හරි පවතින දේට විරෝධාකල්ප ගේනවා. ජීවය නිර්මාණය වෙනකොට ම සොබා දහමේ හැම නියමයක්මත් නිර්මාණය වුණා. ඒ නියමයන් හැම එකක්ම මනුස්ස ආත්මය ඇතුලෙන් සොබා දහම විසින් තැන්පත් කරලයි තියෙන්නෙ. මේ නියමයන්ට එරෙහිව තමන්ගෙ ක්‍රියාකාරකම් සිතුවිලි පාලනය කරනවා කියන්නෙ මනුෂ්‍යා තමන්ගෙම ආත්මයට එරෙහිව කැරලි ගහනවා කියන එක. තමන්ගෙම ආත්මය තමන්ගෙම සිතුවිලි වලින් පරාජය කලාට පස්සෙ මනුෂ්‍යයෙකුට දිනාගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. පන්සල් පල්ලි කෝවිල් හදාගෙන මොන දෙවියන් ළඟ වැඳ වැටුණත් ඒ පරාජයෙන් දැවෙන හිත සමනය කරගන්න ලැබෙන්නෙ නැහැ. මිනිස්සු කොහොමත් නහය කෙලින් අල්ලන්නෙ නැහැ. කන වටේ අත යවලා නහය අල්ලන්න ට්‍රයි කරනවා.   

ඔයයි මමයි මේ දේවල් ගැන  දිගින් දිගටම කතා කරන්න ඕනි. අපේ පිටි පස්සෙන් එන පරම්පරාවටත් මේ දේවල් හිතන්න කාලය, අවකාශය, බුද්ධිය දෙන්න ඕනි. අපේ ඉහළ පරම්පරාව අපිට කියලා නොදුන්න දේවල් පහල පරම්පරාවට සංවේදී කරන්න පුලුවන් නම් මනුස්ස ලෝකයේ දිශානතිය වෙනස් වේවි කියන එක ස්ථිරයි. 

 

Top