වැහි එක්ක මං තීරු ලිපිය ජීවිතය කියන්නෙම යාම් ඊම් සහ අල්ලා ගැනීම් අත්හැරීම අතර රදා පවතින දෙයක් (217 වන ලිපිය)

post-title

අද සෙනසුරාදා. වෙලාව රෑ 11.30 යි. මම බෝඩිම් කාමරෙන් එළියට ඇවිත් කොළඹ පාරට බැස්සා. කොළඹ නගරය මට අසීමිත ප්‍රේමයත් හුදෙකලාවත් එකවර හිතට කැන්දන නගරයක්. මේ අහස ලංකාවෙ අනික් අහසවලට වඩා විශේෂයි. මේ පොළව නිකම්ම නිකම් භූමියක් නෙවෙයි. දහස් ගණනක් හැගීම් දරාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන අහසක්. උත්තුංග සැහැල්ලුව. මම සමන් ලෙනින්ගෙ ගීතයක් මිමිණුවා.

“දුහුල් වළා ගලා බසින

කොළඹ අහස නිසංසලයි

ඒ උත්තම සැහැල්ලුවට හිස නමපල්ලා”

දියවන්නාවෙ එහා කෙළවරේ ගස් පේළිය වතුරට නැමිලා. තමන්ගෙ ඡායාව වතුරෙ අඳිනවා. වතුරට නැමුණු විදුලි බුබුලු අවර්ණ ජලයෙනුයි කලු වටපිටාවෙනුයි ඒ සිත්තම මුදවලා ජල තීරයේ ඉස්මතු කරන්න උත්සහ ගන්නවා. කවුද කියන්නෙ කොළඹයි ගහ වැලයි පසමිතුරුයි කියලා.. මිනිස්සුන්ටයි ගහවැලටයි එක් වෙලා නිර්මාණය කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. අවුල තියෙන්නෙ අපි හැසිරෙන ක්‍රමයටත් වඩා අපේ ආකල්පවල.

දියවන්නාවෙ චිත්‍රය නිසංසලයි. මොකක් හෝ දේකින් වතුර චංචල වුණාම සිතුවම දෙකට - තුනට - පුංචි කෑලිවලට කැඩිලා යනවා. ආයෙමත් විනාඩි කිහිපයක් ඇතුළත දිය නිසල වෙනවා. සිතුවම පැවතුන විදියටම ජීවමාන වෙනවා. ගහ වැලයි විදුලි බුබුලුයි එක්කහු වෙලා මවපු මේ නොසැලෙන සිතුවම දිහා බලාගෙන ඉන්න කොට මට මා හදුනා ගත්ත මිනිසුන්ව මතක් වුණා.

මම හුස්ම ගත්ත මේ අවුරුදු විසිගාණ ඇතුළත මට මිනිස්සු වර්ග දෙකක් හමුවෙලා තියෙනවා. එක් කොට්ඨාසයක් කිසිම බයක් සැකක් නැතිව අත දිග හැරලා ජීවිතය වියදම් කරන මිනිස්සු. ඔවුන් හරියට - මේ දිය බිදෙන සුලු බව දැනගෙන ඒ දියමතටම ප්‍රේමය විසුරුවමින් සිතුවම් අදින මේ ගහවැල වගේ. මෙයාලව එක්තැන් කරවන්න නීති රීතිවලට සංස්කෘතියකට අමාරුයි. එයාලව මෙහෙයවන්නෙ මනුෂ්‍යත්වය පිළිබද හැගීම විතරයි. ස්වාධීන තනි තීරණ ගන්න මේ පිරිස අත්දැකීම්වලටයි නැවුම්භාවයටයි විවෘතයි. මේ ඇස්වලට කලු - සුදු වර්ණ පේන්නෙ නැහැ. ඒ වෙනුවට ඔවුන් දකින්නෙ අලු වර්ණය. කලර්ෆුල් තැනක වුණත් එයාලා වර්ණ ගණනාවක් එක පාර ඇස් දෙකට ඔබා ගන්නවා. මම මේ මිනිස්සු එක්ක ජීවිතයට හරිම ප්‍රිය යි. කිසි කෙනෙක් ගැන ජජ්මන්ට් ඉදිරිපත් නොකරන නිසා ඕනම කෙනෙකුට ඔවුන් ඉදිරියේ හුස්ම ගන්න පහසුයි.

දෙවෙනි වර්ගය සුදට හෝ කලුවට ජීවිතය නීට්ව පිරිසිදුව ගෙනයන පිරිස. සම්පූර්ණයෙන්ම වගේ සංස්කෘතියේ නීති රීතිවල නිර්මාණයක්. ඔවුන් ඉතාම සුදු හෝ ඉතාම කලු චරිත. ඔවුන් දකින්නෙත් ඔවුන්ට පෙනෙන්නෙත් කලු - සුදු වර්ණ පමණයි. කලර්ෆුල් තැනක වුණත් වර්ණ වෙන වෙනම හදුනා ගන්න තමයි ඔවුන් උත්සහ කරන්නෙ. අඩි රූලක් තියලා ඉරි ගහනවා වගේ මනුෂ්‍ය අභ්‍යන්තරයෙ කොටස් බෙදා ගෙන බෙදා ගෙන යන්න ඔවුන් දක්ෂයි. මෙයාලා ඉන්දියාවෙ සන්ධීය ප්‍රාන්තයක් වගේ. ස්වාධීනත්වය එළිපිටට පේන්න තිබුණට හදිසි අවස්ථාවලදි සම්පූර්ණයෙන්ම මධ්‍යම ආණ්ඩුවකට - ඒ කියන්නෙ තමන්ට පිටස්තරයන් විසින් සකසා දුන්න යම් දෘෂ්ටියකට යටත් වෙනවා.

මේ මනුෂ්‍ය කණ්ඩායම් දෙක වීදුරුවක් සහ කැඩපතක් වගෙයි. කැඩපතක් ඔබට ගේන්නෙ ඔබ පිළිබද පරාවර්තනයක්. ඔවුන්ව විනිවිද දකින්න අපහසුයි. වීදුරුවක් ඔබට දෙන්නෙ වීදුරුව පිළිබද විනිවිදභාවයක්. එයින් ඔබට ඔබව සොයා ගන්න අපහසුයි. වඩාත්ම වැදගත් කාරණේ - කැඩපතකට ඔබ ආලෝක කදම්භයක් නිකුත් කළොත් එහි පරාවර්තිත ආලෝකයක් ඔබට දැක ගන්න පුලුවන් වීම. කැඩපත් බිදෙන තරමට ආලෝකය විහිදුවනවා පරාවර්තන රැසක් ඔබට ගෙන දෙනවා. වීදුරුවක් බිදීම්වලට පත් වෙන්න නරකයි. බිදීමකින් පසුව වීදුරුවක් ඉවත දමන්න සිදු වෙනවා. අලවලා හදලා ගත්තත් අනෙක් හැම දේටම වඩා බිදුම් පාර ඉස්මතු වෙනවා.මේ නිසා නිතරම වීදුරුවලට ප්‍රවේශම් වෙන්න සිදු වෙනවා. මා කලින් සදහන් කළ දෙවන මනුෂ්‍ය කොට්ඨාසයට නිතරම පවතින්නෙ බිය විසින් මතු කරන කල්පනාකාරිත්වයක්. බිදීම් ඇති වුණොත් බැදීම් නවතිනවා කියන සංකල්පනාවෙන් ඔබ්බට ඔවුන් පා තබන්න බියයි. පළමු මනුෂ්‍ය වර්ගය කැඩපත් වගෙයි එහෙමත් නැත්නම් බිදෙන - නිසල වෙන - සිතුවම සුරකින දියවන්නාවෙ රාත්‍රී ජල තරංග වගෙයි. මේ වෙනස තදින් දැණුන හවසක මම ෆෙස් බුක් එකේ මෙහෙම සටහනක් තැන්පත් කරලා තිබුණා.

ජීවිතය, යාම් - ඊම් අතරත් අල්වා ගැනීම් - අත හැරීම් අතරත් රදා පවතින්නක්ය.

වීදුරුවන් බිදී විසිරෙන මිනිසුන්ගේ පලා යාමත් ;

බිදෙන තරමට ආලෝකය විහිදුවන කැඩපත් සදිසි මිනිසුන්ගේ නොනවතින වැළද ගැනීමත් ; 

යළි යළිත් අත් විදිමින් කාලයෙහි සැරි සරමි.

Top