ගුරු මතක දිනපොත තීරු ලිපිය : අපි දරුවන්ට ආදරය කරන්න පුරුදු වෙමු (403)

post-title

ගතට දැනෙන සීතල මාව වෙලාගන්නට මත්තෙන් සුපුරුදු විදියට ලෑස්ති වෙලා මම ඉස්කෝලෙට දුවන්න ලෑස්ති උනේ පුංචි උන්ගේ උණුහුමට මේ හීතල මකන්න පුළුවන් නිසා. බෝඩිම් ගෙදර ඉදන් ඉස්කෝලෙට ඒ හැටි දුරක් නැති උනත් මට ඕනි උනේම ඒ තාර පාරේ මඟක් දුර යනකන් දුවන්න. තුරුණුවියත් එක්ක ගුරු ජීවිතයට එන ඒ ජවය ජීවිතයට ආශිර්වාදයක්.

" ටීචර් ගුඩ් මෝනින් "

ඒ මට හැමදාමත් හුරුපුරුදු කටහඬවල්

ළමා නිවාසේ බොහෝමයක් දරුවන්ගේ ජීවිතය රැඳුනේ පාසලේ. මම ඉස්කෝලෙට යන වෙලාවට දානෙ අරගත්ත පුංචිත්තන් ළමා නිවාසේ වැට මායිමට වෙලා කෑගහන්න බලන් ඉන්නෙම ඒ හිත්වලින් උදුරගත්ත ලෝකය කාගෙන්ම හරි ලැබෙනකන්.ඇත්තටම මම ඒ බලාපොරොත්තුවලට ආදරෙයි.

" ගුඩ් මෝනින් ගුඩ් මෝනින් , පරිස්සමෙන් එන්න කට්ටියම, මම යනවා "

ඒ සතියේ ජවසම්පන්න ආරම්භය.

ඔව් අද සඳුදා,

උදේ රැස්වීම පටන්ගන්න කලින් වටපිටාව පිරිසිදු කරන්න දෙමව්පියන් ඇවිත් ඉන්න නිසාම ඉස්කෝලේ උඩහ කොටසෙ ඉන්න පුංචි උන් හරියට දඟලන්නෙ කඩිගුලක ඇවිස්සුන කඩියො වගෙ. 

අතරින් පතරින් නලියන දඟලන කඩි රැල අස්සෙ මම දැක්කා පුංචි ඉශාම් පැත්තකට වෙලා පාර බලන් ඉන්නවා. මම හෙමින් සීරුවට ලඟට ගියත් ඉශාම් දිගටම පාර බලාන හිටියා.

" මොනාද ඔච්චර බලන්නෙ , සෙල්ලම් කරන්න යන්නෙ නැද්ද යාලුවො එක්ක ?"

උත්තරයක් වෙනුවට හැමදාමත් වගේ මට ලැබුනෙ ඇස්දෙක පොඩි කරන් දුන්න ඒ අව්‍යාජ හිනාව විතරයි. මම ඉශාම්ගේ ඔලුව අතගාලා ආපිටම හැරෙනකොට ඉශාම් මට කතා කළා.

" අම්මා "

ඇස්දෙකට ක්ෂණිකව ගලාගෙන ආව කඳුලු හංගගෙන මම ඉශාම්ගෙ අතින් අල්ලගෙන රැස්වීම පටන්ගන්න පිට්ටනිය දිහාවට ආවා.

අහන්න,

ඉශාම් මුස්ලිම් ජාතික දෙමව්පියන්ට දාව එක ශ්‍රේණියේ ඉගෙනගන්න පුංචිත්තෙක්. ආබාධිත මවකගේ සහ පියෙකුට දාව හරිම හුරුබුහුටි පෙනුමක් තිබුන ඉශාම් කවදාවත් එයාගෙ අම්මයි තාත්තයි දැකලා තිබ්බෙ නෑ. 

ඒ ආමන්ත්‍රණය ඒ තරමට අතිශය වේදනාකාරී.

ඉශාම් පෝලිමේ ගිහින් හිටගත්තෙ ළහිරු ලඟ. ඉශාම්ගේ අතිජාත මිතුරා තමයි ළහිරු. දෙන්නම මවයි පියයි අහිමි උන ළමා නිවාසයේ ජීවත්වෙන එකේ පන්තියේ පුංචිත්තන් දෙන්නෙක්.

මිනිස්සුන්ට ජීවත්වෙන්න ආදරේ ඕනි 

මිනිස්සුන්ට ජීවත්වෙන්න බලාපොරොත්තු තියාගන්න ආදරේ ඕනි 

එහෙව් රැකවරණයන් බලාපොරොත්තු වෙන පුංචි මල් කැකුළු පුබුඳුවාලන්නට අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් ද ? ඒක මම මගෙන්ම අහන ප්‍රශ්නයක්

අදට නවතින්නම්

ඉහිලුම් නොදෙන අත්ඳැකීම් 

ප්‍රේමණීයව සමාජය ඉදිරියේ 

මුදාහරින්නට මට හැකිවේවා !

Top