වැහි එක්ක මං - ඉතින් මොකක්ද ඔයාගෙ සීමාව ?

post-title

සැප්තැම්බර් - අප්‍රේල් කාලවලට රත්නපුර පොළවට රත්නපුර රාත්‍රි අහස අහිමි වෙනවා. මේ තමයි සංචාරක කුරුල්ලො රත්නපුරේට එන කාලෙ. හවස පහ හමාර වෙන කොට CIB එක ළග Pizza Hut එක උඩ වගේම මුලු නගරෙම හැම තනි කේබල් එකක් ගානෙම දශමෙන් දශමෙට පුංචි කුරුල්ලො. පාන්දර පහට විතර එයාලා අන්තර්ධාන වෙනවා. නිහඩ සොදුරු ගම් දහස් ගණනක් අවට තියෙද්දිත් මේ කුරුල්ලො රාත්‍රිය ගත කරන්න හැම අවුරුද්දෙම තෝරා ගන්නෙ රත්නපුර නගරය. දෙකට බෙදුණ, දිග වල්ගයක් තියෙන Barn Swallow කියන මේ පුංචි කුරුල්ලො තරම් රත්නපුරයට පෙමින් බැදුන වෙනත් කුරුලු විශේෂයක් මම දන්නෙ නැහැ. කුරුල්ලන්ගෙන් බේරෙන්න තමන්ගෙ හිස්  ආවරණය කරගෙන ලයිට් කම්බි යටින් ඉක්මනින් දුවගෙන යන මිනිස් හදවත් තාමත් නොදන්නවා වුණාට මේ කුරුල්ලන්ගෙ ජීවිතවල රත්නපුර නගරයයි රත්නපුර මිනිස්සුයි ගැන තියෙන්නෙ ආත්මීය බැදීමක්.  

සංචාරක කුරුල්ලෙක් කවදාවත් අහසෙවත් පොළවෙවත් සීමාව ගැන සෑහීමකට පත් වෙන්නෙ නැහැ. තමන් ජීවත් වෙන පරිසරයෙ සීමාවට හිර වෙලා ආහාර හිඟ උණුසුම අඩු කාලවල එයාලා ඒ පොළවෙම වැළලිලා යන්නෙ නැතුව රංචු පිටින් අහසට නගින්නෙ සීමා මායිම් නොතකා අලුත් පරිසරයක් හොයා ගෙන යන්න. මට මේ කුරුල්ලන්ව දැක්කාම සීමා මතක් වුණා. සීමා මතක් වුණාම මිනිස්සුන්ව මතක් වුණා. 

“මගෙ ඉවසීමේ සීමාව පැනලා“

“මටත් සීමාවක් තියෙනවා“

වගේ වචන ඕනි තරම් අපේ කටවලින් පිට වෙලා ඇති. වාසියට හරි අවාසියට හරි මිනිස්සු හැම වෙලාවෙම තමන්ගෙ දරා ගැනීමේ, හැකියාවේ සීමාව ගැන හිතනවා.  ඒ ලෙවල් කරන කාලෙ මම හැම වාර විභාගෙකදිම ගුරුවරු එක්ක රණ්ඩු අල්ලපු කාරණයක් තිබුණා. ආර්ට් විෂයන්වලදි අපිට රචනා ප්‍රශ්න ලියන පේපර් ලැබෙන්නෙ. බහුවර්ණ වගේ නෙවෙයි රචනා උත්තරේක මාර්ක්ස් තීරණය වෙන්න හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඒ කාලෙ මම උපරිම උත්සහය දරලා උත්තර ලිවුවත් මට ලැබුන උපරිම මාර්ක් එක පහළවෙන් දහ හතර. පහළවෙන් පහළවම මට කවදාවත් ලැබුණෙ නැහැ.

“ඉතුරු ලකුණ ගන්න මම මොනවද ලියන්න ඕනි ? “ කියලා මම අහපු ප්‍රශ්නෙට හිත සැටිස් වෙන විදියෙ පිළිතුරක් කිසිම ගුරුවරයෙක්ගෙන් මට ලැබුණෙ නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර හොයා ගන්න මට අවුරුදු පහක් ගත වුණා.

පහළවෙන් පහළව කියන්නෙ පිළිතුරක උපරිමය. ඔයා කවදා හරි ඔයාගෙ උපරිමයට ආවොත් එතනින් එහාට ඔයාට වර්ධනය වෙන්න අවකාශයක් නැති වෙනවා. උපරිමයෙන් එහාට ඔයාට ඉතුරු වෙන්නෙ මාර්ග දෙකයි. එක්කො උපරිම සීමාව දිගටම පවත්වාගෙන සරල රේඛීය තිරස් මාවතක ගමන් කිරීම. එහෙම නැත්නම් ඍණ අගයකට පල්ලම් බැහීම. මිනිස්සු තවමත් තමන්ගෙ හැකියාව ගැන නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි එයාලට ඇත්තටම සීමාවක් නැහැ කියන එක. සීමාව කියන්නෙ පවතින දෙයක් නෙවෙයි. ඔයා හිතේ මවා ගත්ත දෙයක් ඔයා හැම වෙලාවෙම ඔයාගෙ පරිධියේ ජීවත් වෙනවා නම් ඔයාට පෙනෙයි ඒ පරිධිය තවත් ඈතට පැතිරෙනවා කියලා. මිරිගුවකින් නිර්මාණය වුණ වතුර විලක් අල්ලන්න හිතා ගෙන ඉස්සරහට යන්න යන්න ඒ විලේ දර්ශනය තවත් ඈතට යනවා. මේක අත්දැකපු කෙනා “මේක තමයි මගෙ උපරිමය“ කියනවට වඩා “මම තාම මගෙ උපරිමයට ආවෙ නැහැ“ කියන වාක්‍යය පාවිච්චි කරනවා.  

ජර්මන් පුරාවෘතයකට අනුව, සීමාවක් ගැන සැකයක් හිතේ තියා ගන්නෙ නැතුව රත්නපුරේට එන Barn Swallow  පුංචි කුරුල්ලගෙ දෙකඩ වුණ වලිගයෙන් පෙන්නන්නෙ අසීමිත නිදහස. මනුස්ස ජීවිතේදි බරපතල දුක්ඛයන් ගණනාවක් අත් දැකලා, ඒ දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න එයාට ලැබුණ කුරුලු ආත්මයේදිත් එයා මිනිස්සුන්ට අසීමිතව පෙම් බදිනවා. ගොඩක් රටවල ගොවියො මේ කුරුල්ලාව සලකන්නෙ වාසනාවේ සංකේතයක් විදියට. වගාවලට හානි කරන කෘමි සත්තුන්ව ඉවත් කරලා එයා මහන්සි වෙලා වැඩ කරන ගොවීන්ට උදවු කරනවා.

සාමාන්‍යයෙන් නම් එයා කැමති නිදහස් නිස්කලංක පරිසරයට. ඒ වුණත් ලෝබ නැතුව රත්නපුර අහස වහගෙන රත්නපුර කලබලකාරී පරිසරය මැද්දෙත් රත්නපුරට පෙම් බැදලා ගිමන් නිවන්න එනවා. මම තවමත් මගේ උපරිමය අත් දැකලා නැහැ කියන කාරණය මේ පුංචි කුරුල්ලා මට ආයෙ ආයෙත් මතක් කරලා දෙනවා.

Top