"සමාවෙන්න තාත්තෙ" කියලා මං ලෝක පියවරුන්ගෙ දිනයේ අම්මා ගැන රචනාවක් ලියුවා (494)

post-title

ඉස්කෝලෙදි ලියපු හැම රචනයකටම අඩුම ලකුණු තිබුණේ මට. මගේ රචනා වලට ලකුණු අඩු වෙන්න ලොකුම හේතුව වුනේ මගෙ අකුරු පැහැදිලි නැති එකයි. මං ලියන අකුරු මට ම විතරයි කියවන්න පුළුවන්. කොච්චර උත්සාහ කරත් තව කෙනෙක්ට පහසුවෙන් කියවන්න පුළුවන් විදියට මට අකුරු ලියන්න බැරි වුනා. ඔය ලියන අකුරු වලින් හ, ත, න, ක, ග වගෙ අකුරු එකම විදියටයි ලියවුනේ.

මගේ රචනා කියවන හැමෝම කරේ මගෙ අපහැදිලි අකුරු වලට අවධානය දීපු එක විතරයි. මං අපහැදිලි අකුරු වලින් ලියපු රචනාවට කවුරුත් ලොකු අවධානයක් දුන්නෙ නැහැ. එහෙම අවධානයක් දුන්නෙ නැහැ කියලා මං කවදාවත් ඕනවට එපාවට කිසිම රචනාවක් ලිවුවේ නැහැ. හැම රචනාවක්ම ලිවුවේ ඒ ඒ මාතෘකාවට ලොකු අවධානයක් දීලා.

මං ලියපු හැම රචනාවක් ම ගෙදරදි මං අම්මට ඇහෙන්නෙ කියවන පුරුද්දක් තිබුණා. මං කියවන රචනා අහන් ඉන්න අම්මා හැමදාම කියලා තියෙනවා ඒ රචනාවේ ලොකු කතාවක් තියෙනවා කියලා. මාත් විශ්වාස කරා මං ලියන රචනාවේ ලොකු කතාවක් තියෙනවා කියලා. ඒත් හැමදාම වගේ වුනේ මං ලියපු කතාවට වඩා මං ලියපු අපහැදිලි අකුරු වලට අවධානය ගිය එක විතරයි.

අවුරුදු ගානක් ඉස්කොලේ හිටිය සිංහල මිස් විශ්‍රාම ගියාට පස්සෙ අලුත් සිංහල ගුරුවරයෙක් එන්න මාසයක් විතර ගියා. ඒ කාලෙ අපිට සිංහල ඉගැන්නුවෙ චිත්‍ර විෂය කරපු සර් කෙනෙක්. ඒ සර් අපිට සිංහල උගන්වන්න එන්න කලින් ඉඳලා මම ඒ සර් ට පුද්ගලිකව ලොකු කැමැත්තක් තිබුණා අනිත් ගුරුවරුන්ට වඩා. ඒකට හේතුව වුනේ ඒ සර් වෙන ගුරුවරුන්ට වඩා ළමයින්ට ලොකු සවන්දීමක් තිබුණු නිසා. 

සර් අපිට සිංහල උගන්වන කාලය අතරතුර තමයි ලෝක පියවරුන්ගෙ දිනය ආවේ. සර් ඉස්කොලේ හැම පන්තියකට ම කියලා තිබුණේ ඒ වෙනුවෙන් රචනාවක් ලියන්න කියලා. ඒ ලියන රචනා වලින් හැම පංතියකින් ම හොඳම එක රචනාවක් තෝරගෙන ලෝක පියවරුන්ගෙ දිනයට ඉස්කොලේ පවත්වන්න යොදාගෙන තියෙන උත්සවෙ දවසෙදි හැමෝටම ඇහෙන්න කියවනවා කියලා. ඒ වගේම ඒ තෝරගන්න රචනා වලින් හොඳම රචනා තුනකට තෑගිත් දෙනවා කියලා. පළවෙනි ස්ථානය ලැබෙන රචනාව කියවන්නෙත් සර් මයි කියලා.

ඉස්කොලේ හැම පංතියකම වගේ ළමයි වෙනදටත් වඩා උනන්දුවෙන් රචනා ලිව්වා තමන්ගෙ රචනාව මුලු ඉස්කෝලෙට ම ඇහෙන්න කියවන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ඇතුව.

මාත් රචනාවක් ලිව්වා හැබැයි පියවරුන්ගෙ දිනයෙදි මං ලිවුවේ අම්මා කියන චරිතය ගැන වර්ණානාවක්. මොකද මං තාත්තා කියන කෙනාව දැකලා තියෙන්නේ අම්මගෙන් නිසා. මං රචනාව ලිවුවේ ඉස්කෝලෙට ඇහෙන්න කියවන්නවත්, හොඳම රචනාවට ලැබෙන තෑගි ගන්නවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මට ඕන වුනේ මං දකින තාත්තා කියන චරිතය ගැන ලියන්න විතරයි. මගේ රචනාවේ උඩින්ම මම ලිවුවේ "සමාවෙන්න තාත්තෙ" කියලා.

ඊටත් මට කොහෙත්ම පුංචිම විශ්වාසයක්වත් තිබුණේ නැහැ මගේ රචනාව සර් රචනා තෝරන වෙලාවෙවත් කියවයි කියලවත්. මොකද මෙච්චර කාලයකට මගෙ රචනා කාටවත් පහසුවෙන් කියවන්න බැරි වුනා මගේ අකුරු අපහැදිලි නිසා. ඒත් මං හිතාගෙන හිටියේ හැමදාම වගෙ ඒ රචනාව අම්මට ඇහෙන්න කියවනවා කියලා.

සර් සති දෙකකට කලින් අපි ලියපු රචනා එකතු කරා. සති දෙකකට පස්සෙ ඉස්කොලේන් සංවිධානය කරපු ලෝක පියවරුන්ගෙ දිනය ආවා. එදා හෝල් එක පිරෙන්නම ගොඩක් හිටියේ අම්මලට වඩා තාත්තලා ඒ අතරින් පතර අම්මලත් හිටියා. 

උත්සවය ආරම්භ කරලා පුංචි පංති වල ඉඳලා පිළිවෙලට එකින් එක තෝරගත්ත රචනා ඒ ඒ ළමයින් ස්ටේජ් එක උඩට ඇවිල්ලා මයික් එක ඉස්සරහ කියවන්න පටන් ගත්තා. සමහර රචනා කියවද්දි ඇස්වලට කඳුලු එන තරමට සංවේදීව ඒ රචනා ලියලා තිබුණා. 

එකින් එක රචනා කියවලා ඉවර වෙද්දි තුන්වෙනි ස්ථානයට තෝරගත්ත රචනාවත් ඒ ළමයා ස්ටේජ් එකට ඇවිත් කියෙව්වා. ඒ රචනාවෙන් අර කලින් කියවපු රචනා වලට වඩා යමක් දැනුනා. දෙවනි ස්ථානයට තෝරගෙන තිබුණු රචනාවත් ඒ ළමයා ස්ටේජ් එකට ඇවිත් කියෙව්වා. දෙවනි ස්ථානය ලැබිලා තිබුණේ අපේ පංතියෙ ළමයෙක්ට. ඒ හැම රචනාවකම අවසානයේ තිබුණේ තාත්තා කියන චරිතය ගැන වර්ණානාවක් සහ ඒ කරන කැපකිරීම ගැන. 

අන්තිමට තිබුණේ පළවෙනි ස්ථානයට තෝරගෙන තිබුණු රචනාව කියවන්න. ඒක කියවන්නෙ අපිට සිංහල උගන්වන චිත්‍ර සර්! 

සර් ස්ටේජ් එක උඩ තියෙන මයික් එක ඉස්සරහට ඇවිත් මුලින්ම කිව්වෙ  "මේ රචනාව තමයි මගේ ජිවිතේ මං කියවපු හොඳම රචනාව" කියලා සර් රචනාව කියවන්න පටන් ගත්තා. 

"සමාවෙන්න තාත්තෙ" කියලා සර් රචනාව කියවන්න පටන් ගනිද්දි මගෙ ඇස්වලට කඳුලු ආවේ මට ඒක අදහගන්න බැරි නිසයි. මං ඒ වෙලාවේ හිටියේ අම්මා ලඟ මං අම්මගෙ අත තදින් අල්ලගන්නකොට අම්මට තේරුනා මගෙ වෙනස අම්මා වචනයක්වත් නොකියා ඇස් වලින් මගෙ ඇහුවා "ඔයා නේද ලිවුවේ" කියලා මාත් වචනයක්වත් නොකියා ඇස්වලින් ම කිව්වා "ඔව්" කියලා. ඔව්! පුළුවන් අම්මලට දරුවන්ට ඇස්වලින් කතා කරන්න.

සර් රචනාව කියාගෙන යද්දි ටිකෙන් ටික අම්මගෙ අතින් මගෙ අත තද වෙමින් තිබුණේ ඇස්වල කඳුලු පිරෙනවත් එක්කමයි.

සර් රචනාව කියවලා ඉවර වෙලා මගේ නම කියලා කතා කරා මට පළවෙනි ස්ථානයට හිමි තෑග්ග දෙන්න. ඒක මට පුදුමයක්! මං සර්ට වැඳලා අත්පොලසන් සද්දෙ මැද්දේ තෑග්ග අරගෙන ආවා. 

මට පළවෙනි ස්ථානය ලැබුණු එකවත් ඒ ලැබුණු තෑග්ග ගැනවත් සතුටක් තිබුණේ නැහැ. එදා ගෙදර ඇවිල්ලා අම්මා එක්ක කතා කරෙත් සර් කොහමද මගේ අපහැදිලි අකුරු කියවලා මගේ කතාව තේරුම් ගත්තෙ කියන එක. ඒක මට කුතුහලයක් වුනා.

පහුවදා ඉස්කොලේ ගියහම මං මුලින්ම සර්ව හොයාගෙන ගිහින් ඇහුවෙ සර් කොහමද මගේ අපහැදිලි අකුරු කියෙව්වෙ කියලා. සර් කිව්වා

"ගොඩක් වෙලා ගියා තමයි රචනාව තේරුම් ගන්න අකුරු අපහැදිලි නිසා. හැබැයි මට පහසුවක් වුනා මං කියවන්න පුරුදු වෙලා ඉන්න විඳිය නිසා" කියලා.

සර් කොහමද කියවන්න පුරුදු වෙලා ඉන්නෙ එතකොට ?

"මං චිත්‍ර ගුරුවරයෙක් නිසා වෙන්න ඇති කියවන හැම වචනයක් ම මං පුරුදු වෙලා ඉන්නවා චිත්‍රයක් විදියට හිතේ මවාගන්න. ඉතින් ඒ වචනෙන් වචනෙ එකතු වෙලා ලොකු චිත්‍රයක් මැවෙනවා අවසානයේ. ඔයාගෙ රචනාවත් ඒ වගෙ ලොකු චිත්‍රයක් මැවුනා මීට කලින් කවදාවත් නොදැකපු විඳියේ."

සර් කියපු දෙයින් පස්සෙ මං සර්ට ස්තුති කරේ මගේ රචනාවක් මේ තරමට අවධානයක් දීලා කියවපු මුල්ම කෙනා සර් නිසයි.

සතියකට විතර පස්සෙ සර් මට පත්තරයක් ගෙනත් දුන්නා. ඒ පත්තරෙත් තිබුණා 

"සමාවෙන්න තාත්තෙ" කියලා මං ලෝක පියවරුන්ගෙ දිනයේ අම්මා ගැන ලියපු වර්ණානාව.

Top