අත්තම්මයි, අම්මයි තමයි අපේ ගෙදර මගෙ වටපිටාවේ ඉන්නෙ. අපි හිටියේ කුලි ගෙදරක. අම්මලගෙ මහ ගෙදර අම්මලා කුලියට දීලා මෙහෙ ඉන්නෙ අම්මා කරන රස්සාව නිසා. අම්මා රස්සාවට යන නිසා මං චූටි කාලෙ ඉඳලා හැදුනේ අත්තම්මගෙ තුරුලෙ. මගෙ තාත්තව මං කවදාවත් දැකලා තිබුණේ නැහැ. තාත්තගෙ නම විතරයි දන්නෙ "සුනිත්" කියලා. අම්මා මට කියලා තිබුණේ තාත්තා රට ඉන්නෙ කියලා. මං පුංචිම කාලෙදි තාත්තා එවන ලියුම් එහෙම අම්මා මට ඇහෙන්න කියවනවා රෑට නිදාගන්න වෙලාවට. මාත් ඒවා හරි ආසාවෙන් අහගෙන ඉන්න ගමන්ම නින්ද යනවා.
ඒ වගේම මාසයකට දෙකකට සැරයක් වගෙ අම්මා මට ටොෆි චොකලට් දෙනවා තාත්තා එවපුවා කියලා. ඒ දෙන ටොෆි චොකලට් රට ඉඳලා ආපුවද මෙහෙ තියෙන ඒවද කියලා මං දන්නෙ නැහැ. මං දන්නෙ අම්මා මට කියන දේවල් ගැන විතරයි. ඒ චොකලට්, ටොෆි වල පාට පාට කවර මට කවදාවත් අමතක වුනෙ නැහැ. මොකද මාසයකට දෙකකට සැරයක් වගෙ ඒ වගේ ටොෆි චොකලට් මට අම්මා, තාත්තා එවපුවා කියලා දෙන නිසා.
අපේ ගමේ පංසලට ඉස්සර ඉඳලම හැම පෝයකට වගේම අම්මට හිතෙන අනිත් දවස් වලටත් අපි ගිහින් මල් පහන් පූජ කරලා එනවා. පංසලේ ලොකු හාමුදුරුවෝ එහෙමත් අපිට ගොඩක් හිතවත්ව හිටියේ. ඒත් මාස කිහිපයකට කලින් ලොකු හාමුදුරුවෝ අපවත් වුනාට පස්සෙ පංසලට යන එන එක අඩු වෙලා ගියා. දැං පංසලේ ඉන්න "සුනීත" ලොකු හාමුදුරුවන්ට අම්ම නම් චුට්ටක්වත් කැමති නැහැ. හේතුවක් දන්නෙ නැහැ ඒත් නයි වෛරයකින් අම්මා හිටියේ ඒ හාමුදුරුවෝ එක්ක.
අන්තිමට පංසලට ගිය දවස මට හොඳට මතකයි. ඒ දෙසැම්බර් හය වෙනිදා. ඒ අපි පංසලට දෙන්න බාර අරගෙන තිබුණු දානේ පූජ කරන්න ගිය දවස. ඒ දවස් ටික මට හොඳට මතක හිටියේ දානෙට දවස් තුනකට පස්සෙ දවසෙ අම්මා මට කියපු දේ.
"තාත්තා ආයෙත් ලියුම් එවන්නෙ නැහැ! තාත්තා එහෙදි දවස් තුනකට කලින් නැති වෙලා. අපිට තාත්තගෙ මිනියවත් බලන්න වෙන්නෙ නැහැ " කියලා. මං ඒ වෙලාවේ ගොඩාරියක් ඇඬුවා මට තාත්තව බලන්න ඕන කිය කිය. අම්මා මාව කොහම නලවගත්තද කියලා මං දන්නෙ නැහැ ඒත් මගෙ ඇඬිල්ල අම්මා ඉස්සරහදි නතර වුනා.
එදා හවස අම්මා මාවත් එක්කගෙන පංසලට ගිහින් නිකං මල් පහන් පූජ කරලා ආවා. මං ගොඩක් පුංචි නිසා මට තේරුමක් තිබුණේ නැහැ මෙහෙම මරණයක් වුනහම ආගමික වතාවත් කරන්නෙ කොහමද කියලා. මට තිබුණේ ඒ දවස් ටිකෙ අම්මා කරන කියන දේවල් බලාගෙන ඉන්න එක විතරයි අත්තම්මට තුරුල් වෙලා. අත්තම්මා ඒ දවස් ටිකේ අම්මට බනිනවා උඹගේ ඔය හිතේ තියෙන වෛර නැති කරගනින් කියලා. ඒත් ඒවා මොකට කියනවද කියලා මං දන්නෙ නැහැ.
පංසල් ගිහින් ඇවිත් මං රෑටත් නොකාම ඇඳට වෙලා අඬ අඬ හිටියා. මං දන්නෙ නැහැ තාත්තා කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියලවත් මං තාත්තා කෙනෙක් මෙහෙම වෙන්න ඇති අරම වෙන්න ඇති කියලා හිතින් මවා ගත්ත කෙනෙක් තමයි ඒ කාලේ මගෙ හිතෙ හිටියෙ. මං හිතින් මවාගෙන හිටපු තාත්තවත් මට දකින්න බැරි වෙලා ගියා සදහටම.
එදා රෑ අඬ අඬම අම්මගෙන් ඇහුවා අම්මා කොහොමද දන්නෙ තාත්තා නැති වුනා කියලා. අම්මා කිව්වා තාත්තා වැඩ කරපු තැනින් ලියුමක් ආවා කියලා. මං අම්මගෙන් ඉල්ලුවා ඒ ලියුම. එතකොට අම්මා කිව්වෙ ඒ ලියුම පිච්චුවා අනිත් තිබුණු ලියුම් ඔක්කොමත් එක්ක කියලා. මං දන්නෙ නැහැ අම්මා ඇයි එහෙම කරේ කියලා. එදා රෑ වගේ රැයවල් ගොඩක් මං අඬ අඬම නිදාගත්ත ඇති තාත්තගෙ සිහියෙන්.
තාත්තගෙ වියෝව වෙලා අවුරුද්දක් ළං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපිට ඉන්න ගෙදර මාරු කරන්න වුනා. අපි හිටිය ගමේ ම හිටපු ගෙදර ඉඳලා ටිකක් දුර ගෙදරකට තමයි අපිට යන්න වුනේ.
අපි ගිය අලුත් ගෙදරට ඕන බඩුමුට්ටු ටිකක් ගන්න ඕන කියලා අම්මා මාවත් එක්කගෙන දවසක් ලොකු ටවුමට ආවා. එදා තමයි මං අපේ ලොකු ටවුමට ආව දෙවනි දවස. ලොකු ටවුමට එන්න එහෙම ලොකු අවශ්‍යතාවක් නැති නිසා ගොඩක් වෙලාවට ගෙදරට ඕන බඩුමුට්ටු අම්මා ගන්නෙ ගමට ළඟම තියෙන පොඩි ටවුමෙන්. එදා අම්මත් එක්ක ටවුමෙ ඇවිදගෙන යද්දි මං දැක්කා කඩේක තියෙනවා තාත්තා ඉස්සර එවන චොකලට්. මට ඒ කවර හොඳට මතක තිබුණු නිසා දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වුනා. මං අම්මට පෙන්නලා කිව්වා තාත්තා එවපු චොකලට් කියලා. අම්මා පුදුමකයින් වගෙ කිව්වා "අහ් දැං ඒවා මෙහෙත් තියෙනවා" කියලා. මං අම්මගෙන් ඒ චොකලට් ඕන කියලා ඉල්ලන්න හදද්දිම අම්මා කිව්වා ගෙදර යන වෙලාවට අරගෙන දෙන්නම් කියලා.
අපි ගෙදරට ගන්න ආපු බඩුමුට්ටු ටික අරගෙන ඉවර වෙලා අර චොකලට් තිබුණු කඩේට ගියා. මං ගිය වෙලාවේ ඉඳලා කරේ බෝතල්වල දාලා තිබුණු චොකලට් වර්ග බල බල හිටියෙ, ගන්නෙ මොනවද කියලා. කඩේ හිටිය අයියා කෙනෙක් අම්මව දැක්ක ගමන් කිව්වා "අහ් අක්කා ගොඩ කාලෙකින්" කියලා. මට එච්චරයි ඇහුනෙ ඒ කතාවෙන්. අපි ඒ කඩෙන් චොකලටුත් අරගෙන ගෙදර එන්න ආවා.
තාත්තගෙ අවුරුද්දේ දානෙටත් දන්නෙම නැතුව දින ටික ටික ළං වෙලා දානෙ දවස ආවා. දෙසැම්බර් හය වෙනිදා අපි පංසලට දානේ අරගෙන ගියා. වෙනදට දානේ අරගෙන ගියහම දානේ බාර ගන්නෙ ලොකු හාමුදුරුවෝ ඒත් දැං ඉන්නෙ අම්මා අකමැති සුනීත ලොකු හාමුදුරුවෝ. ඉස්සර නම් පංසලට දානේ අරගෙන ගියහම මං කරන්නෙ අම්මලා දානේ වැඩ ඉවර වෙනකම් පංසල වටේ ඇවිදින එක ඒත් එදා තාත්තගෙ දානේ නිසා මං අම්මා ලඟම හිටියා හාමුදුරුවෝ කියන දේවල් අහගෙන. එදා හාමුදුරුවෝ තාත්තට පිං දෙනකොට කිව්වෙ "වසර කිහිපයකට කලින් අප අතරින්" කියලා. ඒත් තාත්තා නැති වෙලා අවුරුද්දයි තාම. ඒ වෙලවෙ මට මතක් වුනේ වෙනදා දෙන දානේ දෙන්නෙත් දෙසැම්බර් හය, අද වගෙ දවසට නේද කියලා.
දානේ වැඩකටයුතු ඉවර වෙලා අපි ගෙදර එන ගමන් මං ඒ ගැන අම්මගෙන් ඇහුවා තාත්තා නැති වෙලා තාම අවුරුද්දයි වෙන්නෙ හාමුදුරුවෝ තාත්තා නැති වෙලා වසර කිහිපයක් කියලා කිව්වෙ ඇයි කියලා. එතකොට අම්මා කේන්තියෙන් කිව්වා ඌම තමයි හොඳටම දන්නෙ ඌ කිව්වෙ මොකක්ද කියලා. අම්මා කේන්තියෙන් ඉන්නෙ කියලා දන්න නිසා මං අහන්න ගියෙ නැහැ අපි කලින් දෙන දානේ දවසත් තාත්තා නැති වුන දවසත් එකයි නේද කියලා. මං සද්දයක් නැතුවම ගෙදර ආවා.
තාත්තගෙ දානේ දවස නිසාම එදා රෑ නිදාගන්න වෙලාවේ වෙනදටත් වඩා මට ගොඩක් තාත්තව මතක් වෙන්න ගත්තා. ඒ වෙලාවේ මට හිතුනා අම්මගෙන් අහන්න " ඉස්සර අපි දෙන දානෙයි තාත්තගෙ දානෙයි දාන දෙකම එකම දවසෙ නේද" කියලා. ආයෙත් අම්මට කේන්ති යයි නේද කියලා හිතලා අහන්න ගිය එක අහන්නෙ නැතුව මං අම්මට, තාත්තගෙ නමයි පංසලේ හාමුදුරුවන්ගේ නමයි "සුනිත්, සුනීත" එක වගෙ නේද කියලා කියද්දිම අම්මා මට කම්මුලට ගැහුවා. මං දන්නෙ නැහැ ඇයි අම්මා මට ගැහුවෙ කියලා. මං එහෙම ම අනිත් පැත්ත හැරිලා අඬ අඬම නිදාගත්තා.