වැහි එක්ක මං තීරු ලිපිය - වචනවලින් කියන්න බැරි හැඟීම්

post-title

උදේ ඉදලා විටෙන් විට ඇද හැලුණ මහ වැස්ස ගස් කොළන් හොදටෝම තෙත බරිත කරවලා නතර වුණා. අතරින් පතර හඬන රැහැයියෙක්ගෙ සද්දෙයි මගෙ කාමරේ ජනේලෙට ගෑවෙන නොගෑවෙන කිට්ටුවෙන් තියෙන අඹ ගහේ කොළයකින් තව කොළයකට වතුර බින්දුවක් වැටෙන සද්දෙයි එකට එකතු වුණාම මවන්නෙ වචනවලට පෙරලන්න අපහසු ගුප්ත සෞන්දර්යාත්මක හැගීමක්. එහෙම වෙලාවට ඕනිම හිතක එක පිට එකට සිතුවිලි පහල වෙන්නෙ මුහුදෙ රැළි වගේ. එක සිතුවිල්ලක් මැකිලා යන්න කලින් තවත් සිතුවිල්ලක් මතු වෙනවා. එකක් පිට එකක් වැතිරෙනවා. එක කෙළවරකින් රළ සද්දෙ මැකිලා යද්දි තවත් කෙළවරකින් රළ මතු වෙනවා. පයට නොපෑගෙන ගැඹුරු තැන්වලත් උස් පහත් වීම් මතු වෙනවා.

“වචන” කියන්නෙ මනුෂ්‍යයන් අතරෙ සන්නිවේදනය සිදු කරන එක ක්‍රමවේදයක් පමණයි. මනුෂ්‍යයා විසින් භාෂාවක් ගොඩ නගනු ලබන්නෙ සන්නිවේදනය අරමුණු කරගෙන. භාෂා රීති ගොඩ නැගෙන්නෙ මේ සන්නිවේදනය පැහැදිලිවත් නිරවුල්වත් ඒකමතිකවත් සිදුකිරීම අරමුණු කරගෙන. වාග් විද්‍යාව සම්පූර්ණයෙන් ගොඩ නැගෙන්නෙ මේ ක්‍රමවේදය හරහා. දවසක් මාත් එක්ක සෙල්ලම් කර කර හිටිය මැණික් එක වෙලාවකදි ඒ අවස්ථාවට කොහෙත්ම නොගැළපෙන වචනයකින් යමක් හදුන්වලා දුන්නා. “ඒ වචනෙ ගැළපෙන්නෙ නෑනෙ මැණික්” කියලා මම කියද්දි එයා ලස්සන තර්කයක් ගෙනාවා.

“මම කතා කරන්නෙ මගෙ ඔලුවට එන දේවල්. මම ඒවා කියන්නෙ මට ඕනි විදියට වචන දාලා.”

හුරතල් ස්වරයකින් වුණත් එයා දුන්න උත්තරේ සෑහෙන ගැඹුරක් තිබුණා. ඇලිස්ගේ විශ්මලන්තයේදිත් මේ වගේම දෙබසක් තිබුණ බව මතක් වෙලා මට හිනා ගියා. ඇලිස් ප්‍රශ්න කරන්නෙ භාෂාව හදපු කෙනා ගැන. දත්ත සහ තොරතුරු සන්නිවේදනය කරන්න “වචන” හොදම මාධ්‍යයක් වුණත් හැගීම් සහ යථාර්ථයන් සන්නිවේදනය කරන්න ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. භාෂාව ඉතාම ප්‍රාථමික සන්නිවේදන මාධ්‍යයක් බව භාෂාව භාවිතයේදි ගොඩ නැගෙන දුෂ්කරතා හදුනා ගනිද්දි සහ වෙනත් සන්නිවේදන මාධ්‍යයන් හදාරද්දි වැටහෙන්න පටන් ගන්නවා. සත්‍යය හංගන්න බැරි භාෂාවට වඩා දියුණු සන්නිවේදන මාධ්‍ය පවතිනවා. ශක්ති තරංග ඇස් සහ ඉව වගේ ස්වභාවික සන්නිවේදන මාධ්‍යයන් හරහා භාෂාවට අල්ලන්න අපහසු යථාර්ථයන් සන්නිවේදනය කරන්න පුලුවන්. ධර්මයේ හැසිරෙන සහ අධ්‍යාත්මිකව ඉහළ අවධියක පසු වන පුද්ගලයන් බොහොමයකගේ වචන භාවිතය ප්‍රාථමික මනුෂ්‍යයෙකුට වඩා වෙනස්වත් අවම මට්ටමකිනුත් පවතින්නෙ මේ නිසා. වෙනත් දියුණු සන්නිවේදන මාධයයන් හදුනා ගැනෙද්දි භාෂාවේ පවතින අවශ්‍යතාව අඩු වෙලා යනවා. අත්‍යාවශ්‍ය තැනකට පමණක් භාෂාව යොදන්න මනුෂ්‍යයා පෙළඹෙනවා. එහෙම අයට ප්‍රාථමික කතාබහක් වැඩියෙන්ම පවතින තැන්වලදි කතා කරන්න දේවල් නැතිවෙලා යනවා.

මේ අවබෝධයේ පසු වෙද්දි වචන නිසා ගැටුම් ඇති කර ගන්න මනුෂ්‍යයන් ගැන මට අනුකම්පා හිතෙනවා. අතීතයේ දවසක මාස අටක් තිස්සෙ තිබුණ විභාග ඔක්කොම ඉවර කරලා යාලුවන්ගෙ පෙරැත්තයට යාලුවො එක්ක ගලදාරි එකට ගොඩ වැදුණ වෙලාවක ගැහැණු පිරිමි කතා කරන දේවලට නිකමට වගේ ඇහුම්කම් දුන්නා. ගැහැණු කතා කළේම “අරයා මෙයා ගැන මෙහෙම කිවුවා” කියන යෙදුම පෙරදැරි කරගෙන. පිරිමි ඊට දෙවෙනි නැහැ. සමාජ තල අතරෙ වෙනසක් නැතුව වචන නිසා ගැටුම් හට ගන්න ආකාරය දැකපු මට සමාජ තල අතරෙ වෙනස්කම් සහ පරතරයන් ගැන කතා කරන මාක්ස්වාදී ප්‍රජාතන්ත්‍රවාදී හැම දේශපාලන සත්වයෙක්වම මතක් වෙලා හිනා ගියා.

සන්නිවේදනයක් සම්පූර්ණ වෙන්න නම් එක් තැනෙකින් වචනයක් පිට වීම සහ අනෙක් තැනින් වචනය ග්‍රහණය කර ගැනීම කියන ක්‍රියා දෙක සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. වචනයක් පිට වෙන්නෙ ඒ වචනය පිට කරන පුද්ගලයාගේ අවබෝධය මත. මේ අවබෝධය - වචනය පිළිබද අවබෝධය, වචනයට අදාළ වටපිටාව පිළිබද අවබෝධය, ග්‍රහණය කරන පුද්ගලයාගේ මානසික මට්ටම පිළිබද අවබෝධය කියන විශාල පරාසවලට පැතිරෙනවා. වචනය ග්‍රහණය කර ගැනීමත් මේ හා සමාන අවබෝධයකින් සිදු වන්නක්. ග්‍රහණය කර ගන්න පුද්ගලයා සතුව පවතින වචනය පිළිබද අවබෝධයත් වචනය පිට කළ පුද්ලයාගේ මානසික හා වටපිටාව පිළිබද අවබෝධයත් වචනයේ ස්වරය පිළිබද ඇති කර ගන්න අවබෝධයත් මත ග්‍රහණයේ ප්‍රමාණය රදා පවතිනවා. මේ ක්‍රියා දෙක පැහැදිලිවම සියයට සියයක් පිරිසිදුව සිදු වෙන්නෙ නැහැ. පුද්ගලයන් දෙදෙනෙක් කියන්නෙ එකිනෙකට වෙනස් ලෝක දෙකක්. පිට කිරීම හා ග්‍රහණය කියන ක්‍රියා දෙක අතරමැදදි වචනයකට ඕනෑ තරම් අතවර සිදු වෙනවා. ඒ නිසා එක් අයෙකුගේ අදහසක් වචන හරහා තවත් කෙනෙක් ග්‍රහණය කර ගනිද්දි ඒ ග්‍රහණය සිදු වෙන්නෙ අදහසින් එක් කොටසක් අතහැරිලා. ඒ වචනයම එතැනින් එහාට මිනිසුන් කිහිප දෙනෙක් ග්‍රහණය කර ගනිද්දි තව තවත් කොටස් ගිලිහෙනවා. අපේ ජනකතා අතරෙ කපුටො හත් දෙනෙක් වමනය කළ කතාව ඇතුළෙ තියෙන යථාර්ථය මේකයි. වචන ගැන මේ අවබෝධය තියෙන පුද්ගලයා වචන නිසා හිත රිදවා ගන්නෙ ඉතාම කලාතුරකින්. ඔහු හෝ ඇය වචන මුල් කර ගෙන ගැටුම්වලට එළැඹෙන්නෙ නැහැ.

වැස්ස නැවතුණායින් පස්සෙ තමයි අඹ ගහේ කොළයෙන් කොළයට වතුර බින්දු වැටෙන හඩ ඇහෙන්න පටන් ගත්තෙ. වැස්ස තියෙද්දිත් වතුර ඒ රටාවටම නොවැටුණා නෙවෙයි. ඒත් ඒ රටාව වැස්සෙන් වෙන් වෙලා කන් දෙකට ඇහෙන්න පටන් ගත්තෙ වැස්ස නැවතුණාට පස්සෙයි. මම ඒ රටාවට ඇහුම්කන් දී ගෙනම මේ සිතුවිලි මාලාව ඉවර කරන්න හිතුවා.

Top