සත්තු ඉන්නේ උන්ට අයිති වනාන්තරේ (724)

post-title

කිරිගණිතා මාමා මට පහුගිය දවසක පොරොන්දු වුණා මීමැහි අහින් ගැන විස්තරයක් කරන බව. උන්දැත් එක්ක වනන්තරේ සංචාරේ කරන්ට ඒ දවස එනකම් බලා ගෙන හිටියේ. ජීවිතය ගැනත් තමන් ජීවත්වෙන පරිසරය ගැනත් ගැමියන්ට තියෙන දැනුම පොත පතකින් ලබන දැනුමට වඩා ප්‍රායෝගිකයි. තමන් දකින හෝ කරන දෙයින් ලබන දැනුම නිසා තමයි ඒ දේවල් විශ්වාසයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. පාරම්රික ඥාානය කියන යෙදුමෙන් හඳුන්වන එය විද්‍යාත්මක නොවන බව සමහර උගතුන් බැහැර කරන බවත් දැකිය හැකියි. එහෙත් විද්‍යාත්මක පර්යේෂණ නොකරන, ඒ ගැන අවබෝධය හා දැනුම නොමැති ගැමියන් අර පර්යේෂණවලින් තහවුරු කර ගන්නා දේ අත්හදා බැලීමෙන් තහවුරු කරගන්ට දක්ෂයි. න්‍යායන් හා විද්‍යාත්මක පරාමිතීන් නොදන්නා ගැමියන් විද්‍යාත්මක සිද්ධාන්තවල සැඟැවුණු දේවල්වල ප්‍රතික්‍රියා හඳුනා ගැනීමට සමත් වේ. මේ ගැන අපි පසුවට කතා කරමු.

පාරම්පරික ඥානය ගලා යන දිය දහරක් වැනිය. දැනුම හුවමාරු කර ගැනීමට පුහුණු වැඩ සටහන් හෝ සම්මන්ත්‍රණ වැනි දේ නැතුවම බැරි මෙවලම් වන්නේ නූතන සමාජයට වුවත් පාරම්පරික ඥාානය බෙදා හදා ගැනීම ඊට වඩා ශක්තිමත් පදනමක් මත සිදුවේ. එය පරම්පරාවෙන් පරම්පරාවට ගලා එන ක්‍රමයකි. සීයාගෙන් පුතාටත් ඒ පියාගෙන් ඔහුගේ පුතාටත් වශයෙන් ගලා යන දිය දහරකට අලුතෙන් තවත් දිය පාරවල් එක් වන්නා සේ ගලා යයි. පැරණි දේවල්වලට අලුත් දේවල් ද එකතුවෙමින් වැඩිදියුණු වෙමින් සක්‍රීය වන දැනුම තිරසාර බවක් පෙන්වයි. මේ කාරණා ටික සඳහන් කළේ පසුගිය වර කිරිගණිතා මාමා සමඟ කළ සංචාරයේදී කී දෙයක් සිහිපත් වුණ නිසාය. මී මැසි ගුලකින් මී මැස්සන් පිටවෙන අයුරු බලා සිටි මට කිරිගණිතා මාමා මේ කතාව කීවා.

 “මහත්තයා මීමැහි ගෝටේ දිහා ඇස් මානාගෙන ඉන්නේ. මී මැස්සෝ එළි බහින ජාමේ මාත් එක්ක මූකළානේ ගාටන්ට ආවොත් ඔය සෑස්තරේ ගැන අල ගිය මුල ගිය තැන් ඔක්කොම කියල දෙඤ්ඤං.

ඒ කාරණාව ගැන දැනගැනීමට කැමති නිසා කිරිගණිතා මාමා එක්ක මූකළාන් යන්ට දවසක් කතා කර ගත්තා. ඉර නැගීමට පෙර හිමිදිරි යාමේ තමයි අපි ගමන පටන් ගත්තේ. කිරිගණිතා මාමා යන අඩි පාරේ කටු කොහොල් මගහැරගෙන යාම ලේසි පහසු කටයුත්තක් නොවේ.

පාන්දර මී දුමාරය වැනි අපැහැදිලි හෙවනැලි කපාගෙන ගස් වැල් අතරින් තඹවන් හිරු රැස් තීරු තීරු විහිදෙන දිහා හෝදිසියෙන් තමයි කිරිගණිතා මාමා යන්නේ. එහෙම ගිහින් මල් පිරිච්ච ගහක් ගාවා වටයක් කැරකී අතු දෙස විපරම් බැල්මක් හෙළුෑ කිරිගණිතා මාමා අතකින් නළල රුකුල්ලාගෙන මල් පීදුණු අත්තක් දිහාට ඇස් හක්කලං කෙරුවා. ඉර එළිය නිසා ඒ වටේ ඉන්න මීමැස්සෝ අගේට බලා ගන්ට පුළුවන්.

“මල් පොහොට්ටු නං යහමින් තියෙනවා. මේක කැඩපත්තා ගහක් අපේ මහත්තයෝ. ඒ උනාට මීමැස්සෝ ඔය මල්වල පැණි ගන්ට එච්චර කැමැති නෑ. ඒ මොකොද කියනවානං ඔය මල්වල පැණි උකු නෑ. නිකං හීල් වතුර වාගේ”

 එහෙම කියපු කිරිගණිතා මාමා ඉණේ ගහගෙන හිටපු පිහා කැත්ත අතට ඇරගෙන ආයෙත් යන්ට පටන් ගත්තා. ඔහොම යන ගමන් තවත් මල් පිපිච්ච ගස් ගණනාවක්ම නිරීක්ෂණය කළේ බොහොම උවමනාවෙන්. දිය පාරක් අයිනේ ගස් ගොම්මනක එතුණු වැල් ගාලක් සුදු මිශ්‍ර දම්පාට මල් කිනිතිවලින් පිරිල එල්ලෙනවා. ඒ මල්වල සුවඳ හීන් හුළං රැල්ලක් එක්ක අපේ සිරුරු පිසගෙන ඈතට යනවා. කිරිගණිතා මාමා මල් යාය දෙස බලාගෙන ඉඳල මගෙන් මෙහෙම ඇහුවා.

“මහත්තයා දන්නවද ඔය මල් මොනවද කියල?”

ඒ ගැන මම නොදන්න බව කීවහම කිරිගණිතා මාමා ලොකු විස්තරයක් කළා.

“ඒ තමයි බොකල වැල් කියන්නේ. දිය කඩිති ගාවා තමයි ඕසෙට හැදෙන්නේ. ඔය වැල් ගාල් ඇතුළේ හැබෑම හීතලක් තියෙන්නේ. ගිනි මද්දහනේ දාහය උහුලන්ට බැරිවෙනකොට ඌරෝ ඇවිදින් පොදි ගැහිල බුදි බලියන්ට හරිම මනාපයි. සමහරක් දඩයං උන්දැලා මද්දහනේ ළඟපාත අකුල්ඔලට වහං වෙලා ඉඳල උන්ට ගිනි බිඳිනවා. බොකල වැල්, වනාන්තරය ලස්සන කොරනවා විතරක් නෙවේ. බොකල මල් පූදින්නේ වප්,් ඉල් මාසවල අවුරුද්දට එක වතාවයි නොවැ. ඒත් සමහර අවුරුදුවල මල් පූදින්ට පරක්කු වෙනවා. එතකොට අපේ ගොයි උන්දැලා හූල්ලන්ට පටන් ගන්නවා ‘ඒ ගමන අලුත් හාල් බත් කාල හමාරයි‘ කියල. මොකොද දන්නවද? බොකල මල් පූදිනවා කියන්නේ මාස් කන්නේ වැහි මුත්තා එන්ට හදනවා කියන එක. මල් පූදින්ට පරක්කු වෙනකොට හූල්ලන්නේ වෙලාවට කුඹුරට බහින්ට නෑ කියන එක. ඕං....බලන්ටකෝ තව පෝයක් ගත වෙන්ට කලියෙං පැල් බැඳගෙන වහින්නෙ නැද්ද කියල. අනික් කාරණේ බොකල මල් පීදෙන කොට මීමැස්සොත් පෙං කෙළිනව. ඔය සුවඳ වාගෙම පැණිත් වකාරෙට තියනව බොකල මල්වල.”

කිරිගණිතා මාමා කියන්නේ තමන්ගෙ පාරම්පරික දැනුම් අත්දැකීම අනුව. ඒ කතාවට විරුද්ධ වෙන්ට මට සාධාරණ හේතුවක් නෑ. කිරිගණිතා මාමා ඒ කතාව කියන්නේ තමන්ගේ අත්දැකීමෙන් හා පාරම්පරික පූලයන්ගෙන් ලබාගත් දැනුම නිසා. මීමැස්සෝ ගැන උන්දෑ කියාපු දේ හරි කියල බොකල වැල දිහා බලනකොට පෙනෙනවා. මීමැස්සෝ රොද බැඳගෙන මල් අතරේ සැරිසරණවා. මල් ගාල ගාවට යන්ට අමාරු හන්දා ‘අපි යමු නේද‘ කියමින් ඉස්සරහට ගියා.

එහෙම කියපු කිරිගණිතා මාමා ඉණේ ගහගෙන හිටපු පිහියා කැත්ත අතට ඇරගෙන ආයෙත් යන්ට පටන් ගත්තා. ඉන් පස්සේ මූකළානේ එරමිණියා ගාලක් නිරීක්ෂණය කළේ බොහොම උනන්දුවෙන්. පස්සේ ගොන්තැරි ලන්දක කටු ඇනගෙන අමාරුවෙන් ඒක වටේ ගිහින් ලඳු කැලේ දෑතින් මෑත් කරගෙන තවත් ඉදිරියට ගියා. තව බඹ දහ පහළොක් විතර යනකොට පොළවට දෙරි ඇනෙන්ට වාගේ නැමිල කඳ පාත්වුණු පත බුරුත ගහක් ගාවට කිට්ටු වුණා. එහා පැත්තේ මල් කඩා හැළෙන බොකල වැල් ගාලක්. වරක් ගහ දිහාට ඇස් මානපු කිරිගණිතා මාමා මං දිහා බැලුවේ බුරුත මල් පිපුණා වගේ ලොකු හිනාවක් එක්ක.

“බොකල මලුයි බුරුත මලුයි වැහි වැහැල වාගේ. ඔන්න අපේ මහත්තයා මී මැස්සෝ පොදි ගැහෙන තැනක්. ඒ තරමට උන් ඔය මල්ඔලට මනාපයි. මෙව්වා දුටුවහම උන්ට ඔල්මාදෙ හැදෙනවා. බලන්ටකෝ මෙතන මාලක්කං අල්ලන මී මැහි අහින.”ග

තීරු තීරු වැටිල තියෙන හිරු රැස් නිසා රොන් පැණි ගන්ට එන මී මැසි රංචුව අගේට පෙනෙනවා. සරුවාලෙට උඩින් ඉණේ රෙදි පටියකින් බැඳගෙන හිටිය බුලත් කොක්කනේට මිනිහගෙ අත ගියේ ඉබේටම වගේ. විටක් හපන්ට ඕනෑකරන දේ එකින් එක කිරිගණිතගෙ කටට ගියේ බූසෙට වැවුණු යටි රැවුලත් පීරපු කිතුල් කෙඳි මුසුන්නක් වගේ තියෙන උඩු රැවුලටත් හොරෙන් වගේ. ඒත් කිරිගණිත මාමගෙ උකුසු ඇස් දෙක නං බුරුත රාජයාගේ මල් යායෙන් පිට පැන්නෙම නෑ. යකිනාරන් ගෙඩියකට ඇබින්දක් ලොකු කොණ්ඩ ගැටයෙන් බාගයක් විතර දුඹුරුපාට සුම්බරයෙන් පිටට පැනල.

ලොකු කාරියකට ලෑස්තිවෙන හැම වෙලේම ඊට කලින් විටක් හැපීම කිරිගණිත මාමගෙ සිරිතක්. කිරිගණිතා මාමා නළලේ අතක් රුකුල්ලාගෙන පිණි කටින ජාමේ මූකලාන් ගොම්මනේ අතු ඉති හිඩැස් අතරින් රිංගා යන්ට මාලක්කන් අල්ලන තඹ පාට ලා ඉරුරැස් තීරු දිහා ඇහැ ලෑවේ සීරු මාරුවෙන්. හූම්..හූම් ගාන මීමැසි සද්දේ කිරිගණිත මාමගෙ කනේ මී වක්කරනවා වාගේ.

බුරුත මලට මී මැස්සෝ මනාප විත්තියත් බුරුත මල්වල පැණි හොඳ උකු ගතියෙන් තියෙන බවත් කිරිගණිතා මාමා දන්නවා. මී මැහි අහින කරණම් ගහමින් මල් පැණි රොන් අරගෙන ආපිට යන ඉසව්ව ගැන තමයි කිරිගණිතාගෙ හෝදිසිය. උන් යන්නේ කොහාටද කියල හරියටම නිච්චි කරගන්ට තඹපාට ඉරුරැස් තීරු තමයි කිරිගණිත මාමට උදවුකරන්නේ. උන් ආපිට යන මංකඩ දිගේ කිරිගණිතා මාමා යන්ට පටන් ගත්තේ අමාරු ගමනක්. උන්දැට ඕනෑ උන්ගෙ මී ගොහොටේ තියෙන තැන හොයාගන්ට.

මී මැහි පාර දිගේ සෑහෙන දුරක් ගිය කිරිගණිතා මාමා නැවතුණේ මහ අරටු ගැහිච්ච වීර ගහක් යට. මහ කඳේ මැද හරියේ තියෙන බෙනේ ඇතුළට තමයි මී මැස්සෝ යන්නේ. එතන හරි කලබොලයක්. නිනව්වක් නැතුව යන එන මී මැහි අහින දිහා ඇහැ ගහගෙන හිටිය කිරිගණිතා මාම තමන්ගෙ මන්නා පිහිය ගෙන ගස් කඳේ පොත්තට කතිර කැපුමක් දාල මං දිහා බැලුවා. ඔහු කළ දේ ගැන මට යම් අදහසක් තිබෙන නමුත් කිරිගණිතා මාමාට ඇහුම්කන් දෙන්ට මම නිහඬ වුණා. 

“අපේ මහත්තයා දුටුවා නෙවෙද මං මී මැහි අහින හොයා ගත්ත සූත්තරේ. මේ ගහේ හන කැපිල්ලක් නැති හන්දා තවම මේක කාටවත් අයිති නෑ. මං ඕං මයෙ අයිතිය හන කැපිල්ල දාල ඉස්තිර කෙරුවා. දැං ඉතින් වෙන කවුරුවත් මේකට අයිතිවාසිකං කියන්ට එන්නෙ නෑ. පැණි ටික මොරණ සන්දිය එනකොට මං ඇවිත් වද ඇදගන්නවා. ” කිරිගණිතා මාමා බුලත් කහට බැඳුණු දත් පෙනෙන්ට හිං .....හීං ගාල හිනාවුණා.

“එතකොට මීය කඩාගන්නේ කොහාමද?”

“ඒක මහ කජ්ජක්යැ. හැං...හැං... මං පාවට්ටා කොළයි දුංකොළයි දාල ඔතාපු සුරුට්ටුවක් අන්න තමයි එන්නේ. කලියෙන්ම මී මැහි ගුලේ මුකේ ටිකක් පාදල ලොකු කොරල උන් කලබොල නොකර අර සුරුට්ටුව පත්තු කරල කට පුරෝල දුං උගුරක් අදිනවා. ඊට පස්සේ හෙමිහිට කීප සැරයක් ගුලට දුං පිඹිනවා ග ඕං එතකොට හීන්සැරේ මැස්සෝ කොටහක් පැත්තකට යනවා. හැබැයි රජ මැස්සී නං හෙල්ලෙන්නෙවත් නෑ. එළියට යන මැස්සෝ වටේට කැරකෙන කොට උන්ටත් දුං පාර දෙන්ට ඕනෑ. ඉතිං මං කොරන්නේ හීංසැරේ අත දාල රජ මැස්සී මුර කොරගෙන ඉන්න මැස්සෝන්ට කිති කව කවා ඇඟිළි යවල රජ මැස්සී අල්ලා ගන්නවා. මුර කාවල් කාරයෝ ටිකත් මයෙ අතේ එල්ලෙනවා. රජ මැස්සී ළඟ පාත හුඳ තැනකට අත ඇරියම අනික් අයත් එතෙන්ට යනවා. කොච්චර සීරුවෙන් කෙරුවත් එකෙක් දෙන්නෙක් අනිනවා තමයි. ඊට පස්සේ පැණි වද ඇදල ගන්නවා. සමහර තක්කඩියො නං කිරිවදත් අදිනවා. හැබැයි මං නං කිරිවදඔලට අත තියන්නෙ නෑ. දැන් ඉතිං මී මැහි අහින් හොයා ගන්න සෑස්තරෙත් මී කඩන කරමයත් දන්නවා නෙව. හැබැයි දැන ගත්තට ලේසියෙන් කොරන්ට නං බෑ. ඒක ඉතිං කීප සැරයක් කොරල මී මැහි කටු ඇනගෙන පුරුදු වෙන්ට ඕනෑ කාරියක්.” 

“එතකොට කිරිගණිතා මාමා මේ සෑස්තරේ ඉගෙන ගත්තේ කොහොමද?”

“අහකං... මයෙ කිරිඅත්තයි අප්පොච්චියි දෙන්නම මේ වැඩේට ගජ හපන්නු. මං පුංචි සන්දියේ එඋන්දැලා එක්ක කැලේ ගිහිං තමයි ඉගෙන ගත්තේ...හුක්උං

වනාන්තරය පුරා ඇවිදල මෙයාකාර මී මැහි අහින් තියෙන විත්තිය දන්න කිරිගණිත මාමා දැනටමත් මී මැහි ගුල් තුන හතරකටම තමන්ගෙ අයිතිය කොටල තියෙනවා. ලබන බක් මහ ගෙවිල යන සන්දිය වෙනකොට එව්වගෙ පැණි වද කඩා ගන්ට පුළුවන් කියල කිරිගණිතා මාමා දන්නවා. 

කිරිගණිතා මාමා පන්තිය ඉවර කළේ ඒ විදිහට. ඒක ප්‍රායෝගික ඉගැන්වීමක්. කිරිගණිතා මාමාගෙ මී කැඩීම ගැන තරමක් දිග විස්තරයක් කළේ ගැමියන්ගේ දැනුම හා සමත්කම් සම්ප්‍රදායික දැනුම් ගලනය ස්වභාවික පරිසරය සමඟ සබැදි ජීවන රටාවෙන් ලද අත්දැකීම් හා කලපුරුද්ද අනුව හැඩගැසී ඇති අයුරු දැක්වීමටය. මේ වගේ තවත් බොහොම නොදන්න දේවල් රැසක් ගමේ මිනිස්සුන්ගෙන් මට ඉගෙන ගන්ට ලැබුණා.

අපි ආපිට එන ගමනේදී කිරිගණිතා මාමා තෝරා ගත්තේ වෙනත් මංකඩක්. සුවිසල් තැන්නක් හරහා වැටී තිබුණ මාර්ගය අපි ආපු පාරට වඩා තරමක් පහසු කටු අකුල් අඩු එකක්. අවට පරිසරය හොඳින් දැක ගන්නට හැකි ලෙස නොඋස් තුනී ගස් ගොම්මන් තැනින් තැන තිබුණේ. විශාල මුව රංචුවක් ඈත තණනිල්ලේ නිදහසේ ගැවසෙනවා. හදිසියේම නතරවුණු කිරිගණිතා මාමා බොහොම සීරුවෙන් හාත්පස විපරම් කළේ අමුතු යමක් හොයන්නා වගේ.

“දැක්කා නේද මුව රංචුව නිවී සැනහිල්ලේ ඉන්න අපූරුව? උන්ගෙ මේ චරියාවෙන් කියන්නේ කොටි හපුවා හරි කිඹුල්ලු එහෙම ළඟ පාත ගැවසෙන්නෙ නෑ කියන එක. අනතුරක් තියෙන බව දන්නවානං උං මේ විදිහට සෙල්ලං සෙය්යාවෙන් ඉන්නෙ නෑ.”

“දිවියෝ ගොඩක් මේ කැලේ ඉන්නවද? මට නං ඒ කතාව අහනකොට බයත් හිතෙනවා”

“ඔහොම හිත කොකිලිත්තං කොරගෙන මහ මූකලානේ කරක්ගහන්ට බෑ මහත්තයා. ඒ සත්තු ඉන්නේ උන්ට අයිති වනාන්තරේ නෙව. අපි තමයි මේ වනන්තරයට අමුත්තෝ. ඒ හන්දා තමන්ගෙ අඩවියට නන්නාදුනන කෙනෙක් ආපුවහම උන්දැලා පරෙස්සන් වෙන්ට දන්නවා. හැබැයි සැකයෙන් වාගෙම බයෙන්. සතෙක් මිනිහෙක් දුටුවහම හීන්සැරේ මාරුවෙල යනවා තමන්ගෙ ආරස්සාවට. ඒත් ඉතිං තමන්ට ගැළවීමක් නෑ කියල හිතුණොත් තමයි හටනට එන්නේ. හැබැයි එහෙම නැති උන්දැලත් ඉන්නවා.”

“ඒ කවුද?”

“හැං....හෑ.. ඒක දැනගන්න එක බොහොම වටිනවා. කුළු හරකයි වලස් ගෙරියයි බොහොම නපුරුයි. මනුස්සයෙක් දැකපු ගමන් උන් හඹාගෙන එනවා හටනට. උන් එහෙම කොරන්නේ මොකක් හරි පූරුවේ හේතුවක් නිසා වෙන්ට ඇති. මං එහෙම කීවට හරියටම ඇත්ත මොකක්ද කියල කියන්ට බෑ. අපිට තියෙන්නේ විපරමෙන් ඉන්න එකයි උන් ගැවසෙන ඉසව්වල නොයන එකයි. වලස් ගෙරියා පිටිපස්සෙන් හැංගිල ඇවිත් ඇඟට පනිණ එක තමයි නරකම දේ. දැන් අපේ මහත්තයට තේරෙණවා නේද කැලේ ගමන්වල අන්තරාව. ඒ උනාට මහත්තයා හැක සංකා කොරන්ට කාරි නෑ. මේ අඩවියේ වලස්සු, කුළෝ එහෙම කවදාවත් මට මුණගැහිල නෑ.”

කිරිගණිතා මාමාගෙ කතාවෙන් මගෙ හිත ගැස්සුණ නමුත් උන්දෑ ගැන තියෙන විශ්වාසය නිසා ලොකු බයක් දැනෙන්නෙ නෑ. මුව රංචුව පහුකරල ටිකක් දුර යනකොට අපූරු දිය තලාවක් මුණ ගැහුණා. නිල්වන් ජල තලාව වටින් විවිධ හැඩතලවලට ඇතුළට නෙරා ගිය ජල ඕඩ හා පිටතට නෙරා ගිය කැලෑ කුට්ටි නිසා එහි චමත්කාරය වැඩි වෙලා.

“මාමේ මේක වැවක් නේද? කවුරුහරි හදාපු එකක් බව නං පෙනෙන්නෙ නෑ.”

“අහකං...මේක වැවක් නෙමෙයි තමා. විල්ලුවක්. විල කියලත් කියනවා. මේ තමයි ‘මල්පනේ විල. මේ ගැන කියන්ට දේවල් අනන්තවත් තියෙනවා. ඒත් දැන් ඒ ගැන කියන්ට වෙලාව නොවෙයි. ඉර හැරෙන්ට කලියෙන් අපි මූකළානෙන් එළියට යන එක හුඳයි. සත්තු එළිබහින වෙලාව හන්දා අපි උන්ට නිදහසේ තමන්ගෙ වැඩ කටයුතු කර ගන්ට දීල අපි යමු. තව දවසක් ඇවිත් විල්ලුවේ වං හුං ගැන කතා කරමු. 

Top