මං දැං නිකන්ම නිකං වැටක් අයිනේ පැළ වෙච්ච වල් බෝ පැලයක් විතරයි මතක මිහිර තීරු ලිපිය (236 වන ලිපිය)

post-title

අපේ අම්මා දිහා මිනිස්සු බැලුවේ ලොකු ගෞරවයකින් ඒ වගේම ඒ ගෞරව කරන මිනිස්සුන්ගෙන් අම්මට ගොඩක් සැලකිලිත් තිබුණා. අම්මාගෙ තනියට ඒ වෙනකොට හිටියෙ මම විතරක් නිසා අම්මගෙ හෙවණ මට විතරක් අයිති හෙවණක් කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් ඒ සිතුවිල්ල වෙනස් වුනේ මම ඉපදිලා මහලොකු කාලයක් යන්න කලින් මට සහෝදරයෙක් ලැබුණු නිසා.

මම මට විතරක් අයිති කියලා හිතාගෙන හිටිය අම්මගේ හෙවණැල්ල සමබරව මගෙ සහොදරයටත් ලැබෙන්න ගත්තා. මට ඒ ගැන දුකක් ආවේ නැහැ ඒ මගේම සහෝදරයෙක් නිසා. අපි දෙන්නගේ වයස මහලොකු පරතරයක් තිබුණේ නැති නිසා අපි දෙන්නව කාලයත් එක්ක වැඩීගෙන එද්දි දකින කෙනෙක්ට පෙනුනේ සම වයසෙ දෙන්නෙක් වගේ. 

ඒ හේතුව නිසා වෙන්නැති කියලත් හිතෙනවා වෙලාවකට අපි දෙන්නවම ඉක්මනින් අම්මගෙ හෙවණෙන් උගුල්ලගෙන අරගෙන ගියේ. අපි දෙන්නම හීන දැක්කේ දවසක අම්මා වගේ වෙන්න. මොකද අම්මට ලැබෙන ගෞරවාන්විත සැලකිලි නිසා අපිටත් ආසාවක් ඇති වෙලා තිබුණේ දවසක එහෙම වෙන්න. ඒත් අපිව අම්මගෙ හෙවණෙන් උගුල්ලගෙන ගියේ මොන හේතුවක් නිසාද කියලා අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ. අපිව අම්මගෙන් ඈත් කරද්දි අපි ගොඩක් ළපටියි ඒ නිසාම වෙන්නැති අපිව අම්මගෙන් ඈත් කරන වෙලාවේ අපිව ඈත් කරපු අය හරි පරිස්සමෙන් අපි හිටිය තැනේ පුංචි කොටසක් එක්කම අපිව අම්මාගෙන් ඈත් කරේ. 

එදා අම්මගෙ හෙවණෙන් උගුල්ලගෙන අපි දෙන්නව වාහනයකට දා ගත්තෙත් හරි පරිස්සමට. වාහනේ දාගෙන අපිව අරගෙන ගියේ ගොඩක් දුරකට ඒ දුර ගමනෙදි අපි දෙන්නම හොඳට මැලවිලා හිටියේ වතුර පොදක්වත් නැති නිසා. කොහොමහරි ගමන අවසානය වෙද්දි මාව මැලවිලා වැටුනා. ඒ අපි ළපටි නිසා වෙන්නැති, ඇඟපතේ හයියක් නැති නිසා. ඒත් එහෙම මාව වැටුනෙ මැරිලා නෙවෙයි. මට පණ තිබුණා ඒත් අපිව අරගෙන ගිය අය හිතුවෙ මං මැරිලා කියලා. මාව එහෙම දුර්වල වුනාට මගේ සහෝදරයා හයියට හිටියා. 

එදා අපිව වාහනෙන් එළියට ගන්න හදද්දී කරුවල වැටිලා තිබුණේ දෙන්නවම එක පාර එලියට ගනියි කියලා මං හිතුවට මාව වාහනෙන් එලියට ගත්තෙ නැහැ. මගේ සහෝදරයව විතරයි එලියට අරගෙන ගියේ. මාව මැරිලා කියලා පේන නිසා වෙන්නැති මාව එලියට නොගත්තේ. එදා රෑ එළිවෙනකම් මම වාහනේ ඇතුලේ හිටියේ මැරිච්ච කෙනෙක් වගේ. පහුවදා උදේ කෙනෙක් ඇවිත් මාව අරගෙන ගිහින් වැට මායිමක් ලඟ පුංචි වලක දැම්මා වගේ මතකයි. දවස් දෙක තුනකින් මට පණ ඇවිත් වටපිටාව බලද්දියි පෙනුනේ මගේ සහෝදරයා උස තැනක ඉන්නවා. හරියට අම්මා හිටියා වගේ. එක අම්මගෙ දරුවෝ දෙන්නා වෙච්ච අපි දෙන්නම දැක්කෙ එකම හීනයක් වුනාට හැබෑ වුනේ එක්කෙනෙක්ට විතරයි. 

මං දැං නිකන්ම නිකං වැටක් අයිනේ පැළ වෙච්ච වල් බෝ පැලයක් විතරයි. මගේ සහෝදරයා දැං අම්මා වගේම මහා විශාල නොවුනොත්, කුඩා බෝධීන් වහන්සේ නමක්. 

Top