අපේ අප්පච්චිලගෙ පවුලේ බාලයා අප්පච්චි නිසා මහගෙදර අයිතිය අප්පච්චිට තිබුණේ. ඒ මහ ගෙදර තමයි අපි පොඩි කාලේ ඉඳලා හිටියේ අප්පච්චිගෙ රස්සාවේ මාරුවීම වෙලා වෙන පලාතක ටවුමෙ පදිංචියට යනකම්. ආච්චි අම්මයි සීයා තාත්තායි අපිත් එක්කම හිටිය නිසා මට කොයි වෙලාවකවත් තනියක් පාලුවක් ළං වෙන්න ඉඩ තිබුණෙ නැහැ. අපේ ගේ තිබුණෙ පොල්ගස් වලට මැදි වෙලා වුනත් ගේ අවට පොල්ගස් තිබුණෙ නැහැ. ගෙදරට ටිකක් එහාට වෙන්න හතර පැත්තෙම බැලූ බැල්මට වැඩිපුර පේන්න තිබුණේ පොල්ගස් විතරයි. ඒකයි මම කිවුවේ ගේ තිබුණේ පොල්ගස් වලට මැදි වෙලා කියලා.
හවසට ගොඩක් වෙලාවට සීයා තාත්තා මාව එක්කන් යනවා ඔය පොල් වත්ත වටේම. ඒ ගිහින් එනකොට සීයා තාත්තා ගොටුකොළ මිටියක් කොහොම හරි කඩා ගන්නවා පොල්ගස් යට ඉබේටම හැදුනු ගොටුකොළ පඳුරු වලින්. සීයා තාත්තා එහෙම යන්නේ පොල්ගස් වල පොල් මෝරලද කියලා බලන්න. එහෙම පොල් මෝරලා තියෙනවනම් පොල් කඩන මාමට එන්න කියලා පොල් කඩවනවා. අපේ ඉඩම වටේටම ලොකු තාප්පයක් තිබුණා හතර පැත්තම වට වෙන්න. ඔය පොල් වත්ත නිසාම තමයි ඒ තාප්පෙ හදලා තියෙන්නෙ ගමේ පොල් හොරුන්ගෙන් පොල් ටික බේරගන්න. ඒත් "තාප්පෙ තිබුණට වැඩක් නෑ" කියලා කියනවා ඇහිලා තියෙනවා පොල්, හොරු කඩලා කියලා දැන ගත්ත දවස් වලට ඒ ගැන අපේ අප්පච්චිට කියද්දි.
සීයා තාත්තා එහෙම වත්ත වටේ මාව එක්කන් යද්දි ආච්චි අම්මා මාව වැඩිපුර එක්කගෙන ගියේ ගමේ පංසලට. ආච්චි අම්මට පංසලට යන්න වෙනම දවසක් වෙනම වෙලාවක් කියලා තිබුණෙ නැහැ. හිතුන වෙලාවට මාවත් එක්කගෙන පංසලට යනවා එනවා. පංසලේ බුදු ගේ වුනත් හැම වෙලාවම ඇරලා තිබුණේ ඕන කෙනෙක්ට ඕන වෙලාවකට ඇවිත් බුදුන් වදින්න පුලුවන් විදියට. ගමේ පංසල වටේ ලී වැටක්වත් තිබුණෙ නැහැ පංසලට ඇතුල් වෙන්න හැම තැනින්ම වගේ පුලුවන් කමක් තිබුණා. අපි ගොඩක් වෙලාවට පංසලට ගියේ දං ගෙයි පැත්තෙන් මොකද අපිට පංසල ඇතුළට යන්න ළඟ පාර ඒක නිසා. පංසලට වැටක්වත් නැති නිසා මං ඒ කාලේ ආච්චි අම්මගෙන් අහපු දෙයක් තමයි "ඇයි පංසලේ ඉඩමට වැටක්වත් ගහන්නෙ නැත්තෙ" කියලා. ඒකට ආච්චි අම්මා මට කිවුවේ "පංසලේ හිර කරලා තියාගන්න දෙයක් නැහැ. පංසලෙන් මිනිස්සුන්ට හොරකම් කරන්න තියෙන්නෙ බුදු හාමුදුරුවන්ව විතරයි" කියලා....
අපිට ඒ ගම අතහැරලා තාවකාලිකව අප්පච්චිගෙ රස්සව නිසා නගරෙ පදිංචියට එන්න වුනේ ආච්චි අම්මගෙයි සීයා තාත්තගෙයි අකමැත්තෙන් වුනත් ඒ දෙන්නට මහ ගෙදර තනියම ඉන්න බැරි නිසා අපිත් එක්ක අකමැත්තෙන් වුනත් එන්න වුනා. සීයා තාත්තට වගේම ආච්චි අම්මටත් අලුත් ගෙදර එපා වෙලා තිබුණෙ. එයාලට ගමේ මහ ගෙදර තිබුණු නිදහස ටවුමෙ ගෙදරින් ලැබෙන්නෙ නැති නිසා. මොකද අපේ අලුත් ගේ ලොකු ගෙයක් වුනත් සීයා තාත්තටවත් ආච්චි අම්මටවත් ඇවිදින්න කියලා මිදුලක් තිබුණෙ නැති නිසා එයාලා හිටියේ ඒ ගෙදර හිර වෙලා වගෙ. ටවුමෙ අලුත් ගෙදරට ඇවිල්ලා මාසයක් වෙලත් කොහෙවත් ගියෙ නැති නිසා එදා අප්පච්චිට නිවාඩු තිබුණු දවසේ ටවුමේ පංසල් යන්න ලෑස්ති වුනා. ආච්චි අම්මා වගේම සීයා තාත්තත් ඒකට ගොඩක් කැමති වුනේ මේ ගෙදර මාසයක් හිරවෙලා හිටපු එක ඒ දෙන්නට ලොකු හිසරදයක් වෙලා තිබුණු නිසා..
එදා අපි ටවුමෙ පංසලට ගියා. ඒ පංසල ගමේ පංසලට වඩා වෙනස් ගමේ පංසලේ වැට මායිමක්වත් නැති පංසල් ඉඩම වෙනුවට මේ පංසලේ අහස උසට ලොකු තාප්පයකින් වටවෙලා තිබුණා. ඇතුල් වෙන්න ලොකු වෙනම එක ගේට්ටුවක් තිබුණා, පංසලේ තැනින් තැන කැමරා හයි කරලා තිබුණා. ආච්චි අම්මා ගමේ පංසලේ හැසිරෙනවා වගේ නිදහසේ හැසිරුනෙ නෑ මොකක්ද බයක් මට එදා ආච්චි අම්මගෙ මූනෙන් පෙනුනා ඒ පංසලේ නුහුරු ගතිය නිසා වෙන්නැති. අපි පංසලේ වතාවත් කරලා ගෙදර එන්න වාහනේට නගිද්දි ආච්චි අම්මා කිවුවා " ටවුමේ මිනිස්සු විතරක් නෙවෙයි බුදු හාමුදුරුවොත් හිර වෙලා ඉන්නෙ"කියලා...