මතක මිහිර තීරු ලිපිය : කැලෑ මල් වුනත් කැමති ඇති, කැලෑවෙන් එලියට ගිහිල්ලා හොඳ ලස්සන තැනක පිපෙන්න (573)

post-title

මං මල් වලට කොච්චර ආස වුනත් මට එකම එක වතාවයි මලකට ආසාවක් වගේම ලොකු ආදරයක් ඇති වුනේ. ඒ නියඟලා මල! ඒ ඇති වෙච්ච ආසාවයි ආදරෙයි නිසා මං නියඟලා මල් ගහක් හොයාගෙන ගියා. මං හොයාගෙන යන ගමනෙදි මට නියඟලා මල් ගහක් හම්බුනා. ඒ ගහ නියඟලා කියලා මං මුලින්ම දැන ගත්තේ මල් වලින් නෙවෙයි නියඟලා ගහේ කොළ වලින්. මොකද ඒ වෙනකොට නියඟලා ගහේ මල් පිපිලා නැහැ. ඒත් ඒ නියඟලා ගහක් කියලා මට අඳුරගන්න පුළුවන් වුනා මම නියඟලා මලට තිබුණු ආසාව ආදරේ නිසා.

හැම තැනම නියඟලා ගස් නැති නිසා හරි කලාතුරකින් තමයි නියඟලා ගහක් දකින්න වුනත් ලැබෙන්නෙ. මගේ වාසනාවකට හරි මගේ හිතේ ඇති වෙච්ච ආදරේ නිසා හරි මට මං හොයපු නියඟලා හම්බුනා. 

මට මුණගැහුන නියඟලා ගහ මං ගෙදර ගෙනාවා. ඒ ගේන කොට ගහ හරි පුංචියි. ගෙදර අම්මලට හොරෙන් ගහ මම තැනක පැළ කරේ කවුරුත් කැමති නැති නිසා නියඟලා මල් ගෙදර ඉඩමක පිපෙනවට. ඒත් මම කැමැත්තකින් හිටියේ මගේ ඉඩමේ නියඟලා මල් පිපෙනවට. 

මම නියඟලා ගහ පරිස්සම් කරේ පුංචි දරුවෙක්ව අම්මා කෙනෙක් බලාගන්නවා වගේ හරි ආදරේකින්. ගහ එන්න එන්න ලොකු වෙන්න ගත්තා. එතකොට මට හිතුනා මං විතරක් නෙවෙයි ගහත් කැමතියි කියලා මගේ ඉඩමෙ මල් පිපෙන්න. 

පළවෙනි වතාවට ගහේ මල් පිපුණහම මට ලොකු සතුටක් ආවා. එදා මට දැනුනා "මං ගහට ආදරේ තරමට ගහත් මට ආදරේ ඇති! ඒ නිසයි මං වෙනුවෙන් මල් පිපුණෙ" කියලා. 

මං හංගලා තිබුණු මගේ නියඟලා ගහ පැළ කරපු පරණ දිරච්ච යකඩ බාල්දිය පිටින්ම ගෙනල්ලා ගේ ඉස්සරහින් තිබ්බා. අම්මා මුලින්ම මගේ නියඟලා ගහ දැක්ක දවසෙ මට බැන්නා "තොට පිස්සුද මේ නියඟලා ගහක් ගෙදර ගෙනල්ලා" කියලා. මං අම්මට කිව්වා "ගොඩක් කල් ඉඳලා මං ආසාවෙන් පැළකරලා බලාගත්තෙ මං ගොඩක් ආස නිසයි" කියලා. එතකොට අම්මා කිව්වා. "තෝ ඕන මගුලක් කරගනින් මැරෙන්න හිතිච්ච වෙලාවට අල හරි තම්බලා කන්න හරි බැරියැ" කියලා.

අම්මගෙ මුලින් මුලින් විරුද්ධත්වය මැද්දේ කොහම හරි මං මගේ නියඟලා ගහ අපේ ගෙදර තියාගත්තා. ගෙදරට එන යන අයත් මගේ නියඟලා ගහ දිහා උනන්දුවෙන් බැලුවා වැඩිය පේන්න නැති ගහක් නිසා. ඔය එන යන මිනිස්සු අතරේ හිටියා මගේ යාලුවොත්. උනුත් මගේ නියඟලා ගහේ ලස්සන දැකලා ඒ ගැන වර්ණානා කරා.

ඔය මගේ යාලුවො අතරේ හිටියා ගමේ හාමු මහත්තයගෙ පුතා වෙච්ච නිහාල්. නිහාල් අපේ වයසේ අපිත් එක්ක එකට ඉන්න එකෙක්. නිහාල්, හාමු මහත්තයගෙ පුතා කියලා අහංකාර කමක්වත් ලොකු කමක්වත් තිබුණේ නැහැ. ගමේ අනිත් කොල්ලො වගේ අපිත් එක්ක එකටමයි හිටියෙ.

දවසක් නිහාල් මට කිව්වා "උබේ නියඟලා ගහෙන් මට ඉත්තක් දියන් මටත් නියඟලා වලට ආසාවක් ඇති වුනා" කියලා. නිහාල් එහෙම මගෙන් ඉල්ලුවහම මට ලෝබකමක් ඇති වුනා ඉත්තක් කඩලා දෙන්න මොකද මං ගොඩක් ආදරේ කරන මල් ගහ නිසා. ඒත් ඉතින් බැහැ කියන්න බැරි නිසා මං නිහාල්ට දෙන්න ඉත්තක් කැඩුවා. මං මල් ඉත්ත කඩනවා අම්මා දැකලා ඇහුවා "උබ ඕක කාට දෙන්නද" කියලා. මං කිව්වා "හාමු මහත්තයගේ පුතාටත් ආස හිතිලා ඉල්ලුවා" කියලා. අම්මා ඒ වේලාවේ කිව්වා "එහෙනම් තොට ඉතුරු වෙන්නෙ නියඟලා අල තමයි" කියලා. අම්මා එහෙම කිව්වෙ ඇයි කියලා මං දන්නෙ නැහැ. මං ඒ ගැන හිතන්න ගියෙත් නැහැ. මං කඩාගත්ත ඉත්ත නිහාල්ට ගිහින් දුන්නා. ඒ දෙන වෙලාවේ මං කිව්වා ගොඩක් ආදරෙන් පරිස්සම් කරලා පැළ කරන්න කියලා.

මං වගේ දිරච්ච යකඩ බාල්දියක නෙවෙයි නිහාල් නියඟලා ඉත්ත පැළ කරේ. ලස්සනම ලස්සන මල් පෝච්චියක් ඒකටම ගෙනල්ලා ඒකේ තමයි නිහාල් පැළ කරලා තිබුණේ. ඒ වගේම හරි ආදරෙන් පරිස්සම් කරා. නිහාල්ගේ ඒ පරිස්සම් කිරිල්ල දැක්කහම මට හිතුනා මටත් වඩා නිහාල්ට නියඟලා ගහ ගැන ආදරයක් ඇති වෙලා කියලා.

නිහාල්ට දුන්න නියඟලා ඉත්ත ටිකෙන් ටික පැළ වෙද්දි මගේ නියඟලා ගහ මල් පිපිල්ල අඩු කරා. ටිකෙන් ටික මලානිකත් වෙන්න ගත්තා. මං උලුඅස්සට උඩ ඉඳගෙන මලානික වෙලා තියෙන නියගලා ගහ දිහා බලාගෙන හිටිය දවස් ගොඩක් තිබුණා. එහෙම මලානික වෙන්න ගත්තේ නිහාල්ට ඉත්තක් දුන්න දවසේ ඉඳලා කියලත් මතක් වුනා. 

ඔහම ඉන්නකොට මට ආරංචි වුනා නිහාල්ගේ නියඟලා මල් ගහේ මල් පිපිලා කියලා. ඒ ගැන ආරංචි වුන ගමන් මට ගොඩක් කේන්ති ගියා. දුක හිතුනා. මං ඇඬුවා. ඒ මගේ නියඟලා. මං ආදරේ කරන නියඟලා නිසා. මේ හැමදේම වුනේ මං අරූට මගේ ආදරෙ දුන්න නිසයි කියලා හිතුනා. 

මට ජිවිතේ එපා වුනා මැරන්න ඕන කියලා හිතුනා. මං පන වගේ ආදරේ කරපු නියඟලා ගහ දැං මැරිලා. ඒ මැරිච්ච නියගලා ගහ උගුල්ලලා ගත්තේ මගේ ආදරෙන්ම මට මැරෙන්න ඕන කියලා හිතාගෙන. ඒත් ඒ වෙලාවෙම අම්මා ආවා. අම්මා මගේ මූන දිහා බලලා ඇහුවා. "තෝ ඕවා කන්නද හදන්නෙ" කියලා. මං අඬ අඬම "ඔව්" කිව්වා. අම්මා මගේ අතේ තිබුණු ගහ උදුරලා අරගෙන විසි කරන ගමන් කිව්වා "හාමු මහත්තයගෙ පුතා උබේ නියඟලා ගහට ඇහැ දානකොටම මට හිතුනා තොට ඉතුරු වෙන්නෙ දවසක නියඟලා අල තමයි " කියලා. මං ඉකි ගගහා ඇඬුවා. අම්මා මාව ගෙට ඇදගෙන ආවේ "කැලෑ මල් වුනත් කැමති ඇති බං කැලෑවෙන් එලියට ගිහිල්ලා හොඳ ලස්සන තැනක පිපෙන්න කියලා" කියාගෙන.

Top