පරිසර සැරිය ජීවන තක්සලාවකි : පරිසරයට ළෙංගතුවෙන ඔබට එයින් අමුතු නැවුම් ආශ්වාදයක් ලැබිය හැකිය(340)

post-title

ඔබේ ලෝකය ගවේෂණය කරන්න යන තේමාව යටතේ මිහිකතේ අසිරිය නන් වන් හැඩතල ඇසුරින් දක්වන සුපතළ රූපවාහිනී නාළිකාව ගැන අප ජීවත්වන ලෝකයේ තොරතුරු දැනගැනීමට කුහුලක් ඇති බොහෝ දෙනා නොදැන සිටීමට හේතුවක් නැත. කෙසේ වුවත් අප මතක තබා ගත යුත්තේ ජීවිතය ගැනත් අප ජීවත්වන ලෝකය ගැනත් අප දන්නේ අංශු මාත්‍රයකි යන්නයි. ලෝකය ගවේෂණය කිරීමට යම් තරමකින් නව තොරතුරු තාක්‍ෂණය උපකාරී වුවත් එහි පරතෙරට යාමට නම් අපහසුය. එසේ අවශ්‍ය ද නොවේ. අප ජීවත්වන පරිසරය සහ රට ගැන දැනගැනීම, අධ්‍යයයන කිරීම නම් වැදගත් බව කිව යුතු නැත. පරිසරය ජීවන තක්සලාවකි. ඉන් ඉගෙන ගැනීමට ඇති දේ අප්‍රමාණය. ඒ සඳහා අපට අවශ්‍ය උපකරණ අතර ප්‍රධාන වන්නේ සිත, ඇස, කන, නාසයණි දෙපා වැනි ඉන්ද්‍රියන්ය, අනෙකුත් අවශේෂ දේවල් නැතිවම බැරි නොවේ. අප ඉගෙනුම ආරම්භ කරන්නේ පරිසරයෙන් බව කිවයුතු නැත. කුඩා දරුවාගේ අවධානය පළමුවෙන්ම ඇදී යන්නේ තමා අවට ඇති පරිසරයටය.

ජීවිතයේ මූලික පාඩම් අපට කියා දෙන්නේ පරිසරයයි. මුළු ජීවිත කාලයම ගත කළත් අප වටා ඇති ලෝකය දැන හඳුනාගෙන නිමාවක් කළ නොහැක. අපේ ආහාර, ජලය, වාතය, සෙවන, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් අපට ලබා දෙන්නේ ස්වාභාවික පරිසරයෙන් බැවින් එය මුල්තැන ලා සැලකිය යුතු සම්පතකි. ස්වභාව සෞන්දර්ය නෙත ගැටෙන සැණෙන් විඳිය හැකි අවස්ථා ඇති මුත් බොහෝ විට එය සංවේදී මනසකින් යුතුව උකහාගත යුතු දෙයකි. අප ජීවත්වෙන්නේ මිහිකත මත බැවින් ඊට ආදරය කරන්නා පියවි ලෝකයේ ජීවත් විය යුතුය. නවීන කාර්ය බහුල ජීවිතය අප සතු බොහෝ දේවල් අපෙන් ඈත් කිරීමට හේතු වී ඇත. කෙමෙන් යාන්ත්‍රික ජීවිතයට ඇබ්බැහි වන සමාජය, තමා අවට පරිසරය සම්පූර්ණයෙන්ම අමතක කර ඇතිවා සේය. බොහෝ විට එබඳු අය ජීවත් වන්නේ කෘතිම ලොවකය. ඔවුන්ට වටපිට බැලීමටවත් කාලයක් නැත. තමා අවට ඇති ගහ කොළ, සතුන්, අහස මෙන්ම පරිසරය ජනනය කරන විවිධාකාර මියුරු හඬවල් ගැන පවා අවධානයක් නැත. පරිසරය සමඟ බෙදා හදාගෙන ජීවත්වීම වෙනුවට අද ඇත්තේ පරිසරය උපරිම ලෙස සූරා කෑමේ සිරිතකි. මෙහි ආදීනව දැන් දැන් අත්විඳීමට සිදුවෙන බව රහසක් නොවේ. නොදියුණු යයි කියන පැරණි මිනිසුන් පරිසරය සමඟ ජීවත් වූ නිසා අද අප එහි යහපත් පල භුක්ති විඳිමු. පරිසරය සමඟ ජීවත්වීමේ කලාව මීට දසක ගණනාවකට පෙර අපේ ගැමියන් අගේට ප්‍රගුණ කළ බව ඔබ නොදන්නවා විය හැක. වාණිජත්වය සහ මුදලේ අවශ්‍යතාව වැඩි වීමට පෙර ඔවුන්ගේ දිවි පෙවෙත සරල චාම් එකක් විය. මුදල් පසුපස හඹායාමක් ද නොවූ බැවින් ඔවුහු අතිශය සමාජ සංහිඳියාවකින් දිවි පෙවෙත ගත කළහ. 

නිවසට, කරත්තයට, ගොවිපළට අවශ්‍ය ලී දඬු වනයෙන් කපා ගත් නමුත් ලී ජාවාරමේ යෙදුනේ නැති තරම්ය. ගස් වැල් සිය ජීවන රටාවේ මූලික අංගයක් වූ බැවින් ඒවා ආරක්‍ෂා කිරීමට ද වගබලා ගත්හ. ජන ජීවිතයේ සෑම අංගයක්ම පරිසරය හා බැඳුණු රටාවක් විය. සාහිත්‍යය, කලාව, සංගීතය පරිසරයෙන් උකහාගත් චමත්කාරය හා මුසු විය. ඔවුන්ගේ විවේක කාලය ගත කිරීම සඳහා පරිසරය තෝතැන්නක් විය. වනාන්තරය පුද බිමක් සේ සැලකූ ඔවුහු ඇළ දොළ ගංඟා සිය ජීවිතයේම කොටසක් ලෙස සලකා ඒවා පරිහරණය කළහ. අද සමාජය තුළ මෙවැනි ප්‍රවණතාවක් දැකිය නොහැක. 

පරිසරය සීමාවකින් තොරව පරිහරණය කළ යුතු දෙයක් සේ සලකන රජය පවා පරිසරය පරිහරණය කරන්නේ කිසිදු සංවරයක් නොමැතිවය. අනාගතයේ ජීවත්වන්නන් සඳහා පරිසරය සංරක්‍ෂණය කිරීම අපේ යුතුකමකි. පරිසරය සමඟ ජීවත්වීම යනු තමා අවට පරිසරයේ ඇති දේ සහ සිදුවන දේ පිළිබඳව සංවේදීතාවයෙන් ජීවත්වීමයි. එහිදී පරිසරය රස විඳීම මෙන්ම පරිසරය පරිභෝජනය කිරීමේ දී එය සංරක්‍ෂණය සඳහා ද දායකවීමයි. එක් ගසක් කැපූ විට දෙකක් වැවීමටත්, ස්වාභාවික පරිසර සංසිද්ධීන් නිරීක්‍ෂණය කරමින් ඒවාට අවහිර නොකිරීමටත්, පරිසර හිතවාදී පැවැත්මකි. වාණිජ බෝග වගා කටයුතුවලදී මෙම සිද්ධාන්තයන් රැකිය නොහැකි නමුත් ගෙවත්ත එබඳු ආකාරයට සකස් කර ගැනීමට හැකිවේ. අපේ පරිසරය ගස් වැල්, සතුන්, කුරුල්ලන්, වැස්ස, හිරු එළිය, වාතය, උෂ්ණත්වය ආදී නොයෙක් අංඟයන්ගෙන් සැදී ඇති බැවින් එය මහත් සංයමයෙන් කළමනාකරණය කළ යුතු වේ. එදිනෙදා අප මුහුණ දෙන කටයුතුවල නියැළීමට ප්‍රමාණවත් කාලයක් නැති තැන මේ සියල්ල කෙරෙහි අප තුළ ඇති අවධානය ගිලිහී යන බව සත්‍යයකි. අප යාන්ත්‍රිකකරණය වන්නේ ද ඒ නිසාය. 

ජීවිතය ඇතිකර ගත් අරමුණු සහ අපේක්‍ෂා තුළ හිරවී ඇති විටක අප ජීවත්වන්නේ පියවි ලෝකයේ නොවේ. එවිට අප අවට ඇති පරිසරයේ සිදුවන්නේ කුමක්දැයි නොදනිමු. සිතෙහි ආතතිය වැඩි වීමට මෙය බෙහෙවින් බලපායි. තමා අවට ඇති ලෝකයේ අසිරිමත් දේ නැවුම් ලෙස දැක ගැනීමට යෞවනයට හැකිය. යෞවන නෙත තරම් කුතුහලයෙන් ගවේෂණය කරන දෙයක් තවත් නැත. නෙතට හසුවන, සවනට වැටෙන හැම දෙයකම නැවුම් රසාස්වාදයක් විඳීමට හැක්කේ යෞවනයට බැවින් ඉන් ප්‍රයෝජන ගැනීමට පසුබට නොවිය යුතුය. 

සාහිත්‍යකරුවන්, කවීන්, චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, නාට්‍යකරුවන්, විද්‍යාඥයින්, පරිසරවේදීන් වැනි විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන් නිරීක්‍ෂණය කළහොත් ඔවුන් සියලුදෙනාම කිසියම් ආකාරයකින් පරිසරය සහ ස්වභාව ධර්මය සංවේදීතාවයෙන් පරිහරණය කරන්නන් බවත් ඊට ආදරය කරන බවත් දැකගත හැකිය. මෙහි රහස අනෙකක් නොව ස්වාභාවික ලෝකයේ සංවේදී ලෙස ජීවත්වීම හැම අතින්ම යහපතට හේතුවීමය. අපේ කාර්යය කුමන දෙයක් වුවත් පියවි ලෝකයෙන් ඈත් වීම නොකළ යුතුය. සමහර විට අපේ ජීවන රටාව අනුව මුළු දිවා කාලයම ගොඩනැගිල්ලක් ඇතුළත කටයුතු කරනවා විය හැකියි. එවැනි කෙනෙකුගේ සතියක දින වර්යාව ගැන සිතන්න. ඔහු සම්පූර්ණ දිවා කාලයෙන් සියයට අනූ පහක් පමණ කාලයක් බාහිර පරිසරයෙන් බැහැරව සිටී. මේ නිසා ඔහු තුළ කිසියම් විඩාවක් අසහනයක් ගොඩනැගී නැතැයි කිව හැකිද? එසේ නම් කළ යුත්තේ කුමක්ද? එබඳු බොහෝ අය සති අන්තයේ නිවසට වී සංගීතයට සවන්දීම, පොත් පත් කියවීම, මිතුරු මිතුරියන් ඇසුර හෝ වෙනත් ක්‍රමයකට විනෝද වෙති. එහෙත් එය සමහර විට ඔබේ සාමාන්‍ය දෛනික ජීවන රටාවට වඩා වෙනසක් වී ඇත් නම් ස්වල්ප වශයෙනි. තනිව හෝ කුඩා කණ්ඩායමක් සමඟ එළිමහනේ ඇවිදීම, ගෙවත්තේ ගහ කොළ කුරුල්ලන් නිරීක්‍ෂණය කිරීම, කුරුල්ලන් සහ වෙනත් සතුන් නගන හඬට සවන් දීම, නැතහොත් සුන්දර ස්ථාන නැරඹීම වැනි දෙයකින් අමුතු නැවුම් ආශ්වාදයක් ලැබිය හැකිය. යෞවනය විචිත්‍ර කරගැනීමේ පැවතුම් සංවර්ධනය කර ගැනීම තමාටම අයත් වගකීමකි. එබැවින් ඒ පිළිබඳ ස්වයං අගැයීමක් කර ගැනීම වැදගත්වේ.



Top