ගඟ දිගේ පරිසර සැරිය නිමා කරන අපි දැන් යන්ට හදන්නේ වනාන්තරයක් මැදින් වෙනස් ගමනක්. මේ ගමනට නම් නිලූ මාත් එක්ක යන්ට එන්නෙ නෑ. මම ඒ සඳහා වනාන්තරය ගැන වෙනස් ආකාරයේ අත්දැකීම් රාශියක් තියෙන ‘කිරිගණිතා‘ මාමා තමයි එක්කර ගත්තේ. උන්දෑ ජීවත්වෙන්නේ මේ මහා වනාන්තරයට යාව තියෙන බොහොම පිටිසර ගමක. මේ ගමේ ඇත්තන් සිය ජීවිකාව සරි කර ගැනීමට අසල තියෙන වනාන්තරයෙන් බොහෝ ප්‍රයෝජන ගන්නවා. ගෙදරට අවශ්‍ය දර ටික, ආහාරයට ගන්ට පුලුවන් ගෙඩි, අල පලා වර්ග, බෙහෙත් ඖෂධ, මී පැණි, ලීදඬු වගේ මෙකී නොකී බොහෝ දේවල් ඒ අතර තියෙනවා. කිතුල් ගස් මැදීමත් කෙරෙන තවත් දෙයක්. මේ දේවල් හොයාගන්ට ගැමියන් නිතර වනාන්තරයේ සැරිසැරීම කරනවා. තමන්ට උපකාර කරන්ට සැදී පැහැදී සිටින වනාන්තරයට හිරිහැරයක් කරන්ට මේ ගැමියන්ගෙන් වැඩි දෙනෙක් කවදාවත් කටයුතු කරන්නෙ නෑ. මේ වන චාරිකා නිසා වනාන්තරය ගැන පුදුම දැනුමක් අත්දැකීම් සම්භාරයක් මේ ගැමියන්ට තියෙනවා. ඒ නිසා වනන්තරේ චාරිකා කරන්ට මම මේ ගමන කිරිගණිතා මාමත් එක්ක යන්නේ එයාගෙන් වනාන්තරය ගැන කරුණු දැනගන්ට. අත්දැකීම් විඳල ලබාගන්නා දැනුම පොත පතින් ලබා ගන්නා දැනුමට වඩා බොහෝ සෙයින් නිවැරදි මෙන්ම පරිපූර්ණයි. ඒ විත්තිය මා ලියන්ට යන දේ කියවන විට ඔබට වැටහෙනවා ඇත.
වනාන්තරයේ සංචාරයට යන්ට අපි දෙන්නා සූදානම් වෙලා ගම්මානයේ මායිමට කිට්ටුවෙන් තියෙන වැලි පාරේ ඇවිදගෙන ඇවිත් මේ අම්බලමේ ටිකක් ඈඳි ගත්තේ මහන්සි ඇරගන්ට හිතල. ඇත නෙනෙන වනාන්තරයේ ගස් මුදුන් උඩින් පියාඹන කුරුඑ රෑනක් දිහා බලා සිටිය කිරිගණිතා මාමා කතා කරන්ට පටන් ගත්තා.
“අපේ මහත්තයා ජීවිතේ ගැටගහගෙන බඩගින්නේ මැරෙන් නැතුව ඉන්ට ඕනෑ කොරන පුරධාන දේ තමයි පස්සට යන්නැතිව පුලුවන් කරං උස්සාහෙන් වැඩ කොරන එක. ඔය අපේ බුදුහාමුඳුරුවොත් එහෙම දේසනා කොරල තියෙනවනේ. අනිත් කාරණේ තමා තමන්ට උදව් උපකාර කොරන ඇත්තන්ට කෙලෙහි ගුණේ පාන්ට ඕනෑ කියන එක. බුදුහාමුඳුරුවන්ට බුදු වෙන්ට හෙවන දීල උදවු වුණ බෝ රුකටත් උන්නාන්නේ කෙලෙහි ගුණ සලකන්ට නෙවද සස් සතිය පුරව්වේ. මේ වනාන්තරයට අපි බොහොම ළෙංගතුයි. අපේ ගංගොඩට හෙවන දෙන්ට උදව් කොලාට අපෙන් අබෑටේක දෙයක් ඉල්ලන්නෙ නැතුව ඔය වැස්සටණි හුළඟට ඉහ නමාගෙන ඉන්නේ. ඒ හන්දා වනාන්තරේ එක්ක හාවෙල ජීවත්වෙන්ට ඕනෑ .”
“කිරිගණිතා මාමා ඔය ටික කියන කොට මට අපූරු කතාවක් මතක් උනා.. මං හිතන්නේ අපි මූකළංයායට යන්ට කලියෙන් කිරිගණිතා මාමා ඒක අහන්ට කැමැතිවෙයි කියල. මේක ඇත්ත කතාවක්.”
“හැක්....හං...එහෙනං ඒ කතාවත් කියමුකෝ අපේ මහත්තයා”
“ඔන්න ඒ කතන්දරේ තමයි මේ.”
“උත්සාහය කියන දේ අපේ වචනවලින් කිවොත් වීරිය කියල තමයි කියන්ට වෙන්නේ. උත්සාහය නැතිනම් වීරිය අතහැරීම කියන්නේ හිත දුර්වල කර ගැනීම. බලාපොරොත්තු බොඳවී යන්ට කවදාවත් ඉඩ දෙන්ට හොඳ නෑ. ඔබේ හිත බලාපොරොත්තු නැති කම්මැලි එකක් වුණොත් වැලි මාළිගාවක් වාගේ ඔක්කොම බිඳ වැටෙනවා. නමුත් අපි මතක තබා ගන්ට ඕනෑ සැලසුමක් ඇතිව වෙනස් වෙනස් ආකාරයට කරන්ට හැකි දේවල් කීපයක් කරල අත්හදා බැලීමෙන් කොතැනින් හෝ ජය ගන්ට හැකි බව. රොබින්සන් කෲසෝ, සම්පත් දූපත, වාගේ වීර චාරිකා ගැන හරිම රසවත් කතා තියෙනවා. එව්වායෙන් පෙන්නන්නේ නොපසුබට උත්සාහය, හිතේ විශ්වාසය, සැලසුම් සහගත බව, ප්‍රශ්නවලට මූුණ දෙන හැටි වාගේ වැදගත් කාරණා. අපි බොහොම දේවල් ගැන හිතන්නේ අපට හුරු පුරුදු විදිහටමයි නේ. ඒ හන්දා ඊට පිටින් තියෙන දේවල් අපට පෙනෙන්නෙ නෑ. හැබැයි එහෙම නැතුව අප හිතන රාමුවෙන් නැත්තං සීමාවෙන් පිට පැනල වෙනත් විදිහකට හිතුවොත් අලුත් දේවල් අලුත් විදිහට දකින්ට පුලුවන්.”
කිරිගණිතා මාමා මගෙ කට දිහා බලාගෙන හිනාවෙමින් හිටියේ. බුලත් කහට බැඳුණ ඉස්සරහ දත් දෙකත් එක්ක ඒ හිනාව හරිම අහිංසකයි.
(අප සිතන දෙය හා අපේ ආකල්ප අතර කිට්ටු සබඳතාවක් ඇත. එබැවින් පැරණි ආකල්ප ඉවත ලා නිදහස්ව අලුතෙන් සිතීමට වෑයම් කළ යුතුය. කිසියම් ගැටලුවක් අබියස පූර්ව අත්දැකීම් ප්‍රයෝජනයට ගැනීමේ දී අප වඩාත් විමසිලිමත් විය යුතුය. එම අත්දැකීම් මත යමක් පහසුවෙන් විසඳාගත හැකි නම් එසේ කිරීමේ වරදක් නැත. එහෙත් ඒවාට ඔබ වහලෙකු නොවිය යුතුය. අලුතෙන් සිතීමට නම් පැරණි ක්‍රමය අමතක කර පැරණි රාමුවෙන් මිදී නව ආකාරයට සිතීම ඇරඹිය යුතුය. මේ කාරණා ටික කිරිගණිතා මාමට තේරෙන භාෂාවෙන් එයාට පැහැදිළි කර දුන්නා. වනචාරී මිනිසුන්ගෙන් බේරි කොංගෝ ගඟ තරණය කිරීමට වාල්ස් ලේඩන් නම් සත්වවිද්‍යාඥයා සමත් වූ කතාවක් එයාට තේරෙණ භාෂාවෙන් කියන්ට හදන්නේ)
“වාල්ස් ලේඩන් සත්ව විද්‍යාඥයෙක්. 1830 දී කොංගෝ වනාන්තරයේ සතුන් ගැන පර්යේෂණ කරමින් සිටින විට ගඟ තරණය කරපු බෝට්ටුව එයාගේ සහාය කණ්ඩායමත් එක්ක අතුරුදහන් වුණා. කැලේ නොදියුණු වනචාරී ගෝත්‍රික මිනිසුන් පිරිසකට අසුවීමේ අවදානමට මුහුණ දීමට සිදුවුණා. ඒ අයට කොටු වූ චාල්ස්ට බේරි පලා යාමට තිබූ එකම විදිහ තමා, බියකරුු කොංගෝ ගඟ හරහා එගොඩට පැන ගැනීම. මහ සද්දන්ත, වගේම මිනීකන කිඹුලන්ගෙන් පිරී තියෙන කොංගෝ ගඟ හරහා යාමට ඔරු පියල්ලකින් පවා ලේසි පහසු නැතත් ඔරුවක් වත් සොයා ගන්ට හරි වෙනත් උදව්වක් ලබා ගන්ට හෝ හැකියාවක් තිබුණෙ නෑ. ඒත් චාල්ස්ට ගඟෙන් එගොඩට පැන ගැනීමට හැකි වුණා.
චාල්ට මුහුණ දෙන්ට සිද්දඋන හේතු කාරණා දෙකක් තිබුණා. ඒ තමා වනචාරී නපුරු මිනිසුන්ගෙන් වහංවී සිටින අතරේම ගඟෙන් එගොඩට පැන ගන්ට සූත්තරයක් හොයා ගන්න එක. අතරමංවන අවස්ථාවේදී චාල්ස් ගාවා තිබුණේ එයාගේ සටහන්පොත, පෑන, වතුර බාගයක් විතර තිබුණු වතුර බෝතලයත් කුඩා ගමන් මල්ලත් විතරයි. වනචාරීන්ගෙන් වහන් වී සිටීම අමාරු කාරණයක් වුණේ ඔවුන් සිය ගණනක් වනාන්තරය පුරාම හක්කලන් කරමින් චාල්ස් පස්සෙන් වැටී සිටි නිසා.
චාල්ස් දවස් ගණනක් පුරා නිදි නැතුවණි කෑමක් නොමැතිව කල්පනා කළේ වනචාරීන් ගේ ඇහැට මාට්ටු නොවී ගඟෙන් එගොඩ වෙන්ට උපක්‍රමයක් හොයාගන්ට. පරිසරයෙන් වෙන් කොට හඳුනා ගන්ට අපහසු ඇඳුමක් සකස්කර ගෙන වනචාරීන්ගේ ඇසට හසු නොවී සිටින්ට හැකි වේ යයි ඔහුට හිතුණ නිසා ගස්වල වියළි කොලපුවලින් ඇඳුමක් සෑදීමට හිතා ගත්තා. වනාන්තරයෙන් සොයාගත් ශක්තිමත් සිහින් වැල් පොටවල්වලින් කොලපු එකට ගොතා ගත්තේ මුවහත් ගල් පතුරුවලින් ඒවා කපා ගෙන. සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ සෑදූ ඇඳුම ලා ගත් පසු කිසිකෙනෙකුට ඈත සිට එතන මිනිසෙක් සිටින බව සැක කිරීමටවත් නොහැකි වුණා. වනචාරින් ළංවන විට පඳුරුවලට මුවාවී සිටි චාල්ස් තමා ගැන හෝඩුවාවක් වත් නොදැන ඔහු අසලින් යන වනචාරීන් දෙස බලාගෙන සිටියා. දින කීපයක් තුළ දි උන්ගේ විෂ කැවූ උල් කිපයක් සොරකම්කර ගැනීමට ද ඔහුට හැකි වුණ නිසා චාල්ස් ගේ හිතට තවත් ගැම්මක් ආවා.
මේ විදිහට කොංගෝ ගං ඉවුරේ ඉහළටත් පහළටත් යමින් ගඟෙන් එතරවෙන්ට මඟක් සෙවූ චාල්ස් ආහාරය සඳහා වනාන්තරයේ පලතුරු, හතු ජාති අල හා බීමට ජලයත් සොයා ගත්තා. ඔහුගේ අපූරු ඇඳුම මැසි මදුරුවන්ගෙන් සහ රුදුරු වන සත්තුන්ගෙන් ආරක්‍ෂා වීමට ද ඉතා හොඳ ආධාරකයක් වුණා. ලොකු ගල්ගුහාවක් සිය වාසය ලෙස යොදාගත් චාල්ස් ගඟෙන් එතෙරට යන්ට ඔරුවක්ම ඕනෑ ද කියා තමන්ගෙන්ම ඇසුවා. එය ඔහු කීවේ මේ විදිහට.
“මුලදී මං හිතුවේ කොහොම හරි ඔරුවක් හොයාගන්ට නැත්නම් ඔරුවක් හදා ගන්ට. ඒත් ඔරුවක් හදන්ට ඕනෑකරන ආයුධ ආම්පන්න නැතිකම තමයි අඩුපාඩුව උනේ. ඔරුවක්ම ඕනෑද? කියල මට හිතුණා. හිත අධෛර්ය වීම ඉතා අවාසනාවන්ත දෙයක්. ඔරුවක් නොවේ ගඟෙන් එගොඩ වීමට උපකරණයක් මට ඕනෑ කරන්නෙ. මම හිතන විදිහ වෙනස් කරගත්තා. මොනවගේ උපකරණයක් ද? ඉන් පස්සේ තමයි මම අතරමං වුන මිනිහෙක් විදිහට කල්පනා කරන්ට පටන් ගත්තේ. මම ඒ ගැන බොහෝ උනන්දුවෙන් කල්පනා කරමින් සිටි එක් උදෑසනක වතුරේ පාවෙමින් තිබූ විශාල ගෙඩියක් වැනි දෙයක් දැක්කා. එවිට එකපාරටම මගේ සිතට අමුතු අදහසක් ආවා”
“දින ගණනාවක් නිතර දෙවේලේ මගේ ඇස ගැටෙමින් තියෙන මහ වේවැල් පඳුර වෙත ඉබේම යැවුණා. ගල් පතුරුවලින් සාදාගෙන තිබූ මගේ පිහි කීපයට ඉසුඹුවක් ලැබුණේ නැති තරම්. වේවැල් කපා මගේ ගල් බංගලාවේ තැන්පත් කර, කැපූ වැල් හා රොඩු වැහෙන්ට කොළ රොඩු අතුරල වසා දැමුවට පස්සේ එතැන කිසිම අමුත්තක් වී ඇති බව කාටවත් හොයා ගන්ට බැරිඋනා. එය බොහොම හොඳට කරන්ට වගබලා ගත්තේ සොච්චම් වැරද්දකින් උනත් මං කොටුවෙන්ට පුලුවන් කියල දන්න හින්දා”
“ඊළඟට මට ඕනෑකරන හය් හත්තිය ඇති වැල් ඇද ගැනීමට දින කීපයක්ම ගත වුණා. ඉන් පසු දින ගණනාවක්ම මම මගේ අපූරු මාළුවා හදාගන්ට මහන්සි උනා. වේවැල් එකට තබා දිග තියඹරා ගෙඩියක් වගේ බැඳල කූඩයක් වියන විදිහට වේවැල් මාළුවා (මාළුවෙක් මෙන් දිගැටි හැඩයෙන් යුතු කූඩව) දොරක් ද ඇතුව නිම කළා. වාතය ලැබෙන කුඩා සිදුරු ද ඇති මාළුවාට කිඹුලන්ගේ අනතුරු වෙයි කියා හිතුව හන්දා මා ළඟ තියෙන විෂ උල් මාඑවාගේ පිටින් දෙපැත්තෙන්ම සවි කරන්ට කවුඑත් හදා ගත්තා. ඔක්කොම වැඩ ඉවරඋනාට පස්සේ මාළුවාගෙ වටේ ඔතන්ට උල් කටු තියෙන කටු වැල් කපල විල්ලුුව ගාවා හඟවල තැබුවා. එය තමයි මෙතෙක් මං කරපු අමාරුම කටයුත්ත. මේ වාගේ කටු ලැහැබ් මඟහැරල ඉන්ට කිඹුල්ලු කැමැති බව මං දැනගෙන හිටියා”
“එක හැන්දෑවක මගේ මාඑ ඔරුව ගඟට දැම්මේ කාරණා දෙකක් ගැන සොයා බලන්ට. එකක් තමයි කූඩුවට මං තරම් බරක් ගිලෙන්නෙ නැතුව ගෙන යන්ට පුලුවන්ද කියා බැලීම. අනෙක කිඹුලන් කූඩුවට පහර දෙන්නේ කොහොමද කියා දැන ගැනීම. විෂ උලෙන් ඇන මරා ගත්ත මුවෙකුගේ ගාත් දෙක කපා ගෙන කොළ අතුවලින් ඔතා කූඩුවට දමල කටු වැල්වලින් ඔතා දිග වැලක බැඳල විල්ලුවේ පාකර හැරියේ මගේ කාර්යය හරි යයි කියල ලොකු විශ්වාසයක් ඇතුව. මගේ මාළුවා අපූරුවට දියඹේ පාවී යනු දැක මට මහත් සතුටක් ඇතිවුණා”
“ඒත් ටික වේලාවකින් හතර අතින් වටවුණ කිඹුලන් මාළුවාට පහර දෙන්නට වලිකෑවත් අර විෂ කටුවලට බයවෙලා ඈතට ගිහින් ආයෙත් ටිකකින් ඇවිත් කූඩුව වටා පොදි ගැහිල හිටියට පහර දෙන්ට තරං කිට්ටු උනෙ නෑ. මගේ විෂ උල්වලින් ද ප්‍රයෝජන ගැනීමට හැකි බැවින් ගඟෙන් එගොඩට යන්ට කූඩුව සෑහෙන බව හිතා ගත්තා. අනික් කාරණාව කූඩුවෙන් ඈතට විහිදෙන්ට කටු වැල් බැඳීමෙන් කිඹුලන් කූඩුව ළඟට එන එක නවත්තා ගන්ට හැකි එන්දා එහෙම කරන්ට හිතා ගත්තා.
මගේ කූඩුව ගොඩට ඇදල මළකුණ ඉවත් කර, තවත් කටු වැල් දිගට සිටින ලෙස ඔතා සඟවා තැබුවේ ගමනට උවමනා කරන අනික් කළමනා සකස් කර ගන්ට. ගගේ එගොඩ ඉවුරට යන්ට දින කීයක් ගතවේ ද කියල අඩමානයක් ඇති උනේ සැඩ පාරේ වේගයත් එක්ක මාළුවා ආම්බන් කර ගන්ට හරි විදිහක් නැති කමය. ඒ හන්දා දින ගණනාවක්ම ගඟේ පාවී යන්ට ලක ලෑස්ති වෙන්ට ඕනෑ. දිග උණ බටයක්, (මෙය පිටතට දැමීමට සිදුරක් තබා ඇත) වතුර බෝතලය, දින කීපයක් කල් තබා ගන්ට පුලුවන් පලතුරු තමයි මට ඕනෑ කළ දේවල්.
යාන්තමින් එළිය වැටෙන පාන්දර ජාමේ කූඩුව තුළට රිංගා දොර තදින් බැඳ වසා මාඑවා ගඟට දාගන්ට එච්චර වේලාවක් ගත උනේ නෑ. මගේ අරුම පුදුම මාඑවා මමත් එක්ක වේගයෙන් ගඟ පහළ ඉසව්වට ගසාගෙන යන්නට පටන් ගත්තා. ටික වේලාවකින් කලින් හිතාගෙන හිටපු විදිහටම කිඹුලන් රංචු ගැහිල කූඩුව වටේ කැරකෙන්ට පටන් ගත්තා. දෙතුන් දෙනෙක් මුලින්ම කූඩුවට පහර දෙන්ට පටන් ගත්තත් උන් ඉක්මනින් ආයෙත් පැත්තකට ගියා. තවත් විටක කූඩුව මාත් එක්කම උඩගොස් වැටුණේ යටින් ආපු සතෙකුගේ පහරකින්. ඉන් පස්සේ උන් කූඩුව වටේ කටවල් අයාගෙන පෙරළි කෙරුවත් ළඟට ඇවිත් මට කරදර කරන්ට ආවෙ නෑ. මගේ උල්වලින් ද මට හොඳ හැටි පොරෝජන ගන්ට පුලුවන් උනා. දවස් තුනක් උදේ රෑ පාවී ගිය මගේ කූඩුව හතරවෙනි දවසේ ගොංමන් වේගෙන එන වෙලාවට එහා ඉවුරේ ඇද වැටුණු විශාල ගහක පැටළිල නැතුණා.”
‘‘බොහොම වැර වෑයමින් එළියට ආපු මගේ ඇහැ ගැටුණේ නොදියුණු ගම්මානයක්. මම ජය ගත්ත එක ගැන හරිම සන්තෝසයි. ඒකේ රහස තමයි හිත වට්ටවා ගන්නෙ නැතුව ප්‍රශ්නයට මූණ දීමත් අලුත් විදිහට සිතීමත්”
ලේඩන් සිත අදයිරිය කරගෙන පසුතැවිල්ලෙන් සිටියා නම් ඔහුගේ ඉරණම කුමක් වේද? නිර්මාණ ශක්තිය ඕනෑම අවස්ථාවක දී ප්‍රයෝජන වත් වේ. අප මුලින් සඳහන් කළ පරිදි අලුතෙන් සිතීමට නම් පැරණි ක්‍රමය අමතක කර පැරණි රාමුවෙන් මිදී නව ආකාරයට සිතීම ඇරඹිය යුතුය. ඒ සඳහා ඔබ කිසිදු න්‍යායකණි ආකල්පයක කොටු නොවී අලුතෙන්ම සිතීමට සමහර විට විප්ලවීය ලෙස සිතීමට බිය නොවිය යුතුය. චාල්ස් ලේඩන් අපට කියා දෙන්නේ තමා ජීවත්වෙන පරිසරයට අනුගතව එය සමඟ සහයෝගයෙන් පරිසර සම්පත් නුවනින් භාවිතා කිරීමේ වැදගත්කම ගැනයි.
මගේ කතාව බොහොම උනන්දුවෙන් අසා සිටිය කිරිගණිතා මාමා “හැබෑවටම පංකාදු කතන්දරයක්. අපිට දැන කියා ගන්ට බොහොම කාරණා තියෙනවා නොවැ, ඔය කතන්දරේ මයෙ ‘සේදරා‘ පැටික්කටත් කියා දෙන්ට හුඳයි. ඒකත් හරිම මනාපයි ඔව්වගෙ කතා අහන්ට” කියමින් කිරිගණිතා මාමා බුලත්විටක් ඒදන්ට පටන් ගත්තා. වනාන්තරේ සංචාරේ ඊළඟ කොටසින් පටන් ගනිමු.
ඔබ තුළ බුද්ධිය ඇත. එය නිතරම නිදා සිටීමට කැමැති බැවින් එය අවදියෙන් තබා ගැනීම ඔබ සතු කාර්යයකි.
-ඇරිස්ටෝටල්-