දෙමාපියන්ගෙ කැපකිරීම් අපිට දැනෙන්නෙ අපිත් දෙමාපියො උනාම - මතක මිහිර තීරු ලිපිය

post-title

දෙමව්පියන්ගේ කැපකිරීම් අපිට දැනෙන්නෙ කාලයක් ගත වෙලා ගියාට පස්සේ, නැත්තම් අපි දෙමව්පියන් වෙලා ඒ අත්දැකීම් අපිට ලැබුණට පස්සෙ තමයි ඒ කැපකිරීම් වල වටිනාකම අපිට දැනෙන්න ගන්නේ. එහෙම කැපකිරීම් අපේ අම්මා අප්පච්චි විතරක් නෙවෙයි හැම දරුවෙක්ගෙම දෙමව්පියෝ කරනවා සහ කරමින් ඉන්නවා.

 "අපි අද ජිවත්වෙන හැම දවසක් ම අපිට කියලා දෙනවා හෙට අපි ජිවත් වෙන්නෙ කොහොමද කියලා"

ඔන්න ඔය කාරණාව වගේ දෙයක් තමයි අතීත මතකයත් එක්ක ගණුදෙනු කරලා අනාගතේ සමහර තැන් හදාගන්න පුලුවන් වෙන එක. ගඟකට තියෙන්නෙ ඕන බාධකයක් එතකොටයි එන්නෙ ලස්සන හැඩයක් ජිවිතයකට තියෙන්නෙ ඕන කටුකක් එතකොටයි දැනෙන්නෙ එහි රසයක්.  මේක මේ කතාවට සම්බන්ධ නැතත් මං මේ කාරණාව මෙතනට එකතු කරන්නෙ මම කරමින් ඉන්න දෙයක් නිසයි.

අපි ආයෙත් මුලට එමු. කැපකිරීම් කියනකොට මතකය දුවන්නේ අම්මා අප්පච්චි එක්ක ගතකරපු අතීතයට. මතකය කියන්නෙ මට නම් අනාගතයට ගන්න බොහෝ දෑ රැදුණු තැනක්. ඒ මතකයේ මට දැනුන ම කැපකිරීමක් තියෙනවා ඒ කාලේ අපිට නොදැනෙන්න අම්මා අප්පච්චි අපි වෙනුවෙන් කරපු. දරුවෝ හතරදෙනෙක් ඉන්න අපේ පවුලේ දෙවනියා වුනේ මම. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණේ නැහැ. චූටි නංගියි මගෙයි පරතරය තිබුණේ අවුරුදු පහක වගේ. අක්කගෙයි මගෙයි පරතරය තිබුණේ අවුරුදු දෙකක වගේ. අප්පච්චි රස්සාව කරේ ටවුමේ තොග බඩු කඩේක අත්උදව්ව කාරයෙක් විදියට. අම්මා රස්සවක් කරා සල්ලි නොලැබෙන ඒ ගෙදර වැඩයි අපේ වැඩයි. ඒ රස්සවට අම්මට ලැබුණ ඇත්තේ අපේ සාර්ථකත්යෙන් ලැබුණු සතුට වෙන්නැති. දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි!

ඒ කාලේ ගමේ මගුල් ගෙයක් වුනහම අපිට ඒකට ආරාධනාවක් ලැබූනත් අපේ ගෙදරින් ඒකට ගොඩක් වෙලාවට නොගිහින් ඉන්න පුරුද්දක් තිබුණා මගුල තියෙන දවසට. ඒ වෙනුවට අම්මා හරි අප්පච්චි හරි මගුල පහු වෙලා දවසකට දෙකකට පස්සෙ ගිහින් අපේ ගෙදරින් දෙන්න පුලුවන් මුදල් තෑග්ග ගිහින් දෙනවා. නොයාම බැරි මගුල් ගෙයක් තිබුණොත් අප්පච්චි ගිහින් එනවා. ඒ ගියත් අප්පච්චි මගුල් ගෙදරින් කාලා එන්නෙ නැහැ. ඒත් අපි ඒ කාලේ හරි ආසයි මගුල් ගෙදරක යන්න. ඒ ආසාව තියෙන්නෙ මගුල් ගෙදරකින් කෑම කන්න. ඒ ආසාව සමහර වෙලාවට ඉෂ්ඨ වුනා හිතවත්ම මගුල් ගෙදරකින් එවන බත් පාර්සලයක් නිසා. එහෙම නැත්තම් හිතවත් ම මගුල් ගෙදරකින් අපේ ගෙදර හැමෝටම එන්න කියලා කිව්වොත් එදාටත් ඒ ආසාව ඉෂ්ඨ වුනා. ඒත් එහෙම දවස් තිබුණේ කලාතුරකින්.

අම්මවත් අප්පච්චිවත් අපිව දාලා තනියම මගුල් ගෙදරක ගියා කියලා මට මතකයක් විදියට තියෙන වාර ගාන අතේ ඇඟිලි ගාන අතර තියෙන ගානක් වෙන්නැති. ගියානම් ගියේ අපි හතර දෙනාවත් එක්කගෙන නැත්තම් මගුලට පස්සෙ දවසක තමයි. එහෙම කරන්නෙ ඇයි කියලා ඇහුවහම අම්මා අප්පච්චි කිවුවේ එයාලා කැමති නැහැ කියලා. කාලයක් යද්දි තේරුම් ගන්න පුලුවන් වුනා අම්මා අප්පච්චි එහෙම කරේ එයාලා මගුල් ගෙදරක ගියහම අපිට වෙනස්කමක් දැනෙයි කියලා දැනෙන එක වලක්වන්න කියලා. ඒකයි අහම්බෙන් ගිය දවසකටත් අප්පච්චි මඟුල් ගෙදරින් නොකා ඇවිත් අපිත් එක්කම ගෙදර හදලා තියෙන දෙයක් පුරුදු විදියට කෑවේ.. අම්මා අප්පච්චිලගෙ කැපකිරීම් තියෙන්නේ අපිට කාලයක් යනකම් නොපෙනෙන, අපිට කාලයක් යනකම් නොදැනෙන විදියටයි!

Top