වැහි එක්ක මං තීරු ලිපිය - සදාකාලික නොවන හීන එක්ක අපි (191 වන ලිපිය)

post-title

පාන්දර තුන - හතර කියන්නෙ ආශිර්වාද ලත් කාලයක්. “මම නැවතිලා ඉන්නෙ. ඔබ නවතින්න” කියලා බුද්ධ අගුල්මල්ට කිවුවා කියලා පොඩි කාලෙ මුලින්ම කට පාඩම් කරවද්දි මේ තුන් තේරවිලි මොකට පාඩම් කරනවද කියලා අනන්ත වාරයක් හිතුණා. ටිකක් ලොකු පන්තිවලට එද්දි ඒ බුද්ධාගම පාඩම උන්නපු මිස් කාර් එකක් ගන්නයි තට්ටු දෙකට ගේ හදන්නයි හීන මවනවා කියලා දැන ගත්තාම මිස් කියන වචන විශ්වාස කරන්න අපහසු ගතියක් දැණුනා. පන්සලට යද්දි හාමුදුරුවො තට්ටු දෙකට ආවාස ගේ හදන්න හීන මවනවා කියලා පෙනුනාම පන්සලට යන්න අපහසු ගතියක් දැණුනා. එයින් පස්සෙ ආයෙම අර තුන්තේරවිල්ල කටපාඩම් කරවපු එකේ වටිනාකම පාන්දර තුනට හතරට නැගිටලා හුදෙකලාව කල්පනා කරන වෙලාවක තේරෙන්න පටන් ගත්තා. සිතුවිලිවල විමුක්තිය තියෙන්නෙ පන්තියෙ ටීචර්ගෙ අධ්‍යාපනය ළගවත් පන්සලේ හාමුදුරුවන්ගෙ තැන්පත් කතාව හෙවණෙවත් නෙවෙයි මේ වගේ සන්සුන් නිහඩ පැයවල අවදි වෙන මනස ඇතුළෙමයි කියලා අවබෝධ වෙන්න පටන් ගත්තා.

මිනිස්සු දුවනවා. නොනවතින තිර අධිෂ්ඨානෙන් දුවනවා. කකුල් දෙකෙන් නැවතිලා හිටියත් ඇස්වලින් දුවනවා. කන් දෙකෙන් දුවනවා. පංචේන්ද්‍රියන්වලින් දුවනවා. මනසින් දුවනවා. ලස්සන කැත මිහිරි අමිහිරි වගේ විශේෂණ පද මුල් කරගෙන දුවනවා.

මම ගෙයක් හදන්න හීන මවනවා. මුලින්ම ඉඩමක් ගන්න වෙහෙසෙනවා. සැලැස්මක් හදන්න සැලසුම් කරනවා. ඉන් පස්සෙ මෙච්චර කාලෙකට තවත් මිනිසුන් හදලා තියෙන සැලසුම් කීපයක් සන්සන්දනය කරනවා. හොදම සැලසුමක් හදන්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන්ම මුදල් සොයන්නත් ඉතිරි කරන්නත් පටන් ගන්නවා. මුලින්ම මනසින් නිවෙස ගොඩනගන්න පටන් ගන්නවා. ඉන් පස්සෙ නිවෙස ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා භෞතිකව ඒ හීනය හැබෑ කර ගන්නවා. ඉන් පස්සෙ වාහනයක් ගන්න කල්පනා කරනවා. වාහනයක් ගන්නකොට කල්පනා කරන්නෙ පහසුව පමණක්ම නෙවෙයි නිසා ඒ වෙනුවෙනුත් වෙනම මහන්සියක් කැප වීමක් කරනවා. කාලය ධනය වැය කරලා වාහන හීනයත් හැබෑ කර ගන්නවා. මේ සියල්ල අතරෙදි ඔයයි මමයි දෙන්නාම දන්න කරුණක් තියෙනවා. ඒ තමයි මේ නිවෙසවත් මේ වාහනයවත් සදාකාලික නැහැ කියන එක. ඒ දෙකම විනාශ වන සුලුයි. අස්ථාවරයි. අසථාවර භාවය කොයි තරම් ස්ථාවරද කියනව නම් මේ හීනය භෞතිකව සහ මානසිකව කියන දෙආකාරයටම විනාශ විය හැකියි. මොන වෙළද දැන්වීමේ මොන සිමෙන්ති වර්ගය ස්ථාවරයි කිවුවත් ඔයයි මමයි පැහැදිලිවම දන්නවා මේ හීනය පොළවට සමතලා වෙන්න තත්පර කිහිපයක් හොදටෝම ප්‍රමාණවත් කියලා. ඉතින් මම වසර ගණනක් මගේ මනසත් ශරීර ශක්තියත් අස්ථාවර දෙයක් ගොඩ නැගීම වෙනුවෙන් වැය කරනවා.

මමයි ඔයයි මේ සියලුම හීනවලින් මිදිලා සමාජ අරලයක නිරත වෙනවා කියලා උපකල්පනය කරමු. අපි දෙන්නාම එකතු වෙලා විශාල අරගලයකින් අනතුරුව දුක් විදින ජනතාව වෙනුවෙන් ආණ්ඩුක්‍රමය හෝ ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඒකත් මේ ගේ හැදීමට සමානයි. මේ නිවස මම ජීවත් වන තුරු නැතිනම් මගේ අණසක පවතින තුරු මම හීන මැවූ ආකාරයට පවතිනවා. මගෙන් පසුව නිවෙසට අධිපති වන උරුමකරු මේ නිවසේ යම් යම් කොටස් වෙනස් කරන්න පටන් ගන්නවා. ඇතැම්විට නිවෙස සම්පූර්ණයෙන්ම පොළවට සමතලා කරලා වෙනත් යමක් එතැන ඉදි කරන්න පුලුවනි. හේතුව - මේ මගේ හීනය වුණත් මේ එයාගෙ හීනය නොවන නිසා. මගෙන් නිවස ලබන උරුමක්කරු අපහසුවෙන් හෝ නිවස රැක ගත්තත් අනිවාර්යයයෙන්ම ඊළග පරම්පරාව විසින් එය විනාශ කරනවා. මිනිසුන් දෙදෙනෙකුගේ හීන කවදාවත් එක හා සමාන වෙන්නෙ නැහැ. සිදු වන්නේ අනෙකාගේ හීනයට ගරු කිරීම පමණයි. කණ්ඩායමක් විදියට සම්මුතියකට ඇවිත් එකම හීනයක් එක් තලයකින් බෙදා ගෙන ක්‍රියාත්මක කළත් කණ්ඩායම් දෙකක හීන කිසිසේත්ම සමාන වෙන්නේම නැහැ. පරම්පරා කිහිපයක් ඒකම හීනයක් බලහත්කාරයෙන් හෝ ඇදගෙන ගියත් අවස්ථාව ලද විගස හීනය වෙනස් වන බව ඉතිහාසය විසින් සාක්ෂි ඇතුවම පෙන්වා දීලා තියෙනවා. විනාශ වන හීන වෙනුවෙන් මිනිස්සු මනසයි ශරීරයයි වියදම් කරනවා. ධනවාදී ලෝකය පමණක් නොවෙයි සමාජවාදී සංකල්ප ඇතුළෙත් වෙනසක් නැතුව බිදෙන හීන විකුණනවා. මිනිස්සු තමන්ගෙ ශක්තිය වැය කරලා හීන මිලට අරගෙන තමන්ගෙ කර ගන්නවා.

මේ විදියට පිටස්තරයෙක් වගේ ඉදගෙන මිනිස්සු දිහා බලන කොට “මම නැවතිලා ඉන්නෙ. ඔබ නවතින්න” කියන බුද්ධ වචනය විනිවිද පේන්න පටන් ගන්නවා. ‘දුවන්නෙ නැහැ’ කිය කිය මනුෂ්‍යයා කොයි තරම් වට ප්‍රමාණයක් එකම තැන දුවනවද කියලා පැහැදිලිව දැනෙන්න පටන් ගන්නවා. ඒ තරගයට හසු නොවී කොයියම්ම මොහොතක හෝ නවතින්න හිතෙනවා.

Top